අයර්ලන්ත පොලිසිය විසින් විදෙස් මාධ්‍ය වෙත කරුණු දක්වා ඇති ආකාරයට එරට ඉතිහාසයේ මෙතෙක් සිදුවූ විශාලතම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීම ඉකුත් අඟහරුවාදා Cork වෙරළට ඔබ්බෙන් සිදුකොට තිබේ. යුරෝ මිලියන 157ක් (ඩොලර් මිලියන 165ක්) වටිනා කිලෝග්‍රෑම් 2,253ක ප්‍රමාණයකින් යුත් කොකේන් තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ දකුණු ඇමරිකාවේ සිට ගමන්ගත් “MV Matthew” නම් යාත්‍රාවකිනි.
අයර්ලන්තයේ පොලිස් බලකායේ සහකාර කොමසාරිස්වරයා වශයෙන් කටයුතු කරන Justin Kelly සඳහන් කර තිබෙන ආකාරයට මෙය ඔවුනට ඉතා වැදගත් මෙහෙයුමක් වශයෙන් ඉතිහාසයට එක්වන බවත් රට තුළට මත්ද්‍රව්‍ය රැගෙන එන ජාලයන් කඩාකප්පල් කොට ඒවා විසුරුවා හැරීමට ඉදිරියේදීත් නොපසුබස්නා උත්සාහයෙන් කටයුතු කරන බවටත් දක්වා ඇත.
සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් සැකපිට 31, 50 සහ 60 හැවිරිදි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දැනට Wexford ප්‍රාන්තයේ Garda පොලිස් ස්ථානය වෙතට ප්‍රශ්ණ කිරීම සඳහා යොමුකර ඇත. නිලධාරීන් විසින් මේ වන විට විමර්‍ෂණය කොට ඇති කරුණු වලට අදාළව දකුණු ඇමරිකාව හරහා යොමුකර ඇති මෙම මත්ද්‍රව්‍ය තොගය අයර්ලන්තය, එක්සත් රාජධානිය සහ යුරෝපයේ වෙසෙන අපරාධ කල්ලි අතට පත්කිරීම අරමුණු වී ඇතැයි සඳහන් ය.
X හරහා හුවමාරු වී තිබූ වීඩියෝවක දැක්වෙන ආකාරයට නෞකාව අයර්ලන්ත මුහුදෙන් ආපසු ගමන්කිරීමට උත්සාහ දරමින් තිබූ පසුබිමක එරට ආරක්‍ෂක හමුදාව විසින් අභියෝගාත්මක කාලගුණික තත්ත්වයන් මධ්‍යයේ වුවද හෙලිකොප්ටර් ආධාරයෙන් වැටලීම සාර්ථකව සිදුකරන ආකාරය බොහෝ දෙනෙකුගේ ප්‍රශංසාවට ලක්වී ඇත.
සිය භාරයට ගැනීමෙන් අනතුරුව කෝක් වරාය (Cork harbor) වෙත යොමු කර ඇති අදාළ නෞකාව මේ වන විට අධිකරණ පරීක්‍ෂණ කටයුතු සඳහා ලක් කරමින් තිබෙන බවට වාර්තා වේ. Garda මාධ්‍ය නිවේදනයක දැක්වෙන පරිදි බුද්ධි අංශ විසින් මෙහෙයවන ලද මෙම මෙහෙයුම සඳහා ලිස්බන් හි පිහිටි මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වන සමුද්‍රීය විශ්ලේෂණ සහ මෙහෙයුම් මධ්‍යස්ථානයේ සහයෝගයද ලබා ගෙන ඇත.