Skip to content

ලෝකයේ අංක එකේ නිදහස ඇති ස්විස්ටර්ලන්තය

බොහෝ විට සංචාරය සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත රටකට යෑමට, ශ්‍රී ලංකාව අතහැර වෙනත් රටක පදිංචියට යෑමට අදහසක් ඇති සියල්ලටම ප්‍රථමයෙන්ම කියැවෙන රට වන්නේ මිහිපිට සුර ලොවක් ලෙස සලකන ස්විස්ටර්ලන්තයයි. ඉදිං එම නිසා ඔබ මේ වන විට ස්විස්ටර්ලන්තය පිළිබඳව කරුණු අන්තර්ජාලය ඔස්සේ, යූ ටියුබය ඔස්සේ කෙදිනක හෝ සෙවුම් කර ඇතැයි සිතමි.

ලෝකයේ පිරිසිදුම රටක්, ලෝකෙට චොක්ලට් පිරිනමන රට, රත්‍රං වැඩිපුරම ගබඩා කර ඇති රට, සුවිස් බැංකු ගිණුම්, න්‍යෂ්ඨික යුද්ධයකින් පවා වඩාත් ආරක්ෂිතව සිටිය හැකි රට. ලෝකයේ දිගම දුම්රිය උමං මාර්ගය, කඳු පද්ධතිවලින් වට වූ අලංකාර ස්වාභාවික පරිසරයක් හිමි රට. ඉහළ ජීවන තත්වයක් හිමි මිනිසුන් සිටින රට, ලෝකයේ සතුටින්ම සිටින රටක්, ජීවත්වීමට වඩාත් සුදුසු රටක් ආදී ආදී වශයෙන් ස්විස්ටර්ලන්තය පිළිබඳව ඔබ කොතැනක හෝ කරුණු අසා ඇත.

මෙම කරුණු  පිළිබඳව මෙන්ම ස්විස්ටර්ලන්තය පිළිබඳව තවත් වැදගත් කරුණු දෙකක් සාකච්ඡා කිරීම බහුලව සිදු නොවන හෙයින් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට අපට සිත්විය.ඉන් පළමු වැන්න වන්නේ ස්විස්ටර්ලන්තය යනු ලෝකයේ නිදහස හිමි රටවල් අතරින් අංක එකේ රටයි. දෙවැන්න නම් එසේ ලෝකයේ අංක එකේ නිදහසකක් ලබා දෙමින් ජීවත්වීමට වඩාත් සුදුසු රටක් ලෙස එරට පත් කිරීමට මූලිකත්වය ලබා දී ඇති ස්විස්ටර්ලන්තයේ ආණ්ඩුක්‍රමයයි. ප්‍රථමයෙන්ම නිදහස පිළිබඳව සාකච්ඡා කරනවානම්,

කිසියම් පුද්ගලයකු හට ඔහුට අවශ්‍ය පරිදි ක්‍රියාකිරීමට, කතාකිරීමට සහ සිතීමට බලය ඇති වට පිටාවක් නිදහස් වටපිටාවක් වශයෙන් අප ඉතා සරලව හඳුනාගමු. නැතිනම් වහල්භාවයෙන් තොර වූ තත්වයක් නිදහස් තත්වයක් වශයෙන් හැඳින්විය හැකිය. එය පුද්ගලයින්ගේ අභිමානය හඳුනා ගන්නා වටිනා සමාජ සංකල්පයක් ලෙසද දැක්වෙන අතර නමුත් මේ නිදහස යන සංකල්පය විස්තර කිරීම හෝ නිදහස මෙන්න මෙය යැයි හඳුන්වා දීම ඉතාමත් අසීරු කරුණකි.

මන්ද නිදහස පුද්ගලයාගෙන් පුද්ගලයාට සමහරවිට වෙනස් වේ. මම බලාපොරොත්තුවන නිදහස කිසිලෙසකත් ඔබ බලාපොරොත්තු නොවීමට ඉඩ ඇත. මට වඩා හාත්පසින්ම වෙනස් නිදහසක් ඔබ අපේක්ෂා කරනවා විය හැකිය. එමෙන්ම එක් එක් සමාජ ක්‍රමයන් අනුවද නිදහස යන සංකල්පය සමහරවිට අර්ථ ගැන්වේ. සමාජ ක්‍රමයට උචිත නිදහසක් බොහෝ විට ඒ ඒ සමාජ ක්‍රමයන් තුළ හිමිවිය හැකිය. ඔය අතර සමහර තැන්වලදී වල් බූරු නිදහසක් ගැනද කියැ වේ. එමෙන්ම කෙනෙකුට සැරයටියක් වනමින් පාරේ ගමන් කළ හැකි වූව ද එම නිදහස අනෙකාගේ නාසය ළඟින් කෙළවර වන බවට ද කතාවක් ඇත.

