පළමු ලෝක යුද්ධය ආරම්භයේදී ඊජිප්තුව බ්‍රිතාන්‍ය පාලනයට නතුව තිබූ අතර ඊට ඔබ්බෙන් වූ පලස්තීනය වූයේ ඔටෝමන් තුර්කි පාලනයේ ය. යුද්ධයේ මුල් කාලයේ සිටම බ්‍රිතාන්‍යයන්ගේ අවධානය යොමු වූ එක් කරුණක් වූයේ ඔටෝමන් තුර්කිය විසින් සූවස් ඇළ දෙසට පහර දීමේ අවදානමයි. එවන් උත්සාහයන් ගන්නා ලද අතර ඒවා එතරම්ම සාර්ථක වූයේ නැත. 1916 අගෝස්තුවේ රොමානි නගරයට එල්ල වූ තුර්කි ප්‍රහාරය සූවස් ඇළ දෙසට එල්ල වූ අවසන් ප්‍රහාරය වූයේ ය.

ඊජිප්තුව දෙසට එල්ල වන තුර්කි තර්ජනයන්ට මුහුණ දීම සඳහා, 1916 මාර්තු මාසයේදී, ජෙනරාල් ආර්චිබෝල්ඩ් මරේගේ නායකත්වයෙන් ඊජිප්තු කාර්යය සාධන බලකාය (Egyptian Expeditionary Force) ස්ථාපිත කරනු ලැබ තිබුණි. රොමානි ප්‍රහාරයෙන් අනතුරුව මරේගේ බලකාය විසින් කෙමෙන් කෙමෙන් සිනායි අර්ධද්වීපය සිය පාලනයට නතු කරගන්නා ලදී. 1917 ජනවාරියේදී රෆා සටනින් පසු සිනායි අර්ධද්වීපයේ බ්‍රිතාන්‍ය බලය තහවුරු වූයේ ය. එයින් පසු බ්‍රිතාන්‍යයන් විසින් පලස්තීනය ඉලක්ක කරගෙන යුධ මෙහෙයුම් අරඹන ලදී.

පලස්තීනයේ ආකර්ශනීයම ඉලක්කය වූයේ යෙරුසලම ය. නමුත් එදෙසට හමුදා යැවීමේදී මරේ මුහුණදුන් ගැටළු කිහිපයක් විය. එයින් විශාලම ප්‍රශ්නය වූයේ ජලය යි. මෙම ගැටළුවේ තරම ලන් ඩනයේ වූ යුධ බලධාරීන් ද හරිහැටි තේරුම්ගත් බවක් නොපෙණින. 1917 වසර ආරම්භයේදී ද මරේගේ සේනාව සිය සැපයුම් සඳහා රඳා පැවතුණේ සිනායි අර්ධද්වීපය හරහා ඉදි කෙරුණ දුම්රිය මාර්ගය සහ ජල නල මාර්ගය මත ය.
ගාසා හි පළමු සටන
පලස්තීනයට කඩා වැදීමට නම් මුලින්ම ජය ගතයුතු ප්‍රබල ඔටෝමන් බලකොටුවක් වූයේ ය. ඒ ගාසා නගරය යි. එහි ආරක්ෂක සංවිධාන සවිමත් වූ අතර නගරය අල්ලා ගැනීම සැලකිය යුතු අභියෝගයක් විය.
මේ වනවිට ඊජිප්තු කාර්යය සාධන බලකාය සතුව පාබල ඩිවිෂන හතරක් ද ඇන්සැක් අශ්වාරෝහක ඩිවිෂනය සහ අධිරාජ්‍යයීය ඌස්ත්‍රාරෝහක (ඔටුවන් පිට නැගී යන හමුදා) ඩිවිෂනය ද අයත් වූයේ ය. මෙම අශ්වාරෝහක ඩිවිෂන තුර්කි ස්ථානයන්ට "ගසා දුවන" ආකාරයේ ප්‍රහාර නිරන්තරයෙන් එල්ල කළේ ය. කරමින් තුර්කීන්ට හිසරදයක් වීමට සමත් වූහ. නමුත් එය පමණක් පලස්තීනය ජයගැනීමට ප්‍රමාණවත් වූයේ නැත. මාර්තු 26 වනදා මෙම හමුදා කණ්ඩායම් ඊට වඩා විශාල ප්‍රහාරයකට යොමු වූහ. එය ගාසා නගරයට පහර දීම ය. මෙහිදී සටන් බිමෙහි හමුදා මෙහෙයවීම ජෙනරාල් චාර්ල්ස් ඩෝබෙල් විසින් සිදු කෙරුණි.

