Skip to content

සිංහල රාජ්‍ය භාෂාව කිරීමේ සම්පූර්ණ කතාව 3

සිංහල රාජ්‍ය භාෂාව බවට පත් කිරීමේ ක්‍රියාදාමය සාකච්ඡා කරණු ලබන ලිපි මාලාවේ මීට පෙර ගෙන ආ ලිපිය නිමා කරන ලද්දේ පහත තැනින් ය.

එම නිසා එක්සත් ජාතික පක්ෂය ඉල්ලා සිටින්නේ සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීමේ ප්‍රතිපත්තිය අනුමත කිරීමට  පමණක් නොව එය ක්‍රියාවෙහි යෙදවීම සඳහා අවශ්‍ය වැඩි ඡන්ද ගණන ලබාදෙන හැටියටය. මා දැන් රජ ගෙදරට ගොස් පාර්ලිමේන්තුව විසිරුවා හරින ලෙස ලකිසුරුට දන්වමි. ඉන් පසු මහ ජනයා ඉදිරියට ඔබේ තීරණය ගෙන හැර පා එය ක්‍රියාත්මක කිරීමට ආසන 65 ක් ඉල්ලමි. ඉන් පසු අලුත් පාර්ලිමේන්තුවේදී අනුමත කෙරෙන පළමුවැනි නීතිය සිංහලය රජ බස කිරීම වනු ඇත".

සිංහල රාජ්‍ය භාෂාව කිරීමේ සම්පූර්ණ කතාව 1
ඉහත දක්වා ඇති ප්‍රධාන ශීර්ෂ පාඨය අපට අවශ්‍යනම් මෙලෙසද සඳහන් කළ හැකිය. සිංහල රාජ්‍ය භාෂාව කිරීමේ අප්‍රසිද්ධ කතාව, සිංහල රාජ්‍ය භාෂාව කිරී

1920 ගණන්වල සිට සිංහල සහ දෙමළ යන දෙපිරිසටම සාධාරණ වන සේ සිංහල සහ දෙමළ යන භාෂා දෙකම රාජ්‍ය භාෂාව බවට පත්විය යුතු යැයි යනුවෙන් තීරණය කර සිටි මෙරට පාලකයෝ තීරණාත්මක මොහොතේ මෙසේ සිය ප්‍රතිපත්ති වෙනස් කරන ආකාරය මින් පැහැදිලි වන අතර මෙය නම් වූ කලී එදා සිට අද දක්වාම අපේ රටේ දේශපාලනය බව විචාරකයින්ගේ අදහසයි.

එක්සත් ජාතික පක්ෂය සිංහල රාජ්‍ය භාෂාව බවට පත් කල යුතු යැයි පෙර කී ආකාරයට සම්මතකරගත් වහාම මැතිවරණයකට යෑමට තීරණය කළ ද ඔවුන්ගේ ආණ්ඩුවේ නිල කාලය සැබවින්ම නිමා වීමට තිබුණේ 1957 දිය. නමුත් එක්සත් ජාතික පක්ෂයේ නායකයින් තීරණය කරන්නේ එය නියමිත කාලයට පැවැත්වුවහොත් බණ්ඩාරනායක මහතා හට වාසි වන බව සහ ඔවුන් නොසිතූ මොහොතක මැතිවරණය පැවැත් වුවහොත් එක්සත් ජාතික පක්ෂයට වාසි වන බවය.

එපමණක් නොව ඒ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට සාමාජිකත්වය ලබා දී ඇති අතර එය එක්සත් ජාතික පක්ෂයේ දක්ෂකමට හිමි වූවක් බව ජනතාව කල්පනා කරනවා ඇති යනුවෙන් එක්සත් ජාතික පක්ෂය සිතන්නට ඇති යන වග ද විචාරකයින්ගේ අදහසයි. එමෙන්ම දෙවැනි ලෝක යුද්ධය හේතුකොටගෙනය ශ්‍රී ලංකාවේ අපනයන බෝගවලට ලොකු ඉල්ලුමක් ද පැවතීම හේතුවෙන් මෙරට ආර්ථිකය ද හොඳ මට්ටමක තිබී ඇත. එමෙන්ම 2500 වෙනි බුද්ධ ජයන්තිය ද යෙදී තිබී ඇත්තේ 1956 වර්ෂයට ය. ඉදිං එයද ඉහළින් සැමරීමට සර් ජෝන්ගේ ආණ්ඩුව තීරණය කර තිබුණා යැයිද සැලකේ. මෙම සියළු කරුණු සලකා බලා එක්සත් ජාතික පක්ෂය තීරණය කරන්නේ මැහිවරණයකට යෑමටය.

