Skip to content

දූෂණ විරෝධී පනත කියන්නෙම බොරුවක්.ජනතාව රැවට්වන්න හදන්නේ - අශෝක් අබේසිංහ

හෙට දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත දූෂණ විරෝධී පනත ගෙන එන්නේම ජනතාව රැවටීමේ අරමුණින් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පැවසුවේය.

ඒ, අද (20) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

පසුගිය කාලයේදී දූෂණ වංචාවලින් හොරකම් කරපු දේවල් නැවත අත්පත් කර ගැනීම ගැන මෙම පනතේ ප්‍රතිපාදන අඩංගු නැති බවයි මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේ.

''ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉල්ලීමක් තිබුණා මහ බැංකුව ස්වාධීන කරන්න කියලා. රජය ඒ අනුව මහ බැංකු පනත පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයට ගියාම වගන්ති 47ක් ව්‍යවස්ථාවට පටහැනියි කිව්වා. පසුව පනත හකුළා ගත්තා. ත්‍රස්ත විරෝධී පනතක් ඉදිරිපත් කරන්න හැදුවා. ඒකට මහජන විරෝධය විශාල වශයෙන් ආවම පසුව ඒක හකුල ගත්තා. දැන් විකාශන අධිකාරි පනත් කෙටුම්පතක් ඉදිරිපත් කළා. මේ ගැන රටේ විශාල විරෝධයක් ඇති වුණා. දැන් එයත් අකුලගෙන තියෙනවා. දැන් හෙට ඉදිරිපත් කරනවා දූෂණ විරෝධී පනත ඒ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාම පළවෙනි වර කියැවීමේදී අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගියාම වගන්ති 28ක් ව්‍යවස්ථාවට පටහැනියි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය කියලා තියෙනවා. මේ දූෂණ විරෝධී පනත ගේන්නෙත් රටේ ජනතාව රවට්ටන්න.

ඒ පනතේ නැහැ පසුගිය කාලයේ දී දූෂණ වංචාවලින් හොරකම් කරපු දේවල් නැවත අත්පත් කර ගැනීම ගැන. ඒ ගැන ඇහුවම කියනවා ඒකට වෙනත් පනතකින් ගේනවා කියලා ස්ටෝලන් ඇසට් රිකවරි. පසුගිය කාලයේ දී රාජ්‍ය දේපල දූෂණය කරලා අත්පත් කර ගත්ත දේවල් නැවත අයකර ගැනීම සඳහා ප්‍රතිපාදන ඇතුළත් කරලා නැහැ. මොන දූෂණ විරෝධී පනත ගෙනාවත් වැඩක් නැහැ ඒකට නිසි ක්‍රමවේදයක් නැත්නම්. ඇයි පසුගිය කාලයේ අල්ලස් දූෂණ කොමිෂන් සභාවෙන් නඩු දැම්මා. නඩු පැවරුවාම ඒ නඩු පැවරීමේ ක්‍රමවේදය වැරැදියි කියලා නඩුව අධිකරණය ප්‍රතික්ෂේප කරා. ඒ නඩු පවරපු පුද්ගලයාට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගත යුතු නැද්ද? විශේෂයෙන්ම මේ නඩු පැවරීමේ දී යම් යම් තාක්ෂණ දෝෂ ඇතිව නඩු පැවරීම තුළ ඒවා උසාවියෙන් විසි වෙනවා. එහෙම වුණාම නඩු පවරන පුද්ගලයාට ක්‍රියාමාර්ගයක් ගන්න ඕන. එහෙම දෙයක් මේ පනතේ අඩංගු වෙලා නැහැ.''

වංචා දූෂණ සිදුකර ඒවයෙන් රිංගා යාමට ක්‍රමවේද ඇති පනත්වලින් පාලක නැති බව හෙතෙම අවධාරණය කරයි.

''මොන පනත් ගෙනාවත් වැඩක් නෑ රිංගන්න පුලුවන් ක්‍රමවේද හදලා තියෙනවා නම්. ඒ නිසා විශේෂයෙන්ම මම කියනවා අපි මේ පනත් සඳහා සංශෝධන ඉදිරිපත් කරනවා. ඒ වගේම පසුගිය කාලයේ දේපළ මංකොල්ල කාලා ජනතාවගේ මුදල් හොරාකාලා ඒවා නැවත පවරා ගැනීම සඳහා විධිවිධාන අඩංගු විය යුතුයි. ඒ සඳහා අපේ සංශෝධන ඉදිරිපත් කරනවා. ඒවාට සහාය ලබා දුන්නොත් පනතට අපට සහය දෙන්න පුළුවන්. දැනට පනත් කිහිපයක් ඉල්ලා අස්කරගෙන තියෙනවා.''

මේ අතර විකාශන අධිකාරී පනත සම්මත වීමට ද ඉඩ නොතබන බවයි මන්ත්‍රීවරයා අවධාරණය කළේ.

Latest