බ්‍රිතාන්‍යයන් බලාපොරොත්තු වූයේ වේගවත් ප්‍රහාරයකින් ගාසා නගරය වටලා පහර දී එය අල්ලා ගැනීම යි. අතිරේක ඔටෝමන් සේනා පැමිණීමට පෙර බ්‍රිතාන්‍ය හමුදා විසින් නගරය අල්ලා ගතයුතු වූයේ ය. නගරය වටලෑම සඳහා, ඔවුනගේ වේගවත්ම අශ්වාරෝහක සහ ඌස්ත්‍රාරෝහක සේනාංක ගාසා නගරයට දකුණු දෙසින්, කාන්තාරය හරහා නගරයට ඊසාන දිශාව කරා යවන ලද්දේ ය. ඔවුන් නගරය එදෙසින් වටලා අතිරේක සේනා පැමිණීම වැළැක්විය යුතු විය. මේ අතර පාබල සේනාංක නගරයට දකුණු දෙසින් පැමිණ ප්‍රධාන ප්‍රහාරය එල්ල කළ යුතු වූයේ ය. ඔවුනට කාලතුවක්කුවල ආධාර ද ලැබිණ.
බ්‍රිතාන්‍ය හමුදාවට ආහාර සහ විශේෂයෙන්ම ජලය තිබුණේ පැය 24 ක කාලයක් සඳහා පමණි. එහෙයින් දිගු සටනක් කිරීමට නම් ඔවුන් ගාසා හි ළිං අල්ලා ගතයුතු වූයේ ය. එසේ නොවුණහොත් හමුදාව විඩාවට සහ පිපාසයට පත්ව පරාජය වීමේ අවදානම බරපතල විය. ඔටෝමන් අතිරේක සේනාංක ද වැඩි දුරක නොවූ හෙයින් ඉක්මන් සටනකින් ගාසා අල්ලා ගැනීම අතිශයින්ම වැදගත් වූයේ ය.
නමුත් ගාසා වෙත එල්ල කළ ප්‍රධාන ප්‍රහාරය සැලසුම් කළ පරිදි සිදු නොවී ය. උදෑසන වූ දැඩි මීදුම හේතුවෙන් අලි මුන්ටාර් උස්බිම් ප්‍රදේශයට එල්ල කිරීමට සැලසුම් කළ ප්‍රහාරය පැය කිහිපයකින් ප්‍රමාද වූයේ ය. ගාසා නගරය අල්ලා ගැනීමට මෙය ඉතා වැදගත් ස්ථානයක් විය. අලි මුන්ටාර් ප්‍රහාරය උදෑසන 8 ට එල්ල කිරීමට නියමිත වුවද එය සිදු කෙරෙන විට මධ්‍යාහ්නය වී තිබුණි. එහිදී ද බ්‍රිතාන්‍ය කාලතුවක්කු බලාපොරොත්තු වූ තරම් සාර්ථක නොවූ අතර බ්‍රිතාන්‍ය පාබල සේනා ප්‍රබල තුර්කි ප්‍රහාරයකට ලක් වූයේ ය. තුර්කි ප්‍රහාරයන්ගෙන් ආවරණය වීමට ක්‍රමයක් ද භූමිය විසින් ඔවුනට නොවී ය.

මේ අතර ජෙනරාල් චෙට්වෝඩ් විසින් ඇන්සැක් අශ්වාරෝහයකන් වෙත අණ කළේ සවස 4 ට උතුරු සහ ඊසාන දෙසින් ගාසා වෙත පහර දෙන ලෙස ය. බ්‍රිතාන්‍ය 53 වන පාබල ඩිවිෂනය තමන්ට සිදු වූ හානි ද නොතකමින් අලී මුන්ටාර් වෙත දිගටම පහර දුන්නෝ ය. අශ්වාරෝහක ප්‍රහාරය ද සාර්ථක ලෙස සිදු කෙරිණ. සවස 6.30 වනවිට පාබල සහ අසරු සේනා ගාසා හි වීදි කරා එළඹුණෝ ය. තුර්කීහු සිය අවසන් සටනට සූදානම් වූහ.