මේ අනුව 1956 වර්ෂයේ පෙබරවාරි 18 වන දා පාර්ලිමේන්තුව විසිරුවා හරින අතර අප්‍රේල් 5 ,  7 සහ 10 යන දිනවලදී මැතිවරණය පැවැත්වීමට සහ කුමන කුමන ආසන වලදී මැතිවරණය පවත්වන්නේ ද යන වග ද තීරණය කරන අතර එනම් අප්‍රේල් 5 වන දා ස්ථීර වශයෙන්ම එක්සත් ජාතික පක්ෂයට ජයග්‍රහණය කළ හැකි ආසන, අප්‍රේල් 7 වන දා බොහෝ විට එක්සත් ජාතික පක්ෂයට වාසිදායක ආසන සහ අප්‍රේල් 10 වන දා කිසිසේත්ම එක්සත් ජාතික පක්ෂයට ජයග්‍රහණය කිරීමට නොහැකි ආසන වශයෙනි.

කෙසේ නමුත් ඒ වන විට එක්සත් භික්ෂු පෙරමුණ විසින් 1956 දී මැතිවරණය නොපවත්වන ලෙසත් එම වර්ෂය සාමකාමී අයුරින් ගත වීමට ඉඩ සලසන ලෙසත් සර් ජෝන්කොතලාවලගෙන් ඉල්ලා සිටි බව ද ඉතිහාසය කියයි. මන්ද 1956 වර්ෂයේදී 2500 වෙනි බුද්ධ ජයන්තිය යෙදී තිබූ බැවිනි. එමෙන්ම බෞද්ධයින්ට සිදු වී ඇති අසාධාරණකම් සොයා බැලීම සඳහා කොමිසමක් පත් කරන ලෙස ද ඉල්ලා සිටි බව සැලකෙන අතර නමුත් සර් ජෝන්කොතලාවල ප්‍රමුඛ ආණ්ඩුව මේ කිසිදු දෙයකට ඇහුමක් දෙන්නේ නැත.

පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් අනතුරුව දින තුනකට පසු නව දේශපාලන පක්ෂයක් ද ආරම්භ වන අතර එය නම් මහජන එක්සත් පෙරමුණයි. ඒ සඳහා මූලිකත්වය ගෙන ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පිලිප් ගුණවර්ධනගේ නායකත්වයෙන් යුත් විප්ලවකාරී සම සමාජ පක්ෂය සහ විජයානන්ද දහනායකගේ සමත ලංකා භාෂා පෙරමුණය. එම පක්ෂය ආරම්භයේදීම ඔවුන්ගේ කරුණු 21 කින් යුත් වැඩපිළිවෙළ ඉදිරිපත් කර ඇති අතර එහි හතරවන කරුණ මගින් දක්වා ඇත්තේ ද සිංහල පමණක් රාජ්‍ය භාෂාව බවට පත් කළ යුතු බවය.

කෙසේ නමුත් සිංහල පාලකයින්ගේ මෙම තීරණ හේතුවෙන් රටේ ප්‍රධාන පක්ෂ දෙකට සහයෝගය ලබා දුන් ද්‍රවිඩ නායකයින් එම පක්ෂවලින් ඉවත්ව ගිය බව ද ඉතිහාසය කියයි. කෙසේ නමුත් මැතිවරණය ආසන්න වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්ව සිටි බර්නාඩ් අලු විහාරේ නිදහස් පක්ෂය අතහැර එක්සත් ජාතික පක්ෂයට යන අතර මැතිවරණයෙහි පළවන දිනයේ එක්සත් ජාතික පක්ෂයට අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කිරීමට හැකි වෙතැයි ඔවුන් සිතුවත් නොසිතූ පරිදි පරාජයට පත්වන්නට සිදු වී ඇත.

