Skip to content

මරණය අභිමුවද දණ නොනැමූ අභීත පත්‍රකලාවේදියා..

ජුලියස් ෆුචික්  ඝාතනය කොට වසර 80 යි..

"අපි හැමවිටෙකම මරණය බලාපොරොත්තුවෙන් සිටියෙමු. ගෙස්ටැපෝ අතට පත්වීම යනු අවසානය බව අපි දැන සිටියෙමු. අත්අඩංගුවට ගත් පසු පවා අපේ ආත්මය සමඟත්, අනෙක් අය සමඟ වූ සබඳතාවලදීත් ඒ අනුව අපි ක්‍රියා කළෙමු. මගේ සෙල්ලමද අවසානය කරා ළඟා වෙමින් පවතියි. මට ඒ අවසානය ගැන ලියන්නට නොහැකිය. ඒ එය කුමන ආකාරයක අවසානයක් වනු ඇති දැයි මා නොදන්නා නිසාය. මෙය තව දුරටත් සෙල්ලමක් නොවේ. මේ ජීවිතය යි. අවසාන රඟපෑම සඳහා තිරය විවර විය. මිතුරනි, මම ඔබ සියලු දෙනාටම ආදරය කරමි. විමසිල්ලෙන් සිටිනු."

ඒ ජර්මන් ගෙස්ටැපෝ පොලිසිය විසින් පැහැරගෙන අනේක වධ​ බන්ධනයන්ට ලක්කර අවසානයේ ඝාතනය කරන ලද චෙකොස්ලෝවැකියානු පත්‍රකලාවේදී ජුලියස් ෆුචික් 1943 ජුනි 9 වැනිදා අවසන් වරට තබන ලද සටහනයි.

ජුලියස් ෆුචික්

ළමා කාලය

ජුලියස් ෆුචික් උපත ලබනුයේ 1903 පෙබරවාරි මස 23 වනදා චෙකොස්ලොවැකියාවේ ප්‍රාග් නුවර ස්මිචෝව්හිදීය. ඔහුගේ පියා වෘත්තියෙන් වානේ කම්කරුවකු වූ අතර ඔහු ඊට අමතරව නළුවෙක් සහ ගායකයෙක් ලෙසද කටයුතු කලේය. පියාගේ අභාෂය හේතුවෙන් ජුලියස්ද කුඩාකල සිටම කලා ක්ෂේත්‍රය කෙරෙහි උනන්දුවක් දැක්විය.

පත්‍රකලාවේදියකු ලෙස

ජුලියස් පුවත්පත් සඳහා ලිපි ලිවිම අරඹන්නේ කුඩා කළ පටන්මය. චෙකොස්ලෝවැකියානු කොමියුනිස්ට් පක්ෂයේ ශිෂ්‍ය සංවිධානයේ ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කරමින් එහි සමජවාදී සඟරා සඳහා ලිපි ලිවිම ඇරඹු ඔහු ක්‍රමයෙන් මාධ්‍යය කලාව ප්‍රගුණ කළේය.

ප්‍රාග් සරසවියේදී සාහිත්‍ය, සංගීතය සහ චිත්‍ර ශිල්පය හැදෑරු ෆුචික් රැකියාව කරන අතරතුරදී කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයකු ලෙසද ක්‍රියා කලේය. හෙතෙම එහි කැපී පෙනන පුද්ගලයකු විය. 1929 දී ඔහු Tvarba (Creation) සඟරාවේ ප්‍රධාන සංස්කාරක බවට පත්විය. ජුලියස්ගේ නායකත්වය යටතේ නව ගමනක් ඇරැඹූ Tvarba සඟරාව දේශපාලන සහ සංස්කෘතික ක්ෂේත්‍රයන්හි දැඩි බලපෑමක් ඇතිකළ සඟරාවක් බවට පරිවර්තනය වන්නට ගත්තේ ඉතාමත් කෙටි කාලයකි.  මේ නිසාම ජුලියස් චෙකොස්ලොවැකියා කොමියුනිස්ට් පක්ෂයේ නිල පුවත්පත වූ Rude Pravo හි සංස්කාරක බවටද පත්විය.