අවාසි සහගත තත්ත්වයන් යටතේ වුවද මෙසේ බ්‍රිතාන්‍ය හමුදා ජයග්‍රහණය පෙනෙන මානයට පැමිණිය හ. මේ අවස්ථාවේ ඩෝබෙල් සහ චෙට්වෝර්ඩ් ජෙනරාල්වරුන් වෙතින් නිකුත් වූයේ පුදුමාකාර නියෝගයකි. ඔව්හු ගාසා වෙතින් පසුබසින ලෙස හමුදාවන්ට නියෝග කළ හ. මීට හේතු වූයේ ඔටෝමන් අතිරේක සේනා ළඟ ළඟම එන්නේය යන සැකයයි. ඔටෝමන් සේනා සහ මිත්‍ර පාක්ෂික අශ්වාරෝහක හමුදා අතර ගැටුම් වාර්තා වීම ද ඊට හේතු විය. මේ අතර ජලය සහ වෙඩි උණ්ඩ ද හිඟ වෙමින් තිබුණි.
මෙම නියෝගය සහ ගාසා හි පරාජය විවාදාත්මක වූවකි. ඔටෝමන් අතිරේක හමුදා පැමිණියේ නම් බ්‍රිතාන්‍යයන් කොටුවී විනාශ වන්නට ඉඩ තිබුණි. නමුත් තම ජයග්‍රහණය ඔස්සේ ඉදිරියට ගියේ නම් ඔවුන් ජයගන්නට ද තිබුණි. ඉන් කුමක් වන්නට තිබුණේදැ යි නියත වශයෙන් පැවසීම අපහසුය. කෙසේ වෙතත් මිත්‍ර හමුදා පසුබැසීමට සමත් වූහ.
මෙම සටන සඳහා යොදවන ලද මිත්‍ර හමුදාවන් හි පිරිස් ශක්තිය ප්‍රමාණාත්මක නොවූ අතර ඔවුනට වඩා විශාල පිරිසක් වූයේ නම් අතිරේක තුර්කි හමුදා පැමිණෙන මාර්ගයට ඔවුන් යොදවා ගාසා හි ප්‍රහාරය දිගටම සිදුකිරීමේ අවස්ථාව ද තිබුණි.
ගාසා හි දෙවන සටන
මාර්තු 26 ප්‍රහාරය අසාර්ථක වීමෙන් පසු ජෙනරාල් ආර්චිබෝල්ඩ් මරේ විසින් ගාසා නගරය අල්ලා ගැනීමට වඩා ප්‍රවේශම් සහගත සැලසුමක් සකස් කළේ ය. මෙහි මූලික අංගය වූයේ පාබල ඩිවිෂන තුනක් විසින් එල්ල කෙරෙන ප්‍රහාරයකි. මේ සඳහා 52 වන, 53 වන සහ 54 වන ඩිවිෂන සූදානම් කෙරිණ. ඔවුනට ආධාර කිරීම සඳහා හැකි තරම් කාලතුවක්කු එකතු කරන ලදී. මේ අනුව බර කාලතුවක්කු 16 ක්, අඟල් 4.5 හවිට්සර් 24 ක් සහ ක්ෂේත්‍ර තුවක්කු (field guns) 92 ක් ප්‍රහාරයට එක් කරගන්නා ලද්දේ ය. කුඩා ප්‍රංශ යුධ නැව් තුනකින් ද ප්‍රහාරය සඳහා කාලතුවක්කු ප්‍රහාර ආධාර ලබාගනු ලැබුණි. බ්‍රිතාන්‍යයෙන් යුධ ටැංකි 8 ක් සහ විෂ වායු කැනිස්ටර 4000 ක් ද ගෙන්වා ගැනීමට මරේ සමත් වූයේ ය. මින් පෙර කිසිදු අවස්ථාවක මැද පෙරදිගදී විෂ වායු ප්‍රහාරයන් එල්ල වී නොතිබුණි.
