Skip to content

වර්ෂ 1877 දී ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවති තරඟයකින් ඇරඹි ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ පැවති තරඟ අතුරින් එදා මෙදා තුර හොඳම ටෙස්ට් ඉනිම් 25 ලැයිස්තුව පසුගිය දිනවලදී ලෝක ප්‍රසිද්ධ ක්‍රිකට් වෙබ් අඩවිය වන cricinfo වෙබ් අඩවිය යාවත්කාලීන කර තිබූ අතර එහි පළමු ස්ථානය හිමිව ඇත්තේ ශ්‍රී ලංකික ක්‍රිකට් ප්‍රේක්ෂයකයින් හඳුන්වන පොඩි සනාට නැතහොත් කුසල් ජනිත් පෙරේරා හටය.

දැනට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරණු ලබන ජේෂ්ඨතම පිතිකරුවකු වන කුසල් ජනිත් පෙරේරා දිගින් දිගටම ආබාධයන්ට ලක්වීම හේතුවෙන් ඔහුගේ වත්මන් ක්‍රිකට් ජීවිතයේ යම් පසුබෑමක් දක්නට ලැබුණද ආරම්භයේදී කුසල් යනු ප්‍රවේගකාරී පිතිකරුවකු ලෙස නම් දැරූවෙකි. ඒ අනුව වර්ෂ 2019 පෙබරවාරි 13 වන දින  ඩර්බන් නුවර දී දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ නොදැවී ලකුණු 153 ක් ලබාගනිමින් විශ්ව ප්‍රනාන්දු හා එක්ව තරඟය ජයග්‍රහණය කරවීම සඳහා කුසල් ජනිත් පෙරේරා දියත් කළ ඉනිම එදා මෙදා තුර ලෝකයේ හොඳම ටෙස්ට් ඉනිම ලෙසට cricinfo වෙබ් අඩවිය නැවත වරක් නම් කර ඇත.

සැබවින්ම ලෝකයේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට අමතක නොවන තරඟයක් වූ එය ක්‍රිකට් ක්‍රීඩාවේ අවිනිශ්චිත බව මනාව ප්‍රදර්ශනය කළ තරඟයක් ද විය. එම නිසාම ලෝකයේ ප්‍රභල වේග පන්දු බල ඇණියක් හමුවේ කුසල් දියත්කල මෙම ඉනිම අදටද හඳුන්වන්නේ " ඩර්බන් මිරැකල් " යනුවෙනි. එම තරඟයේ දෙවන ඉනිමේදී ලකුණු 304 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 52 කට කඩුළු තුනක් වශයෙන් තිබියදී පිටියට පැමිණි කුසල් ජනිත් පෙරේරා ක්‍රීඩා කරමින් සිටියදී නවවන කඩුල්ල ලකුණු 226 දී දැවී යන්නට විය. නමුත් විශ්ව ප්‍රනාන්දු සමග එක්ව ලකුණු 78 ක සම්බන්ධතාවයක් පවත්වමින් අවසන් කඩුල්ල කිනම් මොහොතේ දැවී යයිද යන කුතුහලයෙන් බලාන සිටි ප්‍රේක්ෂකයන්ට කිසිදා අමතක නොවන ඉනිමක් දියත් කරමින්  කුසල් පෙරේරා නොදැවී තරඟය ජයග්‍රහණය කරවීමට සමත් විය. ලෝකයේ ශේෂ්ඨතම ටෙස්ට් ඉනිම වෙනුවෙන් කුසල් පෙරේරා හට ශ්‍රේණිගත ලකුණු ප්‍රාමාණය වශයෙන් ලකුණු 965 ක් හිමිව ඇති අතර එහි දෙවන ස්ථානයේ පසුවන බටහිර ඉන්දිය කොදෙව් ක්‍රීඩක කායෙල් මේල්ස්ට ලකුණු 906 ක් හිමිව ඇත.

cricinfo වෙබ් අඩවිය යාවත්කාලීන කරන ලද ලෝකයේ ශේෂ්ඨතම ටෙස්ට් ඉනිම් 25 ලැයිස්තුවට ශ්‍රී ලංකාවේ තවත් ක්‍රීඩකයන් කිහිපදෙනෙකු ද අයත් වන අතර ඒ අනුව 14 වන ස්ථානයේ සනත් ජයසූරිය, 17 වන ස්ථානයේ දිනේශ් චන්දිමාල්, 19 වන ස්ථානයේ මහේල ජයවර්ධන සහ 25 වන ස්ථානයේ දිමුත් කරුණාරත්න ද පසුවේ. වත්මන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව කෙසේ නමුත් ලෝකයේ ශ්‍රේෂ්ඨතම ටෙස්ට් ඉනිම් 25 ලැයිස්තුවට ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් පස් දෙනෙකුම අයත්වීම සහ එහි පළමු ස්ථානය ද ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍ර්‍රීඩකයකු හට හිමිවීම ක්‍රිකට් ප්‍රේක්ෂකයන් හට මෙන්ම අප රටට ද මහත් සතුටට කරුණකි.

Latest