කෙසේ නමුත් මෙම ලිපිය ඔස්සේ සාකච්ඡා වන්නේ ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රටක සමාන්‍යයෙන් පොදුවේ පුරවැසියන්ට හිමිවිය යුතු නිදහස සම්බන්ධයෙන් වන අතර ඒ අනුව ලෝකයේ එක් එක් රටවල නිදහස මැන බලනුයේ Human freedom index නැතිනම් මානව නිදහස පිළිබඳ දර්ශකය මඟිනි. මෙම දර්ශකය මඟින් ලෝකයේ එක් එක් රටවල නිදහස මැන බැලීම සිදුකරණු ලබන්නේ cato institute, fraser institute සහ liberales institute නම් ආයතන තුනේ සම සහයෝගයෙනි.

පුද්ගල නිදහස, සීමිත රජය, නිදහස් වෙළඳපොළ, සහ සාමය යන මූලධර්ම මත පදනම්ව මේවා ලෝකයා පුරා බෙදා හැරීම යන පදනමින් ඉදිරියට ගමන් කරන පර්යේෂණ
සංවිධානයක් වන cato institute යනු ඇමෙරිකා එක්සත් ජනපදය මූලික කරගත් ආයතනයකි. ඔවුන් වසර 40 මුළුල්ලේ ලොව පුරා නිදහස ප්‍රවර්ධනය කිරීම සඳහා තම කාර්ය පටිපාටිය පවත්වාගෙන යන බව ද සැලකේ.

ඉන්පසු fraser institute යනු කැනඩාව මූලික කරගත් සංවිධානයක් වන අතර එම සංවිධානය පිහිටුවා ඇත්තේ රජයේ ප්‍රතිපත්ති, ව්‍යවසායකත්වය සහ ඔවුන්ගේ යහපැවැත්ම කෙරෙහි තේරීමේ බලපෑම අධ්‍යයනය කිරීම, මැනීම සහ පුළුල් ලෙස සන්නිවේදනය කිරීමට වන අතර මෙය ස්වාධීන සහ එමෙන්ම පක්ෂග්‍රාහී නොවන පර්යේෂණ සහ අධ්‍යාපනික සංවිධානයක් ලෙස සැලකේ.

liberales institute යනු ස්විස්ටර්ලන්තය පදනම් කරගත්1979 දී ආරම්භ කරන ලද ලිබිරල් සංවිධනයක් වශයෙන් සැලකෙන අතර මොවුන්ගේ අරමුණ වන්නේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ප්‍රවර්ධනය කිරීම සහ ඒ සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කිරීමය.

ඉදිං මේ ආයතන තුන එක්ව වාර්ෂිකව ලෝකය පුරා රටවල් 165 ක නිදහස මැන බැලීමට කටයුතු කරන අතර ඔවුන් එහිදී ලෝක ජනගහනයෙන් 98.1 % ක් නියෝජනය කරන බව ද සැලකේ. එමෙන්ම මෙය වාර්ෂික වාර්තාවක් ලෙස එලිදැක්වීමට ද කටයුතු කරයි. මානව නිදහස පිළිබඳ දර්ශකක මඟින් ප්‍රධාන වශයෙන් එක් එක් රටවල පුද්ගලික නිදහස, ආර්ථික නිදහස සහ දේශපාලන නිදහස අධ්‍යයනය කිරීමට කටයුතු කරන අතර දර්ශක අගය 0 සිට 10 දක්වා පරාසයක විහිදේ.