ඒ අනුව යමින් සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු සමගින් සිංහල භාෂාව රජ කරවීමේ මැතිවරණ පොරොන්දුව සමග තරඟ කළ බණ්ඩාරනායක මැතිවරණය ජය ගන්නා අතර එක්සත් ජාතික පක්ෂයට හිමි වී ඇත්තේ මුළු ආසන 95 න් තරඟ කළ ආසන 76 න් ආසන 8 ක් පමණි. විද්වතුන් පවසන්නේ බණ්ඩාරනායකට විරුද්ධව සේනානායකවරුන් මැතිවරණය සඳහා ඉදිරිපත් නොවීම ද මැතිවරණයේදී ඔහුට වාසියක් වූ බවය.

1956 අප්‍රේල් මස 12 වන දා එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මෙරට අගමැති ලෙස දිවුරුම් දෙන අතර ඉන් පසුව ගුවන් විදුලියෙන් ජාතිය අමතා කතා කිරීමේදී භාෂා ප්‍රශ්නය පිළිබඳව විශේෂයෙන් සඳහන් නොකර ඇති බව විද්වතුන් කියයි. නමුත් භාෂා ප්‍රශනය සම්බන්ධයෙන් ඉඟි කරන යම් ප්‍රකාශයක් සිදු කර ඇත. එය නම් " සමාජ සහ ආගමික වශයෙන් ඇත්තා වූ සුළු පාක්ෂික හා අනෙකුට් සුළු පක්ෂ දේශපාලන ප්‍රතිපාක්ෂිකයින් ද ඇතුළුව සෑම ජන කොට්ඨාසයකටම යලිත් ස්ථිර පොරොන්දුවක් වශයෙන් කරුණක් කියනු කැමැත්තෙමි. එනම් අපට මහ ජනයාගෙන් කිසියම් ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළවල් ක්‍රියාවෙහි යෙදවීමට අධිකාරී බලයක් ලැබී ඇත්තේ ද, ඒ ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළවල් ක්‍රියාවේ යෙදවීමේදී අප විසින් සියලු දෙනාටම යුක්තිය සාධාරණත්වය ඉෂ්ඨ කරන බවත, ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතා අගනා චිරාගත වත් පිළිවෙත් සියල්ල  අනුගමනය කරන බවත් " ය.

නමුත් ජාතිය අමතා සිය වැඩකටයුතු ආරම්භ කළ බණ්ඩාරනායක අගමැති හට කිසිදු දෙයක් සිදු කිරීමට අවස්ථාව නොවූ බව ද ඉතිහාසය කියන අතර ආණ්ඩුව ඇතුලතින් සහ පිටතින් ද විවිධ බලපෑම් එල්ල වී ඇත. ඒ රාජ්‍ය භාෂා ප්‍රශ්නය පිළිබඳව ය. එම නිසා බණ්ඩාරනායක හට සිදු වන්නේ අනෙකුත් සියලු කටයුතු පසෙකින් තබා ඒ පිළිබඳව අවධානය යොමු කරන්නට වන අතර විපක්ෂය ද වරින් වර ඔහුගෙන් භාෂා ප්‍රශ්නය පිළිබඳව වරින් වර ප්‍රශ්න කර ඇති බවද සැලකේ.

කෙසේ නමුත් බණ්ඩාරනායක මහතා මැතිවරණයට පෙර ප්‍රකාශ කර ඇත්තේ ඔවුන් මැතිවරණය ජයග්‍රහණය කර පැය 24 න් සිංහල රාජ්‍ය භාෂාව බවට පත්කරන බවය. විපක්ෂය එම ප්‍රකාශය පෙරමුණේ තබා ගනිමින් දිගින් දිගටම අගමැතිවරයාව ප්‍රශ්න කරන අතර නමුත් ඒ වන විටත් බණ්ඩාරනායක මහතා සිංහල රාජ්‍ය භාෂාව බවට පත් කිරීමටත් දෙමළ භාෂාවට සමාන ඓතිවාසිකම් පිරි නැමීමටත් පණතක් කෙටුම්පත් කර තිබූ බව ද ඉතිහාසය කියයි.

