Skip to content

මනිපූර් ප්‍රාන්තය ගිනිගත් පසුබිම​

ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ දී පුරුෂයින් විශාල කණ්ඩායමක් විසින් කාන්තාවන් දෙදෙනකු නිරුවත් කර පහරදෙමින් රැගෙන යන දර්ශන රැගත් වීඩියෝවක් ප්‍රසිද්ධ වීමත් සමග එම ප්‍රාන්තයේ කලක් තිස්සේ පැවති ප්‍රචණ්ඩ ක්‍රියා වෙත විශාල අවධානයක් යොමු වූයේ ය​.

අදාල සිද්ධිය පිළිබඳ කරුණු විමසීම මීළඟ අවස්ථාවකට ඉතිරි කරමින් මනිපූර් ප්‍රාන්තය ගිනිගැනීමට හේතු වූ කරුණු සාකච්ඡා කිරීම​ මෙම ලිපියෙහි අරමුණ වෙයි. මෙම සිද්ධීන් මාලාව ඇරඹෙන්නේ මාස තුනකට පමණ පෙර සිට ය​. නමුත් ඊට බලපාන්නේ දීර්ඝකාලීන හේතූන් ය​.

මනිපූර් යනු ඊසානදිග ඉන්දියාවෙහි පිහිටි ප්‍රාන්තවලින් එකකි. එම ප්‍රාන්තයෙන් නැගෙනහිරට වන්නේ මියන්මාරය යි. උතුරින් නාගලන්ත ප්‍රාන්තය ද නිරිතදිගින් මිසෝරාමය ද වන අතර බටහිරින් අසාම් ප්‍රාන්තය වෙයි.

බ්‍රිතාන්‍ය පාලනය පැවති සමයෙහි මනිපූර් කුමාරවර රාජ්‍යයක් වූයේ ය​. ඉන්දියාව නිදහස ලැබීමෙන් පසු නිල වශයෙන් ඉන්දියාව හා ඒකාබද්ධ වූ මනිපූර්, මුලින් අසාම් ප්‍රාන්තයේ ම කොටසක්ව පැවතී, 1956 දී මධ්‍යම රජයේ පාලනය යටතේ වන ප්‍රදේශයක් ලෙස නම් කෙරුණ අතර 1972 දී ප්‍රාන්ත තත්ත්වය ලැබී ය​. එහි විශාලත්වය වර්ග කිලෝමීටර් 22,327 ක් වන අතර මිලියන 3.5 ක් පමණ වූ ජනගහනයක් ජීවත් වෙති.

මනිපූර් හි ජනගහනයෙන් සියයට 60 ක් පමණ ජීවත් වන්නේ ඉම්පාල් නගරය සහ ඒ ආශ්‍රිත ඉම්පාල් නිම්නයේ ය​. ඉම්පාල් යනු මනිපූර් හි අගනුවර සහ ප්‍රධාන නගරය වේ. මීට අමතරව ඉතිරි සියයට 40 ක් වූ ජනගහනය ඉම්පාල් නිම්නය වටා වන කඳුකර ප්‍රදේශයන් හි ජීවත් වෙති. මෙම ප්‍රදේශවල විශාල නගර නැත​.

ඉම්පාල් නිම්නයෙහි ප්‍රධාන වශයෙන් ජීවත් වන ජනගහනයෙන් විශාල පිරිසක් (සමස්ථ ජනගහනයෙන් සියයට 52 ක් පමණ) මෙයිතිවරුන් ලෙස හැඳින්වෙති. මෙයිතිවරුන් අතුරින් වැඩි පිරිස හින්දූන් වන අතර එය සමස්ථ ජනගහනයෙන් සියයට 43 ක් පමණ ප්‍රමාණයකි. මෙයිතිවරුන් අතුරින් අනෙක් වැඩි දෙනා (සමස්ථ ජනගහනයෙන් සියයට 8 ක් පමණ​) සනිමාහි නම් වූ සම්ප්‍රදායික ආගම අදහන්නෝ වෙති. ඉම්පාල් නිම්නයේ ජීවත් වන මෙයිතිවරුන් නොවන කොටස (සමස්ථ ජනගහනයෙන් සියයට 8 ක් පමණ​) මුස්ලිම්වරුන් ය​. ඔවුන් ද කලින් මෙයිතිවරුන් ම වූ අය ය​. එහෙයින් ඔවුන්ට "මෙයිති පංගාල්" යයි ද කියයි. මෙහි "පංගාල්" යනු "බෙංගාලි" යන වදනින් බිඳුණකි.

මීට අමතරව සමස්ථ ජනගහනයෙන් සියයට 40 ක් වන කඳුකර ප්‍රදේශයන් හි ජීවත් වන පිරිස සම්පූර්ණයෙන්ම පාහේ ගෝත්‍රික ජනතාව වන අතර ඔව්හු ක්‍රිස්තියානිහු ද වෙති. මනිපූර් හි සමස්ථයක් ලෙස ගෝත්‍ර 35 ක් පමණ වාසය කරන අතර ඉන් කොටසක් යාබද නාගලන්තයේ ද ජීවත්වන නාග ගෝත්‍ර ගණයට ද තවත් කොටසක් යාබද මිසෝරාමයේ ද ජීවත් වන මිසෝ ගෝත්‍ර යටතට ද වැටෙති. ඉතිරි කොටසින් වැඩි දෙනා කුකිවරුන් වන අතර මනිපූර් හි සමස්ථ ජනගහනයෙන් සියයට 10 ක් පමණ කුකිවරු ලෙස අනුමාන කෙරෙති.