ගාසා හි වැදගත්කම වටහාගත් තුර්කීහු ද එහි ආරක්ෂාව තර කිරීමට ක්‍රියා කළෝ ය. ඊට ජර්මානුන් වෙතින් ද සහය ලැබුණි. කෙමාල් පාෂා විසින් මෙහෙයවන ලද සිව්වන ඔටෝමන් හමුදාව ගාසා හි ආරක්ෂක විධිවිධාන තර කිරීමට කටයුතු කළේ ය. කෙමාල් පාෂාගේ මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළේ ජර්මන් ජෙනරාල් ක්‍රෙස් ෆොන් ක්‍රෙසන්ස්ටයින් ය.

ගාසා සිට බීර්ශෙබා දක්වා මාර්ගය ද ශක්තිමත් ආරක්ෂිත මුරකාවල් යොදා රැකවල් ලා තිබුණේ ඒ හරහා අශ්වාරෝහක සේනා ගාසා නගරය වටලෑමේ අවදානම අඩු කිරීමට ය. මෙහි ආරක්ෂාව සඳහා කාලතුවක්කු 100 කින් සන්නද්ධ පාබල ඩිවිෂන 4 ක් කිලෝමීටර 20 ක දුරක් ඔස්සේ ඉදි කෙරුණ ආරක්ෂක මුරකාවල් හි රඳවන ලද්දේ ය.
මේ අතර ඔටෝමන් තුන්වන අශ්වාරෝහක ඩිවිෂනය ගාසා සිට කිලෝමීටර 15 ක් ඊසාන දෙසින් වූ හුජ් හි රඳවන ලද්දේ අතිරේක බල ඇණියක් ලෙස ය.
ගාසා හි පළමු සටන මෙන් නොව මෙවර මිත්‍ර පාක් ෂික අශ්වාරෝහක සහ ඌස්ත්‍රාරෝහක හමුදා සඳහා වූයේ ද්විතීයික වගකීමකි. එනම් ගාසා - බීර්ශෙබා ආරක්ෂක පවුර වෙත පහර දී එහි සිට අතිරේක සේනා ගාසා වෙත යාම වැළැක්වීමට ය. හුජ් හි වූ අමතර සේනා ද එම ප්‍රදේශය කරා එවනු ඇතැයි බ්‍රිතාන්‍යයෝ විමසිලිමත් වූහ.
පළමු ප්‍රහාරය එල්ල වූයේ අප්‍රේල් 17 වනදා ය. මෙහිදී පාබල සේනාංක අලි මුන්ටාර් වෙත ප්‍රවේශ වන ප්‍රදේශයෙහි වූ ඔටෝමන් ආරක්ෂිත ස්ථාන අත්පත් කරගත් හ. තවද අශ්වාරෝහක සේනා තම ද්විතීයික ප්‍රහාරය ද සිදු කළ හ.
අප්‍රේල් 18 වනදා බ්‍රිතාන්‍යයෝ තමන් අල්ලා ගත් ස්ථානයන් හි ආරක්ෂාව තහවුරු කිරීමෙහි සහ මීළඟ ප්‍රහාරය සඳහා සූදානම් වීමෙහි නිරත වූහ.
අප්‍රේල් 19 වනදා උදෑසන 5.30 ට බර අවිවලින් සහ නෞකාවලින් ඔටෝමන් ආරක්ෂිත ස්ථානවලට කාලතුවක්කු ප්‍රහාර එල්ල වීම ඇරඹිණ. මෙහිදී අලි මුන්ටාර් සහ අනෙකුත් ඔටෝමන් ආරක්ෂිත ස්ථාන ඉලක්ක කරන ලද්දේ ය.
උදෑසන 7.30 ට සැහැල්ලු කාලතුවක්කු ද සිය ප්‍රහාරය ආරම්භ කළ අතර පාබල සේනාංක සිය ඉදිරි ගමන ඇරඹූ හ. බ්‍රිතාන්‍ය සේනාවන් හි අවාසනාවට, මෙම කාලතුවක්කු ප්‍රහාරය ප්‍රබල වූ නමුත් ගාසා හි ආරක්ෂිත ස්ථාන විනාශ කිරීමට එය කිසිසේත් ප්‍රමාණවත් නොවී ය. ගාසා හි යුධ අගල්, මැෂින් තුවක්කු රඳවන ලද ස්ථාන සහ බංකර බොහොමයක් නිරුපද්‍රිතව පැවතුණි.