Rude Pravo පුවත්පත 1929 දී

1930 දී සෝවියට් දේශයේ සංචාරයක් සඳහා පිටව යන ජුලියස් නැවත පැමිණි පසු සෝවියට් දේශය පිලිබඳ කෘතියක් V zemi, kde zítra již znamená včera (“In a Land, Where Tomorrow is Already Yesterday”) නමින් 1932 දී ප්‍රකාශයට පත් කරන්නටද ක්‍රියා කලේය.

මාධ්‍යකරුවකු ලෙස කටයුතු කරගෙන යාමේදී ෆුචික් ට මර්දනයට මුහුණ දීමට සිදුවුයේ නාසි ආක්‍රමණ වලටත් පෙර සිටමය​. චෙකොස්ලොවැකියාවේ බලධාරීන් අතින් ඔහු නිරන්තර වධ බන්ධයනයන්ට මෙන්ම සිරගතකිරීම් වලටද ලක්විය. නමුත් පෑන සිය අවිය කරගත් ෆුචික් නිහඬ කිරීමට ඒ කිසිවෙක් සමත් වූයේ නැත. 1938 දී ගුස්තා ෆුචික් නොහොත් ඔගස්තිනා ෆුචික්  සමඟ ජුලියස් ෆුචික් විවාහ දිවියට පත්වූ නමුත් ඔහුට වැඩිකලක් සැහැල්ලුවෙන් සිය විවාහ දිවිය ගතකිරීමට නොහැකිවිය.

ජුලියස් සහ ඔගස්තිනා 

1938 සැප්තැම්බර් මියුනිච් ගිවිසුමෙන් පසුව චෙකොස්ලෝවකියාව තුළ කොමියුනිස්ට් පුවත්පත නීති විරෝධී එකක් ලෙස නම් කර එය තහනම් කරන ලදි. මේ හේතුව නිසාම පක්ෂය රහසිගත දේශපාලනයට යොමු විය. නාසීන් ගේ පැමිණීමත් සමඟ ජුලියස් සැඟවිණ​.  ඉන් ඇනතුරුව ඇරඹියේ ඉතාමත් දුෂ්කර කාල වකවානුවකි. නමුත් දුෂ්කරතා මධ්‍යයේ සිය මෙහෙවර ඉටුකිරීමට කැපවූ ජුලියස් ඒකාධිපති පාලනයත්, මිලේච්ච නාසිවාදයටත් එරෙහිව කොමියුනිස්ට්වාදය වෙනුවෙන් සටන් කළේය. රහසිගත ජීවිතය තුලදී ඓතිහාසික මාර්ක්ස්වාදී සාහිත්‍ය පෝෂණය කිරීමට මෙන්ම තහනම් වූ පක්ෂය වෙනුවෙන් රහසිගත මුලස්ථානයක් සංවිධානය කිරීමේ මෙහෙවරකද හේ නිරත විය. තහනම් කළ සිය පක්ෂයේ පුවත්පත Rude Pravo රහසිගත ලෙස ප්‍රකාශයට පත්කරමින් ජනතාව දනුවත්කිරිමටත්, පෙළගැස්වීමටත් වෙහෙසුණු ඔහු 1942 අප්‍රේල් 24 දින නාසි ගෙස්ටැපෝ පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. එසේ ඔහු අත්අඩංගුවට පත්වන්නේ ඔහු පක්ෂයේ සංවිධාන කටයුත්තක් සඳහා  හිතවතෙකුගේ නිවසේ රැදී සිටි අවස්තාවකදීය.

අනතුරුව ගෙස්ටැපෝ පොලිසිය ඔහුව රැගෙන එන්නේ ප්‍රාග් හි පන්ක්‍රාස්ට් සිරගෙදරටයි. මෙය විශේෂයෙන්ම කොමියුනිස්ට්වාදීන් වෙනුවෙන් වෙන්කළ වධකාගාරයක් විය. මේ පිලිබඳ ඔහු සිය අවසන් කෘතිය වූ ‘පෝරකයේ සටහන්’ හෙවත් ‘Notes from the Gallows’ හි සඳහන් කර ඇත්තේ මෙසේයි.