කෙසේ නමුත් එය කෙසේ හෝ නිරාවරණය වීමෙන් අණතුරුව ආණ්ඩුව ඇතුලත ද බණ්ඩාරනායක මහතා හට විරුද්ධව මතයක් පැනනැගෙන්නට විය. ඒ සිය ප්‍රතිපත්ති වෙනස්කොට යැයි පවසමිනි. ඉන් පසුව මැයි මස 03 වන දා පැවැත්වෙන ආණ්ඩු පක්ෂ රැස්වීමේදී අගමැතිවරයාට ප්‍රභල විරෝධයක් ද පැනනැගෙන අතර එම නිසා දෙමළ භාෂාවටත් සමාන ඓතිවාසිකම් ලබා දෙනවා යනුවෙන් සඳහන් එම පණත හකුලා ගැනීමට ද බණ්ඩාරනායක හට සිදු වී ඇත.
ඉන් පසුව ඔහු සිදු කරන්නේ භාෂා පණත සකස් කරන ලෙස පාර්ලිමේන්තු අනු කමිටුවක් පත් කිරීමය.

මෙම කමිටුව 1956 මැයි මස 16 වන දා දන විට රාජ්‍ය භාෂා පණත කෙයුම්පත්කොට අවසන් වන අතර මැයි මස 23 වන දා එය ආණ්ඩු පක්ෂයේ සාකච්ඡාවට ගෙන ඇත. එම 1956 රාජය භාෂා ආඥා පණත නම්

" එකම භාෂාව - දිවයිනේ එකම භාෂාව සිංහලයි.

මෙම පණත වලංගු වූ වහාම සිංහලෙන් පමණක් වැඩ කිරීමට අපහසු යැයි යම් ඇමතිවරයෙකුට අවබෝධ වුවහොත් 1960 ජූලි 01 වන දිනට කලින් වැඩ කටයුතු සිංහලයට පමණක් මාරු කරන තුරු අනෙක් භාෂාවන්ගෙනුත් වැඩකරගෙන යා හැකිය. ඇමතිවරයකුගේ නියමයකින් භාෂා මාරුව කළ නොහැකි නම් පණත යටතේ නියෝගයක් පැනවීමෙන් සිංහලයෙන් පමණක් වැඩ කිරීමේ මාරුව ක්‍රියාවට පෙරළිය හැකිය.

අනික් භාෂා - උත්තර මංත්‍රී මණ්ඩලයේ සහ නියෝජිත මංත්‍රී මණ්ඩලයේ වැඩකටයුතු කරගෙන යෑම සඳහා ද ලංකාණ්ඩුක්‍රම ආඥාවේ 21 වන චේදය යටතේ ඉදිරිපත් කරන යෝජනාවලින් හෝ ස්‍ථාවර නියෝග අණපනත් මගින්  හෝ මංත්‍රී මණ්ඩල දෙකට නීති රීති සකස් කර ගත හැකි කරුණු සඳහා ද භාවිත කළ යුතු භාෂාව එවැනි යෝජනා සහ  අණපනත් වලින් නියමකරගත යුතුය.................... "

කෙසේ නමුත් මෙම පණත ආණ්ඩු පක්ෂයේ සාකච්ඡාවට ගන්නා අවස්ථාවේ අනපේක්ෂිත සිදුවීමක් සිදුවන අතර එය නම් පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමය. ඒ එෆ්. ආර්. ජයසූරිය නම් බණ්ඩාරනායක මහතාගේ දේශපාලනයට සහයෝගය ලබා දුන් ආර්ථික විද්‍යා ආචාර්යවරයෙකු ඇතුළු පිරිසක් විසිනි. මෙම උපවාසයට හේතු වී ඇත්තේ පාර්ලිමේන්තු කාරක සභාව කෙටුම්පත් කළ කෙටුම්පතේ සඳහන් එක් වගන්තියක් වන අතර එය නම්

" පාළාත් පාලන මණ්ඩල - පළාත් පාලන මණ්ඩලවල වැඩකටයුතු වාර්තා සහ ලියකියවිලි ඒ මණ්ඩල සාමාජිකයන්ගේ තුනෙන් දෙකක අනුමැතියෙන් තීරණය කරනු ලබන භාෂාවකින් කළ හැකි වෙයි ".

