Skip to content

බදු ඉහළ දැමීම නිසා කෙන්යාවේ විරෝධතා ඇවිලේ. පොලිස් ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංගමයේ දැඩි අවධානය​!​

බදු වැඩිකිරීම්වලට එරෙහිව කෙන්යාවේ විරෝධතාවයන් වඩාත් උග්‍ර වූ පසුබිමක, එරට පොලිසිය විසින් විරෝධතාකරුවන්ට ප්‍රචණ්ඩත්වය දැඩිව මුදා හැරීම සම්බන්ධයෙන් තමන් ඉතා කනස්සල්ලට පත්වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරනු ලැබීය​.

බදාදා නයිරෝබි අගනුවර ඇතුළුව රට පුරා විරෝධතා ඇති වූ අතර, කෙන්යාවේ පාර්ලිමේන්තු විපක්ෂය විදෙස් මාධ්‍ය වෙත කරුණු දක්වා ඇත්තේ පොලිසිය විසින් බලහත්කාරයෙන් සහ ප්‍රචණ්ඩකාරී අයුරින් විරෝධතාකරුවන් විසුරුවා හරින ලද බවයි.

නයිරෝබි අගනුවර විරෝධතා අතරතුර සිය දෑත් ඉහළට ඔසවාගෙන කැරලි මර්දන පොලිසිය දෙසට යන විරෝධතාකරුවෙක්.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ ප්‍රකාශක ජෙරමි ලෝරන්ස් මහතා සිකුරාදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් දක්වා ඇත්තේ පසුගිය සතියේ පැවති විරෝධතා අතරවාරයේ පුද්ගලයන් 23 දෙනෙකු මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි. ලෝරන්ස් එරට රජයෙන් ඉල්ලා සිටින්නේ මරණ හා තුවාලවීම් පිළිබඳව කඩිනම්, ස්වාධීන සහ විනිවිද භාවයෙන් යුත් පරීක්‍ෂණ සිදු කරන ලෙසටය​. වගකිවයුත්තන් ඉහත කී කාරණා සැලකිල්ලට ගත යුතු අතරම තවදුරටත් මරණ හා තුවාල සිදුවීම වැලැක්වීම සඳහා ඵලදායී පියවර අනුගමනය කළ යුතු බව ද ඒ මහතාගේ ප්‍රකාශයේ වැඩිදුරටත් දැක්වේ.

කෙන්යානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය මගින් සහතික කර ඇති පරිදි සාමකාමීව රැස්වීමේ අයිතිය සහතික කරන ලෙසට අදාළ බලධාරීන්ට සිය දැනුවත්කිරීම් යොමු කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානය අරමුණු කොට තිබේ.

කෙන්යාවේ ජාතික ආණ්ඩුව​ විසින් යෝජනා කරන ලද ජනප්‍රිය නොවන බදු වැඩිකිරීම් මාලාවක් මෙම අවුල්සහගත තත්වය ඇති කිරීමට හේතු වූ අතර කෙන්යානු විපක්ෂ නායක​ සහ හිටපු අගමැති Raila Odinga එයට එරෙහිව විරෝධතා කැඳවීමට නායකත්වය දී ඇතැයි ද වාර්තා වේ.

Latest