පොස්ජීන් වායු ප්‍රහාරයද කාලතුවක්කු ප්‍රහාරය මෙන් ම වූයේ ය. බරපතල හානියක් සිදු කිරීමට තරම් එම වායු ප්‍රමාණය නොසෑහුණි. ඔටෝමන් සේනාංකයන්ට එම වායු ප්‍රහාරය දැනුණේවත් නැති තරම් ය. මේ අතර බ්‍රිතාන්‍ය යුධ ටැංකි කිහිපයට ද කළ හැක්කක් නොවී ය.
මේ සියල්ලෙහිම අවසන් ප්‍රතිඵලය වූයේ සමූල ඝාතනයකි. තුර්කි වෙඩි ප්‍රහාර හමුවේ බ්‍රිතාන්‍ය පාබල සෙබළු සිය ගණනින් ඇද වැටුණෝ ය. මෙම ප්‍රහාර මධ්‍යයේ වුවද ඇතැම් පාබල බල ඇණි ඔටෝමන් පෙරමුණ කරා ළඟා වීමට සමත් වූ අතර මුහුණට මුහුණලා කෙරෙන දරුණු සටන් එහිදී සිදු වූයේ ය. නමුත් එයින් ද බ්‍රිතාන්‍යයන්ට වාසියක් සිදු නොවී ය. සවස් යාමය වෙද්දී පාබල සේනාංකවලට ආධාර පිණිස අසරු සේනා කැඳවන ලද නමුත් එයින් ද ප්‍රතිඵලයක් නොවී ය.
මෙම ප්‍රහාරයෙන් මියගිය හෝ තුවාල ලද හෝ සම්පූර්ණ බ්‍රිතාන්‍ය හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 6,444 ක් වූයේ ය. මෙයින් 5,291 ක් ම පාබල ඩිවිෂන් තුනෙහි සාමාජිකයෝ වූහ. ඔටෝමන් හමුදාවල 2,000 ක් පමණ මියගිය හෝ තුවාල ලද හෝ පිරිස අතර වූහ.
ජූනි මාසයේදී ජෙනරල් මරේ ඊජිප්තු කාර්යය සාධන බලකායේ අණදෙන නිලධාරී තනතුරෙන් ඉවත් කරන ලදී. ඔහුගේ ස්ථානය ගත්තේ ජෙනරාල් එඩ්මන්ඩ් ඇලන්බි ය.
ගාසා හි තුන්වන සටන
අසරු සෙන්පතියකු වූ එඩ්මන්ඩ් ඇලන්බි, මරේගේ පරාජයන්ගේ අත්දැකීම් ද සැලකිල්ලට ගනිමින්, ගාසා අල්ලා ගැනීම සඳහා වඩා පුළුල් වූ සැලැස්මක් සකස් කළේ ය. ප්‍රමාණවත් හමුදා සේනාංක එක්කර ගැනීම, ජල සැපයුම ස්ථාවර කරගැනීම සහ සමස්ථ යුධ පෙරමුණ පිළිබඳවම සලකා සිය උපක්‍රමික සැලසුම් සකස් කිරීම ඇලන්බිගේ සාධනීය පියවරයන් ය.

සිය සැලසුම් සකස් කිරීමේදී ඔටෝමන් සේනාංක ද සිය පිරිස් බලය මෙන්ම ආරක්ෂක සංවිධානයන් ද ඉහළ නංවා ඇති බව ඇලන්බි විසින් සැලකිල්ලට ගත යුත්තක් වූයේ ය. ගාසා හි දෙවන සටනින් පසු මෙම ප්‍රදේශයෙහි ඔටෝමන් සේනා ශක්තිය පුළුල් වූ අතර ගාසා හි තුන්වන සටන වනවිට ඔටෝමන් හත්වන සහ අටවන හමුදා එම ප්‍රදේශයෙහි රැඳී සිටියෝ ය.