අගමැති බණ්ඩාරනායක මහතා ද්‍රවිඩ පක්ෂ සමග ද භාෂා කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කරන අතර නමුත් විචාරකයින් පවසන්නේ එම සාකච්ඡාවට සහභාගී වූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා නිසා ද්‍රවිඩ පක්ෂවලට තම ඉල්ලීම් දිනා ගැනීමට නොහැකි වූ බව සහ ඔවුන්ට හැකි වී ඇත්තේ පාසල්වල දෙමළ සහ සිංහල භාෂා වලින් ඉගැන්වීම දිගටම සිදුකරන බවට බණ්ඩාරනායක මහතාගෙන් පොරොන්දුවක් ලබා ගැනීමට පමණක් වන බවය.

1956 වර්ෂයේ මැයි මස 26 වන දා උපවාසයේ නිරතව සිටි එෆ්. ආර්. ජයසූරිය හමුවන අතර ඔහුට ප්‍රකාශ කරන්නේ ආණ්ඩු පක්ෂයේ මංත්‍රීවරුන් හමු වීමට මම ඔබට අවස්ථාවක් දෙන්නම් යනුවෙනි. එසේ පවසා උපවාසය නිමා කර ගැනීමට බණ්ඩාරනායක මහතා සමත් වන අතර නමුත් එය කිසිදු දිනක පාර්ලිමේන්තු සම්ප්‍රදායේ සිදු වී නැති දෙයක් බැවින් ආණ්ඩු පක්ෂයේ මංත්‍රීවරුන් මෙයට දැඩි ලෙස විරුද්ධ වී ඇති බව ද ඉතිහාසය කියයි.

කෙසේ නමුත් එෆ්. ආර්. ජයසූරිය ආණ්ඩු පක්ෂයේ මංත්‍රීවරුන් මුණගැසෙන අතර ඔහු මංත්‍රීවරුන්‍ට ප්‍රකාශ කරන්නේ බණ්ඩාරනායක මහතා ජනතාවට ලබා දුන් පොරොන්දු කඩ කිරීමට යන බවත් එම නිසා එයට ඉඩ ලබා නොදෙන බවත් ය. එම නිසා ආණ්ඩු පක්ෂයේ මංත්‍රීවරුන් සිදු කරන්නේ සුළු ජාතීන්ගේ ඓතිවාසිකම් ආරක්ෂා කරන සියලුම වගන්ති පනත් කෙටුම්පතෙන් ඉවත් කිරීමය.

" එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක යන ලිබරල්වාදියා පරදවා අන්තවාදය ජය ගත්තේය. ආචාර්ය ජයසූරියට එම ආරංචිය ලැබුණු පසු ඔහු දොඩම් වීදුරුවක් බී උපවාසය අවසන් කළේය. තනි වගන්තියෙන් යුත් පණත ඉදිරිපත් වූයේ ඒ අයුරිනි ".

මේ ආකාරයට බණ්ඩාරනායක මහතා හට රාජ්‍ය භාෂා පණත ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සිදුවන්නේ සුළු ජාතීන්ගේ ඓතිවාසිකම් ඉවත් කළ පණතක් වන අතර පණත 1956 වර්ෂයේ ජූනි මස 05 වන දා අගමැති බණ්ඩාරනායක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි. නමුත් ඒ වන විට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන නායකයින් තිදෙනාම පාර්ලිමේන්තුවේ නොසිටි බව ද කියැවෙන අතර කොතලාවල සහ ඩඩ්ලි සේනානායක එංගලන්තය බලා පිටත්ව ගොස් ඇත. ජේ. ආර් . ජයවර්ධන මැතිවරණයෙන් පරාජය වූ නිසා පාර්ලිමේන්තුව නියෝජනය කර නැත. නමුත් විචාරකයින් පවසන්නේ එක්සත් ජාතික පක්ෂයේ මංත්‍රී කණ්ඩායම ජේ. ආර්. විසින් පිටත සිට හැසිර වූ බවය. ( සිතන්න මෙවැනිම ක්‍රියාදාමයක් වත්මනේ ද ඔබට නිරීක්ෂණය කළ හැකි නේද? History repeat it self )