"පෙචෙක් ගොඩනැගිල්ල, ගෙස්ටැපෝ මුලස්ථානය, මෙහි පණපිටින් ඇතුළු වනු ඇතැයි මම කිසි දා නොසිතුවෙමි. හතර වැනි තට්ටුවට දිව යන ලෙස ඔවුහු මට කියති.  සුප්‍රසිද්ධ 11-A අංශය. කොමියුනිස්ට් විරෝධී පරීක්ෂණ. මා කුතුහලයට පත් වූ සේ දැනෙයි."

අත්අඩංගුවට පත්වන මොහොතේ සිට ඔහු තමන්ව හඳුන්වා දෙන්නේ ‘මහාචාර්ය හොරක්’ යන නමිනි. මෙම පන්ක්‍රාස්ට් සිරගෙදර ඔහුව වසරක පමණ
කාලයක් රඳවාගෙන අනේකවිධ වධ​ බන්ධනයන්ට ලක්කරන අතර තොරතුරු ලබා ගැනීමටත් හිට්ලර් වෙත පක්ෂපාති ප්‍රකාශ ලබා ගැනීමටත් නාසීන් විසින් ගන්නා උත්සහයන් සියල්ල අසාර්ථක වන්නේය.

Notes From the Gallows

ජුලියස් ෆුචික්ගේ ජිවිතයේ අවසන් පරිච්ඡේදය ලියා තැබූ ලෝක ප්‍රසිද්ධ කෘතිය මෙයයි. 1942 අප්‍රේල් 24 දින අත්අඩංගුවට පත්වන මොහොතේ සිට 1943 ජුනි වනතෙක් ඔහුගේ අත්දැකීම් කැටිකර බොහොමත් දුෂ්කර තත්ත්වයන් යටතේ ලියා තැබූ මෙය ලෝක ඉතිහාසයට නොමැකෙන මතකයක් එක්කර තිබේ.

ඔහුට සිරගෙදර සිටියදී මේ කෘතිය සම්පාදනය කිරීම සඳහා උපකාර කර ඇත්තේ සිරගෙදර නියමකයකු වූ ඒ. කොලින්ස්කි නැමැත්තෙකි. කඩදාසි නොමැති විටදී සිගරැට් ඔතන ලද පත්‍රිකාද ඔහුගේ පැන්සල් තුඩට මහත් අස්වැසිල්ලක් විය. ලෝකයා හමුවේ අමිහිරි මතකයන් මෙන්ම අප්‍රතිහත ධෛර්යයෙන් යුත් මිනිසෙකුගේ කතාව ගෙන ඒමට අවසානයේදී මෙම දුම්වැටි දවටනද ඔහුට මහත් අස්වැසිල්ලක් වී තිබේ. පෝරකයේ සටහන් පිලිබඳ ජුලියස් තබන්නේ මෙවැනි සටහනකි.

"මගේ ජීවිතය පිලිබඳ චිත්‍රපට දහසක් සවිස්තරාත්මකව මම සිය දහස් වාරයක් වාරයක් දුටුවෙමි. දැන් මම එය ලියා තබන්නට උත්සහ කළ යුතු වෙමි. මා එය ලියා තබන්නට පෙර වධකයා මාගේ ගෙල සිර කළ හොත් එහි ප්‍රීතිදායක අවසානය ලියන්නට මිලියන ගණනක් සිටිති."