ප්‍රධාන අදියර තුනකින් යුක්ත වූ ඇලන්බිගේ සැලසුම සැකසීමේදී ඔහු තුළ වූ අශ්වාරෝහක සෙන්පතියා ඉස්මතු වූයේ ය. ඇලන්බිගේ අභිප්‍රාය වූයේ අශ්වාරෝහක සේනාංක සතු වේගවත් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව උපරිමයෙන් භාවිතා කිරීම ය. මෙවන් ප්‍රහාරයක් සඳහා ජල සැපයුම අත්‍යාවශ්‍ය වූයේ ය. ඒ, මිනිසුන්ට ද අසුන්ට ද ජලය අත්‍යාවශ්‍ය වූ බැවිනි.
ඇලන්බිගේ සැලසුමෙහි ප්‍රධාන වගකීමක් කාන්තාර අශ්වාරෝහක බලකායට පැවරී තිබුණි. පළමු අදියරේදී එය සහ 20 වන බලකාය විසින් බීර්ශෙබා අල්ලාගත යුතු වූයේ ය. එහි වූ ළිං නිරුපද්‍රිතව අල්ලා ගැනීම මෙහි ප්‍රධානම අරමුණ විය. දෙවන අදියර ලෙස ගාසා හි පිටත ආරක්ෂක වළල්ල වෙත 21 වන බලකාය විසින් පහර දියයුතු විය. මේ අතර 20 වන බලකාය බීර්ශෙබාවලට වයඹ දෙසින් වූ හරෙයිරා සහ ශෙරියා ප්‍රදේශයට පහර දීමට සැලසුම් කළ අතර කාන්තාර අශ්වාරෝහක සේනාව ටෙල් එල් නෙගීල් හි ළිං අල්ලා ගතයුතු වූයේ ය.
මෙම අදියර සාර්ථක වීමෙන් පසු තුන්වන අදියර දියත් කිරීමට ඇලන්බි සැලසුම් කළේ ය. ඒ අනුව නැවතත් කාන්තාර අශ්වාරෝහක බලකාය කරලියට පැමිණිය යුතු වූයේ ය. වෙරළ තීරය වෙත ගමන් කරන එම සේනාව හුජ් ප්‍රදේශය අල්ලාගෙන ගාසා නගරය වටලෑම සම්පූර්ණ කළ යුතු විය.

ඇලන්බිගේ සම්පූර්ණ සැලැස්මෙහි ඉලක්කය වූයේ ගාසා ප්‍රදේශය අල්ලාගැනීම පමණක් නොව ගාසා - බීර්ශෙබා ප්‍රදේශයෙහි වූ 46,000 ක තුර්කි හමුදාව විනාශ කිරීම ය. මේ සඳහා ඔහු කාලය ගෙන හමුදා සහ අවි ඒකරාශී කරගත්තේ ය. ඒ අනුව මරේට වඩා ඉතා වාසිදායක ස්ථාවරයක සිටීමට ඔහු සමත් විය.
ගාසා හි ඔටෝමන් ආරක්ෂක වළල්ල වෙත කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරීම ඔක්තෝබර් 27 වනදා සිට අරඹන ලද්දේ ය. නමුත් සටනෙහි පළමු අදියර වූ බීර්ශෙබා ප්‍රහාරය දියත් කෙරුණේ 1917 ඔක්තෝබර් 31 වනදා ය. 20 වන බලකාය නගරයෙන් දකුණු සහ නිරිතදිග ප්‍රදේශ ඔස්සේ එදෙසට පහර දුන්නේ ය. මේ අතර ඔස්ට්‍රේලියානු සහ ඇන්සැක් අශ්වාරෝහක සේනා ජුදියානු කඳු ඔස්සේ විශාල කවාකාර මාර්ගයකින් පැමිණ බීර්ශෙබාවලට ඊසානදිගින් සහ නැගෙනහිරින් පහර දුන්නෝ ය. මේ සඳහා ඔවුනට ටෙල් එල් සකටි සහ ටෙල් එල් සබා බලකොටු අල්ලාගැනීමට සිදු වූයේ ය.
දහවල් එක පමණ වනවිට ටෙල් එල් සකටි යටත් වූ නමුත් ටෙල් එල් සබා හි තුර්කීහු වඩා ප්‍රබල ප්‍රතිරෝධයක් දැක්වූ හ. එය අල්ලා ගන්නා ලද්දේ සවස තුනට පමණ ය.