කෙසේ නමුත් මේ තත්වය තුළ යාපනය නගර ශාලාවට රැස්වන ද්‍රවිඩ නියෝජිතයින් තීරණය කරන්නේ තව දුරටත් උතුරේ පාසල්වල සිංහල භාෂාව ඉගැන්වීම සිදු නොකරන බවට ය. ඒ පිළිබඳව බණ්ඩාරනායක චරිතාපදානයේ දැක්වෙන්නේ මේ අයුරිනි. " අතීතයේදී දෙමළ ශිෂ්‍යයන්ට සිංහල ඉගැන්වීමට බල නොකරන ලදින් එයෛගෙනීමෙන් ජාතිමාමකත්වයට හානියක් නොවූ නමුත් අද සිංහල භාෂා ජාලයෙන් ඉගැන්වීමට ආණ්ඩුව සූදානම් වන හෙයින් මේ තීරණය ගන්නා ලද බව යාපනය මංත්‍රී ජී.ජී. පොන්නම්බලම් මහතා ප්‍රකාශ කළේය ".

1956 ජූනි මස 05 වන දා සිට ජූනි මස 15 වන දා දක්වා රාජ්‍ය භාෂා පණත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන ඇත. නමුත් ආරම්භක දිනයේම ෆෙඩරල් පක්ෂය එයට විරුද්ධව ගාලුමුවදොර පිටියේ මහා සත්‍යග්‍රහයක් ආර්ම්භ කළ බව ද ඉතිහාසය කියයි. එපමණක් නොව එයට විරුද්ධව සිංහල අන්තවාදී කොටස් ද විරෝධයක් දක්වන අතර ඒ එල්. එච් මෙත්තානන්දගේ මූලිකත්වයෙනි. ඔවුන් දෙමළ නායකින් ඇතුළු පිරිසට පහරදෙන අතර මේ නිසා විශාල ගැටුමක් ඇති වූ බව ද ඉතිහාසය කියයි.

ගාලු මුවදොර පිටිය යුධ පිටියක් බවට පත්ව තිබියදී පාර්ලිමේන්තු ඇතුළත රාජ්‍ය භාෂා පණත් කෙටුම්පත විවාදයට ගන්නා අතර මෙම විවාදයේදී පණත නිසා අනාගතයේ දරුණු කේදවාචකයක් ඇතිවනු ඇතැයි ආචාර්ය එන්. එම්. පෙරේරා සඳහන් කළ බව ද මූලාශ්‍රවල දැක් වේ. විවාදයේදී කොල්වින් ආර්. ද සිල්වා කළ ප්‍රකාශය ද වඩාත් සුප්‍රකට වන අතර එය නම්

" ..... අපට වුවමනා කරන්නේ එක එක්සත් රටක් මිස බෙදුණු රටක් නොවේ. සම තත්වය යනුවෙන් අප අදහස් කරන්නේ නීතිය ඉදිරියේ සෑම දෙනාටම එක සමානව සැලකීමයි. එක් භාෂාවක් සම්මත ලෙස පිළිගන්නවා නම් රටවල් දෙකක් බිහිවනු ඇත. භාෂා දෙකම පිළිගන්නේ නම් එක්සත් එක් රටක් ඉදිවනු ඇත ". කොල්වින්ගේ මෙම ප්‍රකාශය ශ්‍රී ලංකාවේ අදටද වඩාත් ප්‍රසිද්ධ වන අතර උගතුන් භාෂා ගැටළුව පිළිබඳව සාකච්ඡා කරන විට බොහෝ විට ප්‍රකාශ කරන්නේ. " එදා කොල්වින් ආර්ද සිල්වා මෙන්න මෙහෙම කිව්වා " ආදී වශයෙනි.

නමුත් දේශපාලන විචාරක ධර්ම ශ්‍රී කාරියවසම් මහතා පවසන්නේ සිංහල රාජ්‍ය භාෂාව වන බවට අපගේ ව්‍යවස්ථාවට ඇතුලත් කලේ  කොල්වින් ආර්. ද සිල්වා යන බවය. ඒ 1972 ජනරජ ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ දීය. මන්ද එම ව්‍යවස්ථාව සම්පාදනය කර ඇත්තේ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වාය. ඉදිං කොල්වින් එදා කියපු දේ පිළිගන්නේ ද නැතිනම් ඔහු පසුව කරපු දේ පිළිගන්නේ ද යනුවෙන් තීරණය කළ හැක්කේ ඔබටය.