මෙහිදී දර්ශක අගය 10 ට ලංව අගයක් ලබා ගන්නා රටවල් සැලකෙන්නේ ඉහළම නිදහසක් ඇති රටවල් වශයෙන් වන අතර human freedom index සඳහා ඔවුන් නිර්ණායක කිහිපයක් භාවිත කරයි. එනම් එක් එක් රටවල නීති පද්ධතිය සහ දේපළ අයිතිවාසිකම්, ආරක්ෂාව, ප්‍රකාශනයට සහ තොරතුරු ලබා ගැනීමට ඇති ප්‍රවේශය, රජයේ විශාලත්වය, ආගම, සංගමය සහ සිවිල් සමාජය, අනන්‍යතා සහ අන්‍යොන්‍ය සම්බන්ධතා, නීතියේ ආධිපත්‍ය, නිදහස් වෙළඳපොළට ඇති ප්‍රවේශය, විශේෂයෙන් කතා කිරීමේ නිදහස, මාධ්‍ය නිදහස, රැස්වීමේ සහ ඇසුරු කිරීමේ නිදහස  ආදී නිර්ණායක 12 ක් පමණ භාවිත කරන බව සැලකේ.

මුලිං කී පරිදි මෙය වාර්ෂික වාර්තාවක් ලෙස එළි දැක්වීමට කටයුතු කරන අතර ඒ අනුව 2022 වසරේ වාර්තාව අනුවත් සහ 2023 වසරේ මේ දක්වාත් ලෝකයේ නිදහස අතින් අංක එකේ රට වන්නේ ස්විස්ටර්ලන්තයයි. එරටට හිමි දර්ශකය අගය 9.11 ක් තරම් ඉහළ අගයක් ගන්නා අතර ශ්‍රී ලංකාවට හිමි වන්නේ 112 වන ස්ථානයයි. අපට හිමි දර්ශක අගය 6.58 කි. ඊට අමතරව පිළිවෙලින් සිරියාව, වෙනිසියුලාව, යේමනය, සූඩානය, ඊජිප්තුව, ඉරානය, සෝමාලියාව, බුරුන්ඩි ආදී රටවල් අවසන් ස්ථානවල පසු වේ.

සමහරවිට අපට ස්විස්ටර්ලන්තයේ නිදහස විඳ ගැනීමට කෙදිනක හෝ අවස්ථාවක් උදා නොවෙන්නට පුළුවන. සිතන්න, අප බුක්ති විඳින නිදහසේ තරමට අපට හිමිවන්නේ 112 වන ස්ථානයයි.  එසේ නම් අංක එකේ සිටිනා ස්විස්ටර්ලන්තයේ පුරවැසියන් කෙතරම් නිදහසක් බුක්ති විඳිනවා ඇතිද ?

එක් අතකට ස්විස්ටර්ලන්තය ශ්‍රී ලංකාවේනම් නිතර නිතර ඇසෙන්නට ගන්නේ ජිනීවා නිසාය. ජිනීවා මානව හිමිකම් කවුන්සිලය යැයි කියූ විට ස්විස්ටර්ලන්තය අපට මතක් වේ. නමුත් මා ආරම්භයේ සඳහන් කල පරිදි  දූපතෙන් පිටත ලෝකයක් පිළිබඳව සිතන ඕනෑම අයකු හට ස්විස්ටර්ලන්තය යනු බලාපොරොත්තුවේ රටකි. යුරෝපයේ සුරපුරයක් ලෙස සලකන මෙම රට ලෝකයේ ජීවත් වීමට වඩාත් සුදුසු රටවල් අතුරින් එකක් ලෙසද සැලකේ.

යුරෝපයේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස සැළකෙන ස්විස්ටර්ලන්තය මානව හිමිකම් ගරුකරන රටක් ලෙස ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව ඇති අතර එය නිදහස පිළිබඳ දර්ශකයෙන් මෙන්ම සිවිල් නිදහස සහ දේශපාලන ඓතිවාසිකම් පිළිපැදීමේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමවලි ද ඉහළින්ම සිටින රටකි. සියළුම ජාත්‍යන්තර මානව හිමිකම්වලට අදාළ සම්මුතීන් ද අත්සන් කර ඇති ස්විස්ටර්ලන්තයේ මුලික විශේෂත්වයක් වන්නේ සිය ෆෙඩරල් ව්‍යවස්ථාවෙන් ජාතියේ හර පද්ධතිය නම් මානව හිමිකම් බව ප්‍රධාන වශයෙන් පිළිගෙන තිබීමයි.