මෙම අනපේක්ෂිත ප්‍රමාදය හේතුවෙන් දිනය නිමා වනවිට බීර්ශෙබා හි ළිං අල්ලා ගැනීමේ ඉඩකඩ පිළිබඳ සැකයක් මතු විය. මෙහිදී ඔස්ට්‍රේලියානු ජෙනරාල් හෙන්රි (හැරී) ෂෞවෙල් අනපේක්ෂිත පියවරක් ගත්තේ ය. ඔහු 4 වන ඔස්ට්‍රේලියානු සැහැල්ලු අශ්වාරෝහක බ්‍රිගේඩයට අණකර සිටියේ කෙළින්ම බීර්ශෙබා ඉදිරියේ වන යුධ අගල් කරා කඩා වදින ලෙස ය.
4 වන සහ 12 වන ඔස්ට්‍රේලියානු සැහැල්ලු අශ්වාරෝහක බ්‍රිගේඩවල 800 ක් දෙනා මෙම ප්‍රහාරයට සම්බන්ධ වූහ. බයිනෙත්තු අතින් ගෙන සිය අගල් වෙත කඩා පිනූ අසරු සේනා හමුවේ තුර්කීහු තුශ්නිම්භූත වූහ. පැයක් තුළ බීර්ශෙබා නගරය අසරු සේනා අතට පත් විය.
මෙම විශිෂ්ට ජයග්‍රහණයෙන් අනතුරුව මිත්‍ර හමුදා ගාසා වෙත පහර දුන්නෝ ය. නොවැම්බර් 1 සහ 2 දෙදින තුළ ප්‍රදේශය වෙත එල්ල වූ ප්‍රහාර හමුවේ ගාසා ඇදවැටේ යයි අපේක්ෂා කළ ද තුර්කීහු බලකොටුව ආරක්ෂා කරගන්නට සමත් වූහ.

මේ අවස්ථාවේ කාලගුණය ඇලන්බිට හරහට සිටියේ ය. කාන්තාරයේ වියළි කර්කශ සුළඟ විසින් කාලගුණයෙහි කටුක බව තීව්‍ර කරන්නට විය. බීර්ශෙබාවලින් ලැබෙන ජල සැපයුම සටනට ප්‍රමාණවත් නොවී ය. ප්‍රහාරය ඇණහිටියේ ය. නැවත ප්‍රහාරය දියත්කළ හැකි වූයේ නොවැම්බර් 6 වනදා ය. ඒ වෙද්දී තුර්කීහු සුළු සුළු ප්‍රතිප්‍රහාර ද දියත් කිරීමට සමත්ව සිටිය හ.
කෙසේ වෙතත් ඔටෝමන් අටවන හමුදාවේ අණදෙන නිලධාරී ලෙස පත්ව සිටි ජර්මන් ජෙනරාල් ක්‍රෙස් ෆොන් ක්‍රෙසන්ස්ටයින් තත්ත්වයේ බරපතලකම මනාව වටහා ගත්තේ ය. ඔහු නොවැම්බර් 5 වනදා ගාසා හි සිට පසු බැසීමට ඔටෝමන් සේනාවන්ට අණ කළේ ය.
ඇලන්බිගේ සේනාංක හරෙයිරා සහ ශෙරියා වෙත පහර දුන්නේ නොවැම්බර් 6 වනදා ය. නොවැම්බර් 7 වනදා උදෑසන වනවිට එම සටන ද ඔව්හු ජයග්‍රහණය කළ හ. නමුත් ඒ වනවිට ඔටෝමන් සේනාංක ගාසාවෙන් පසු බැසීම සම්පූර්ණ වී තිබුණි. බ්‍රිතාන්‍ය හමුදාවල වේගය අඩාල කිරීම සඳහා තුර්කි සේනා තැන තැන රඳවා තිබුණ අතර ප්‍රධාන සේනාංකය නිරුපද්‍රිතව උතුරට පළා ගියේ ය.
ඇලන්බි ගාසා බලකොටුව අල්ලාගත්තේ ය. නමුත් ඔටෝමන් සේනාවේ විශාල කොටසක් ඔහුගේ ග්‍රහණයෙන් පළායාමට සමත් වූහ. පළමු ලෝක යුද්ධයේ ගාසා හි සටන් මෙසේ නිම විය.