රාජ්‍ය භාෂා පණත් කෙටුම්පත විවාදයට ගන්නා ආවස්ථාවේ අගමැති බණ්ඩාරනායක ඔහුගේ වෙනදා ජව සම්පන්න ස්වරයෙන් පාර්ලිමේන්තුව ඇමතීමට කටයුතු නොකළ බවත් ඒ වෙනුවට සාමකාමී අයුරින් මේ පණත ක්‍රියාත්මක වන ආකාරය දෙස බලන්න සහ ඉවසා සිටින්න යනුවෙන් ඉල්ලීම් කර ඇති බවත් සඳහන් ය. කෙසේ නමුත් අවසානයේ රාජ්‍ය භාෂා පණතට පක්ෂව ඡන්ද 66 ක් ලැබෙන අතර විපක්ෂව ලැබෙන්නේ ඡන්ද 29 ක් පමණි. ඒ අනුව පණත සම්මතය.

පණතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ ලංකා සම සමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, ෆෙඩරල් පක්ෂය සහ දෙමළ සංගමයයි. නමුත් මේ අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂය විපක්ෂයේ වූවත් පණතට පක්ෂව ඡන්දය ලබා දෙන අතර ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ මංත්‍රීවරුන් පිටත සිට මෙහෙයවා ඇත්තේ ජේ. ආර්. ජයවර්ධන වන බව ද විචාරකයින් කියයි.

මෙම සිද්ධි දාමයෙන් අනතුරුව බණ්ඩාරනායක මහතා හට 1959 සැප්තැම්බර් මස 25 වන දා තල්දූවේ සෝමාරාම හිමිගේ වෙඩි පහරකින් මිය යන්නට සිදු වූ බව ද මේ මොහොතේ ඔබගේ දැන ගැනීම පිණිස මතක් කර සිටිමි.

කෙසේ නමුත් ලිපි තුනක් ඔස්සේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ සිංහල රාජ්‍ය භාෂාව බවට පත් කිරීමේ මෙම සිද්ධිදාමය සහ සිංහල රාජ්‍ය භාෂාව බවත පත් කිරීම පසු කාලයේ ජන වාර්ගික යුද්ධයක් වැනි මහා ව්‍යසනයකට තුඩු දුන් ප්‍රධාන කාරණාව වන බවට බොහෝ දෙනා පිළි ගනී. මෙම භාෂා ප්‍රශ්නය විසඳීමට බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුම, ඩඩ්ලි - චෙල්වනායගම් ගිවිසුම වැනි පසු කාලීන ගිවිසුම් ඉදිරිපත් වූව ද ,

1972 පළමු ජනරජ ව්‍යවස්ථාවෙන් ද සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස පිළි ගැනීම වැනි ප්‍රතිපත්තීන් හමුවේ මෙම ගැටළුව ජන වාර්ගික යුද්ධයක් කරා ගමන් කළ බවට බොහෝ පිරිසක් විශ්වාස කරන අතර 1983 කළු ජූලිය එහි ආරම්භක අවස්ථාව විය.  දේශපාලන විචාරකයින් පවසන්නේ  1956 සිංහල රාජ්‍ය භාෂාව බවට පත් කිරීම මෙරට වර්ධනය වූ සිංහල බෞද්ධ ජාතිකවාදී චින්තනයේ දේශපාලන සම්ප්‍රාප්තිය වන බවය. එම චින්තනය අද දක්වාම පවතී. කෙසේ නමුත් මෙම කතාවෙනම් තමන් තනිව සිතාගත යුතු කතා ඕනෑ තරම් ඇත. එය ඔබට බාරය.

සිංහල රාජ්‍ය භාෂාව කිරීමේ සම්පුර්ණ කතාව 2
″ සිංහල රාජ්‍ය භාෂාව කිරීමේ සම්පූර්ණ කතාව 1″ යනුවෙන් මීට පෙර ගෙන ආ ලිපිය අවසන් කරන ලද්දේ පහත සඳහන් අයුරිනි. ” එම නිසා මේ කාලය තුළදී අපට අපගේ

Latest