මානව හිමිකම් සේම සත්ව හිමිකම් ද සුරැකීමට ස්විස්ටර්ලන්තය අමතකොට නැත. මිනිසුන්ට සේම සත්වයින්ට ද නිදහස අවශ්‍ය බව ඔවුන් තරයේ විශ්වාස කරන අතර උදාහරණයක් ලෙස දක්වන්නේ නම් එරට සුරතලුන් ඇතිකරනවා නම් අනිවාර්යයෙන්ම දෙදෙනෙකු ඇති කල යුතුය. මන්ද එකකු ඇති කලහොත් එම සත්වයාගේ මානසික සෞඛ්‍යයට එය අහපත් බව ඔවුන් තරයේ විශ්වාස කාන බැවිනි.

ඉදිං මේ ආකාරයට ස්විස්ටර්ලන්තයේ නිදහස පිළිබඳව කරුණු කෙටියෙන් ගෙනහැර දැක්විය හැකි අතර සැබවින්ම එරට නිදහස සම්බන්ධයෙන් මෙයට වඩා කරුණු සාකච්ඡා කිරීමටනම් හැකිය. නමුත් අපට ස්විස්ටර්ලන්තයේ ආණ්ඩුක්‍රමය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ද ඉතුරුව ඇත..එම නිසා සියල්ල සාකච්ඡා කිරීමට ගියහොත් ලිපිය පමණට වඩා දීර්ඝ වී ඔබට අහ කදුරු වුවහොත් මින් කිසිදු පලක් නොවනු ඇත. අනෙක් අතට මෙහි වැදගත්ම කොටස වන්නෙ ස්විස්ටර්ලන්තයේ ආණ්ඩුක්‍රමයයි.

එබැවින් තව දුරටත් තෙල් පහන් ඉවර නොකර ස්විස්ටර්ලන්තයේ ආණ්ඩුක්‍රමයට යන්නේ නම් සාමාන්‍යයෙන් අධ්‍යයන ක්ෂේත්‍රයේ දේශපාලන විද්‍යාව හදාරන ශිෂ්‍යයකු හට ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රමය හැරුණු විට අධ්‍යයන කිරීමට සිදුවන ආණ්ඩුක්‍රමයන් කිහිපයක් ඇත. ඒවා නම් බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමය, ඇමෙරිකානු ආණ්ඩු ක්‍රමය, ඉන්දියානු ආණ්ඩුක්‍රමය සහ ස්විස්ටර්ලන්තයේ ආණ්ඩු ක්‍රමයයි. එහිදීද ස්විස්ටර්ලන්තයේ ආණ්ඩුක්‍රමය විශේෂකොට සලකන අතර එබැවින් අධ්‍යයන ක්ෂේත්‍රයේ ශිෂ්‍යයින් හට ද මෙය ඉතා වැදගත් ලිපියන් වේ යැයි සිතමි.

ස්විස්ටර්ලන්තය නමින් රාජ්‍යයක් ලෝකයේ ආරම්භ වන්නේ වර්ෂ 1291 අගෝස්තු මස 01 වනදා වන අතර ඌරි, ෂ්වට්ස් සහ අන්ඩර්වෝඩන් යන කැන්ටන තුන එකතු වී මෙසේ ස්විස්ටර්ලන්තය ආරම්භ වී ඇත. ආරම්භයේ සිටම ස්විස්ටර්ලන්තයේ සහ සන්ධීය ආණ්ඩුක්‍රමයක් පැවතෙන අතර 1648 වෙස්ට්ෆෝලියා ගිවිසුමෙන් ස්විස්ටර්ලන්තය ස්වාධීන රාජ්‍යයක් වශයෙන් පිළිගෙන ඇත.

කෙසෙ නමුත් 1848 වර්ෂයේදී එතෙක් පැවති සහ සන්ධීය ආණ්ඩුක්‍රමය අහෝසි කරමින් නව සන්ධීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරන මේ රටෙහි එය 1874 දක්වා ක්‍රියාත්මක වී ඇත. 1874 මැයි මස 29 දා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කළ අතර ශතවර්ෂයකට අධික කාලයක් එය ස්විස්ටර්ලන්තයේ මූලික නීතිය වශයෙන් ක්‍රියාත්මක වී ඇත.