වරප්‍රසාද සඳහා සටනක්

ඉන්දියාවේ අව වරප්‍රසාදිත යයි තීරණය කෙරුණ කුල සහ ගෝත්‍ර වෙනම වර්ගීකරණය කරනු ලැබ තිබේ. එසේ නම් කරන ලද කුලවල (Scheduled Castes) සහ ගෝත්‍රවල (Scheduled Tribes) ජනතාවට රජයේ අධ්‍යාපන අවස්ථා සහ රැකියා අවස්ථා සඳහා වෙන්කළ කොටසක් හිමිවේ. මනිපූර් හි කුකිවරු මෙසේ වෙනම නම් කරන ලද ගෝත්‍රවලට අයත් වූ අතර මෙයිතිවරුන් ඊට අයත් වූයේ නැත​. මනිපූර් යනු රටේ දියුණු කේන්ද්‍රයන්ගෙන් බොහෝ ඈතින් පිහිටි ප්‍රදේශයක් බැවින් මෙයිතිවරුන් ද මෙසේ වරප්‍රසාද ලැබීමට සිදුසු ලෙස වර්ග කරන ලෙසට ඉල්ලීමක් අතීතයේදී මතුව තිබුණ ද මෙයිති නායකයින් සමහරෙක් ම ඊට විරුද්ධ වී තිබේ. ඔවුන්ගේ මතය වූයේ කඳුකර ගෝත්‍රවලට වඩා තම ජනතාව දියුණු හෙයින් එසේ නම් කළ යුතු නොවන බව ය​.

ගැටුම් හේතුවෙන් ගම් බිම් හැර යන මෙයිතිවරුන් පිරිසක් (AFP/Getty Images)

කෙසේ වෙතත් මෙයිතිවරුන් අතර ද Scheduled Tribe තත්ත්වය ලබාගැනීමේ ව්‍යාපාරයක් සංවිධානය වෙමින් තිබුණි. මෑතකදී ඔව්හු මනිපූර් මහාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් ඉල්ලීමක් කළේ, තම තත්ත්වය නැවත සලකා බලන මෙන්, මධ්‍යම ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන ලෙස, ප්‍රාන්ත ආණ්ඩුව වෙත නියෝග කරන ලෙස ය​. මෙම පෙත්සමෙහි ඉල්ලීම පරිදි එවන් ඉල්ලීමක් මධ්‍යම ආණ්ඩුවෙන් කරන ලෙස මහාධිකරණය විසින් ප්‍රාන්ත ආණ්ඩුවට නියෝග කරන ලදී. මාර්තු මස අවසන් දිනවලදී මෙම නියෝගය ලැබුණ නමුත් එවන් නියෝගයක් ලබාදීමට මහාධිකරණයට බලයක් වේද යන නෛතික විවාදය ඉතිරිව තිබේ.

මෙයිතිවරුන් විසින් මෙසේ වරප්‍රසාද ලබාගැනීමට උත්සාහ කිරීම හේතුවෙන් මෙතෙක් තම ප්‍රජාවට හිමිව තිබුණු අවස්ථා සීමා වේය යන සැකය ගෝත්‍රික ජනතාවන් වෙත ඇතිව තිබේ. මීටත් අමතරව කලක පටන් ගෝත්‍රික ජනතාවට වූ දේශපාලනික දුක්ගැනවිල්ලක් ද වූයේ ය​. මනිපූර් හි දේශපාලන බලය ද වැඩියෙන් පවතින්නේ මෙයිතිවරුන් අත ය​. ඇතෙම් ගෝත්‍රවල නායකයින් දේශපාලනයේ ඉහළට පැමිණි බව සත්‍යයකි. නමුත් පොදුවේ මෙයිතිවරුන්ට වැඩි දේශපාලන බලයක් හිමිව තිබෙන අතර භාරතීය ජනතා පක්ෂය මනිපූර් හි පැළපදියම් වීමට පටන් ගැන්මත් සමග මෙයිතිවරුන් තවත් බලවත් විය​.

මෙයිතිවරුන් විසින් ගිනිබත් කළ, ඉම්පාල් නගරයෙන් කිලෝමීටර් 45 ක් ඈත ගමක​ ක්‍රිස්තියානි පල්ලියක් (AFP/Getty Images)

මෙම සිද්ධීන් මත පදනම් ව කුකිවරුන් සමහරෙක් සංවිධානය වී මෙයිතිවරුන්ට පහරදීම් සිදුකළ බව වාර්තා විය​. 2023 මැයි මස මුලදී මෙම පහරදීම් සිදුවීමත් සමග මෙයිතිවරු ද ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට වූහ​. මධ්‍යම රජය විසින් මනිපූර් ප්‍රාන්තයේ පොලිස් බලතල තමන් අතට ගත් නමුත් මෙම ගැටුම් නිරාකරණය කිරීමට කඩිනමින් ක්‍රියාත්මක වූයේ නැත​. මේ අනුව මෙම ප්‍රජාවන් දෙකෙහි පිරිස් අතර ගැටුම් උත්සන්න වූ ව්‍යසනකාරී කාලයක් කරා ප්‍රාන්තය ඇතුල් වූයේ ය​.

Latest