ජීවත්වූ නිවස

පන්ක්‍රාස්ට් සිරගෙදරදී ඔහුට පහර දෙමින් විමසන්නේ තහනම් කර ඇති නමුත් රහසිගතව ක්‍රියාත්මක වන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යමකාරක සභාව පිලිබඳ තොරතුරුය.  එහෙත් ෆුචික් විසින් ඔවුන් වෙත කිසිදු තොරතුරක් ලබා නොදීම නිසා තමන්ට මාරාන්තික ලෙස පහර කෑමට සිදුවන ආකාරයද  ඔහු විස්තර කර තිබේ. දින ගණනක් සිහිය නොලබන තෙක් පහර කෑමට ඔහුට සිදුවේ. දිගින් දිගටම වද බන්ධනයන්ට ලක්වුවද යටත් වීමට ඔහු කිසි විටෙක ඉදිරිපත් නොවේ.

නාසීන්ගේ සියලු උත්සාහයන් අසාර්ථක වීමෙන් පසුව 1943 දී ජුලියස්ව බර්ලින් වෙත යවන්නේ නාසි අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමටයි. 1943 අගෝස්තු 23 දා නාසි අධිකරණයෙන් ජුලියස් ෆුචික් ට මරණ දඬුවම පණවන ලද අතර 1943 සැප්තැම්බර් 8 වැනිදා ඔහුව සහාසික ලෙස වෙඩිතබා ඝාතනය කරන ලදී. ඒ අනුව කොමියුනිස්ට්වදියෙක්ද ජනතාවාදී පත්‍රකලාවේදියෙක්ද ලෙසින් ෆුචික් අදින් හරියටම වසර 80 කට පෙර  සිය අවසන් හුස්ම පොද වාතලයට මුදා හරින ලදී.

ජුලියස් ෆුචික් සිහිවීමට ජර්මනියේ පැන්කොව්හි ඉදිකර ඇති ස්මාරකය (Getty Image)

ජුලියස් ෆුචික්ගේ බිරිඳ ඔගස්තිනා ද නාසි සිර භාරයට පත්වන අතර නිදහස් වන්නේ ජර්මනිය පරාජය වීමෙන් පසුවය. මෙසේ නිදහස් වී පැමිණි පසුව තම සැමියා සෙවූ ඇය ඒ පිලිබඳ පෝරකයේ සටහන් කෘතියට සටහනක් එක්කරන්නේ මෙසේයි.

"නිදහස ලැබූ මගේ මාතෘ භූමියට ආපසු පැමිණි මම මගේ සැමියා සෙවීමි. ජර්මානු ආක්‍රමණිකයන් විසින් අප්‍රමාණ වධකාරාගාර වෙත ඇදගෙන යනු ලැබූ දස දහස් ගණනක් ජනයා අතර තම සැමියන්, බිරියන්, දරුවන්, පියවරුන් සහ මවුවරුන් සොයා ගිය අය මෙන් මම ද මගේ සැමියා සොයා ගියෙමි. ඔහු මරණ දඬුවමට යටත් කළ දිනට දින 14 කට පසු එනම්, 1943 සැප්තැම්බර් 8 වැනිදා ඔහු මරා දමන ලද බව මම දැන ගතිමි."

ජුලියස් ෆුචික් වෙනුවෙන් නිකුත්කළ මුද්දර

නිදහසින් පසුව චෙකොස්ලෝවකියවෙත්, චෙකොස්ලෝවැකියානු කොමියුනිස්ට් පක්ෂය තුලත් ජුලියස් ෆුචික් ඓතිහාසික චරිතයක් ලෙස ඉතිහාසයට එක් විය​.

ලොව අඳුරුම වකවානුවකදීත් සිය මෙහෙවර අත්නොහළ මේ ජනමාධ්‍යවේදියා වෙනුවෙන් 1950 දී ලෝක සාම කවුන්සිලය විසින් අන්තර්ජාතික සාම ගෞරව සම්මානයද පිරිනමන ලදී.

මිලේච්ඡ නාසිවාදය හමුවේ යටත් නොවී යුක්තිය වෙනුවෙන් සටන් කළ ජුලියස් ෆුචික් ලෝක ඉතිහාසයේ සදා නොමැකෙන මතකයකි.

මුලාශ්‍ර:
පෝරකයේ සිට ලියු සටහන්- ජුලියස් ෆුචික්
alamay/Wikimedia,shutterstock                                                                           stoplusjednicka.cz

Latest