නමුත් 1998 වර්ෂයේ දෙසැම්බර් මස 18 වන දින ස්විස්ටර්ලන්ත ව්‍යවස්ථාදායකය වන සන්ධීය සභාව විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කළ අතර 1999 අප්‍රේල් 18 පැවති ජනමත විචාරණයෙන් එය සම්මතකොට ද ඇත. කෙසේ නමුත් ස්විස්ටර්ලන්තයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 2000 වර්ෂයේ ජනවාරි 01 වන දා සිට ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීම ආරම්භ වී ඇත. මෙම කරුණු පරිශීලනය කරන විට ඔබට එක් දෙයක් වැටහෙන්නේ ද? එය කුමක් ද?

ඔවුන් අප සේ ව්‍යවස්ථාවට පුද්ගලික උවමනාවන් මත සංශෝධන කර කර සිටින්නේ නැත. යුගයේ අවශ්‍යතාවයට පවතින ව්‍යවස්ථාව ගැළපෙන්නේ නැතිනම් එය සම්පූර්ණයෙන්ම අහෝසිකොට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගනී. කෙසේ නමුත් ස්විස්ටර්ලන්තයේ ව්‍යවස්ථාව ලිඛිත ව්‍යවස්ථාවක් වශයෙන් සැලකෙන අතර එය වගන්ති 197 කින් සමන්විත වේ. එයද විශේෂත්වයකි.

සමාන්‍යයෙන් අනම්‍ය ව්‍යවස්ථාවක් ලෙස ස්විස්ටර්ලන්තයේ ව්‍යවස්ථාව සැලකූව ද එය එසේම නොවේ. ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට නම් සන්ධීය සභාව විසින් ගෙන එන ව්‍යවස්ථා සංශෝධනයක් ජනමත විචාරණයකින් ද කැන්ටන් බහුතරයකින් ද සම්මත විය් යුතුය. ඊට අමතරව පුරවැසියන් ලක්ෂයක අත්සනින් ගෙන එන ප්‍රාරම්භන යෝජනාවක් අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට සන්ධීය සභාවට හැකිය. නමුත් එම සංශෝධනට ද කැන්ටන් බහුතරයක අනුමැතිය සහ ජනමත විචාරණයක අනුමැතිය අවශ්‍ය වේ. මේත් එක්කම ශ්‍රී ලංකාවේ සහ ස්විස්ටර්ලන්තයේ තත්වය සංසංදනය කර බැලීමට ද ඔබ වග බලා ගන්න.

සාමාන්‍යයෙන් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක පවතින්නේ ජනාධිපති ක්‍රමයක් හෝ කැබිනට ක්‍රමයකි. එසේත් නැතිනම් මිශ්‍ර ක්‍රමයකි. එහෙත් ස්විස්ටර්ලන්තයේ පවතින්නේ මෙම ක්‍රම සියල්ලටම වඩා හාත්පසින්ම වෙනස් වූ සාමූහික විධායක ක්‍රමයක් වන අතර එනම් ස්විස්ටර්ලන්තයේ විධායක බලය මෙහෙයවන්නේ සමාන බලයක් ඇති සාමාජිකයින් 7 ක් සහිත සන්ධීය කවුන්සිලය නමැති ආයතනයයි.

මධ්‍යම ආණ්ඩුව සහ කැන්ටන 26 ක් අතර ස්වාධිපත්‍යය බලය බෙදූ සන්ධීය ක්‍රමයක් එරට පවතින අතර එම කැන්ටන්වලින් 20 ක් පූර්ණ කැන්ටන් වන අතර 6 ක් අර්ධ කැන්ටන් වේ. මධ්‍යම ආණ්ඩුවට හෙවත ෆෙඩරල් ආණ්ඩුවට  නිශ්චිතව පවරා දී ඇති බලතල හැර ඉතිරි සියලුම බලතල කැන්ටන් වෙත හිමි වේ. සමාන්‍යයෙන් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් තුළ බලතල බෙදීමේ සිද්ධාන්තයට ඉහළ පිළි ගැනීමක් පැවතියත් ස්විට්සර්ලන්ත ආණ්ඩුක්‍රමය තුළ පැහැදිලි බලතල බෙදීමක් දකනට නැත. උදාහරණයක් ලෙස දක්වන්නේ නම් එරට ව්‍යවස්ථාදායකය වන සන්ධීය සභාව විසින් ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ යන ත්‍රිවිධ කටයුතුම සිදුකරයි.

ව්‍යවස්ථාදායකයක සාමාන්‍යයෙන් එක් මණ්ඩලයකට වඩා අනෙක් මණ්ඩලය බලවත් වූවත් ස්විස්ටර්ලන්තය තුළ පවතින්නේ සමාන බලය ඇති ද්වීමාණ්ඩලික ව්‍යවස්ථාදායක සභාවකි. එරට ව්‍යවස්ථාදායකයේ මණ්ඩල දෙක වන ජාතික සභාවේ බලයත්, රාජ්‍ය සභාවේ බලයත් මුළුමනින්ම සමානය. එමෙන්ම දේශපාලන විද්වතුන් පවසන්නේ සාම්ප්‍රදායික ව්‍යවස්ථාදායක සභාවකට හිමිවන බලතල සහ කාර්යයන්ට හාත්පසින්ම වෙනස් බලතල සහ කාර්යයක් ස්විස්ටර්ලන්තයේ ව්‍යවස්ථාදායකයට හිමිවන බවය. මේ නිසා සන්ධීය සභාව ලොව පවතින ඉතා විශේෂ ව්‍යවස්ථාදායකයක් ලෙස සැලකේ.

නමුත් සන්ධීය සභාව පරම උත්තරීතර බලයක් ඇති ව්‍යවස්ථාදායක සභාවක් ලෙස ද නොසැලකෙන අතර එයට හේතුව වන්නේ නීති සම්පාදනයේදී එයට සීමා පැවතීමයි. ඒවා නම්, නීති සම්පාදනය කළ හැක්කේ මධ්‍යම ආණ්ඩුවට අයත් විෂය සඳහා පමණි. ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේදී එය තනිව කළ නොහැකි අතර ජනතාවගේ කැමැත්ත සහ කැන්ටන බහුතරයක කැමැත්ත අවශ්‍ය වේ. සන්ධීය සභාව සම්පාදනය කරන ඕනෑම නීතියක් ජනමත විචාරණයකට ලක් කිරීමට පුරවැසියන් 50000 කගේ හෝ කැන්ටන් 8 ක ඉල්ලීම අනුව කළ හැකි අතර ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ මෙන් සිතූ සිතූ ආකාරයට කටයුතු කළ නොහැකිය. ජනතාවට ඇති මෙම බලය නිසා සමහර අවස්ථාවලදී ස්විස්ටර්ලන්තය සලකන්නේ සෘජු ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන රටක් ලෙසය.

ස්විස් ආණ්ඩුක්‍රමයේ විධායකය හෙවත් සන්ධීය කවුන්සිලය ලෝකයේ ස්විශේෂී ආයතනයක් ලෙස සැලකෙන අතර මෙය ස්විස්ටර්ලන්තයට ආවේණික වූවකි. සන්ධීය කවුන්සිලය සාමාජිකයින් 7 දෙනෙකුගෙන් සමන්විත වන අතර එහිදී සියළු දෙනාටම හිමි වන්නේ එක සමාන බලයකි. මෙම සන්ධීය කවුන්සිලය තෝරා ගන්නේ සන්ධීය සභාව විසින් වන අතර වසරක හතරකට වරක් ජාතික සභා මැතිවරණයක් පැවැත්වීමෙන් අනතුරුව සන්ධීය සභාවේ මණ්ඩල දෙකේ ඒකබද්ධ රැස්වීකදී සමාජිකයින් 7 දෙනා තෝරා ගනී.

ෆෙසරල් කවුන්සිලයට තෝරා ගන්නේ ෆෙඩරල් සභාවේ සමාජිකයින් පමණක් වන අතර ඔවුන් තෝරාගත් පසුව ෆෙඩරල් සභාවෙන් ඉල්ලා අස්විය යුතුය. අවම වශයෙන් සතියකට එක් වතාවක් ෆෙඩරල් කවුන්සිලය රැස්විය යුතු අතර රැස්වීම් රැස්වීමක් සඳහා අවශ්‍ය ඝණ පූර්ණය සිව් දෙනෙකි. ව්‍යවස්ථාවේ 143 වන වගන්තියට අනුව වයස අවුරුදු 18 ට වැඩි ඡන්ද බලය හිමි ඕනෑම සුවිස් පුරවැසියකු හට ෆෙඩරල් කවුන්සිලයට තේරී පත් වීමට හැකි වීම පවතින විශේෂත්වයකි.

පවතින තවත් විශේෂත්වයක් වන්නේ ස්විස්ටර්ලන්තයේ ඇති ප්‍රධාන පක්ෂ 4 ට ෆෙඩරල් සභාව තුළ ඇති ආසන සංක්‍යාවට සමානුපාතිකව ෆෙඩරල් කවුන්සිලයේ නියෝජනය හිමි වීමය. කෙසේ නමුත් ලෝකයේ අංක එකේ නිදහසක් තම පුරවැසියන්ට පිරි නැමීමට ක්‍රියාත්මක වන ස්විස් අධිකරණය පිළිබඳව කෙටි කරුණු කිහිපයක් දක්වන්නේ නම්

පැවති පැරණි ව්‍යවස්ථාවට අනුව ස්විස්ටර්ලන්තයේ සන්ධීය අධිකරණ පද්ධතිය තුළ ක්‍රියාත්මක වූයේ ශේෂ්ඨාධිකරණය පමණකි. එහෙත් දැනට ක්‍රියාත්මක වන වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අධිකරණ ආයතන තුනක් සන්ධීය අධිකරණ පද්ධතිය තුළ ක්‍රියාත්මක වේ. එනම් සන්ධීය ශේෂ්ඨාධිකරණය, සන්ධීය අපරාධ අධිකරණය සහ සන්ධීය පරිපාලන අධිකරණයයි. ව්‍යවස්ථාවේ 189 වන වගන්තිය මඟින් පහත සඳහන් බලතල ශේෂ්ඨාධිකරණයට පවරා දී ඇත.

සියළුම සන්ධීය නීති, ජාත්‍යන්තර නීති, කැන්ටන් නීති, අන්තර් කැන්ටන් නීති පිළිබඳව ඇතිවන ප්‍රශ්න නිරාකරණය කිරීම, මධ්‍යම ආණ්ඩුව සහ කැන්ටන් අතරත්, කැන්ටන් සහ කැන්ටන් අතරත් ඇතිවන ආරවුල් විසඳීම, අභියාචනා විභාග කිරීම, මූලික ඓතිවාසිකම් ආරක්ෂා කිරීම, සන්ධීය සභාව විසින් පවරන වෙනත් කාර්යයන් ඉටු කිරීමය. නමුත් ශේෂ්ඨාධිකරණයට අධිකරණ ප්‍රතිනිරීක්ෂණ බලය සහ මූලික ඓතිවාසිකම් සම්බන්ධයෙන් අවසාන අධිකරණ බලය හිමිවන්නේ නැත.

එරට දේශපාලන පක්ෂ ක්‍රමය පිළිබඳව සඳහන් කරන්නේ නම් ස්විස්ටර්ලන්තයේ ඇත්තේ බහු පක්ෂ ක්‍රමයකි. බහු පක්ෂ ක්‍රමයක් බිහි වීමට බලපා ඇති ප්‍රධාන හේතුව වන්නේ එරට සන්ධීය ආණ්ඩු ක්‍රමයක් පැවතීමය. සන්ධීය ආණ්ඩුක්‍රමය තුළ කැන්ටන්වලට විශාල නිදහසක් සහ ස්වාධීනත්වයක් පවතින බැවින් කැන්ටන්වල අරමුණු අනුව පක්ෂ ගොඩ නැගී ඇත. පවතින ඉතාම සුවිශේෂීත්වය වන්නේ ස්විස්ටර්ලන්තයේ දේශපාලන පක්ෂවලට එතරම් වැදගත්කමක් හිමි නොවීම වන අතර විශේෂයෙන් ඒ සඳහා කාලයක් පුරාවටම කිසිදු තීරණාත්මක ප්‍රශ්නයකට ස්විස්ටර්ලන්තය මුහුණ නොදීම ( අප රටේ වැනි ආගම ජාතිය බේරා ගැනීමට එරට පක්ෂ නැත ), ආර්ථික තත්වය ඉතා යහපත් වීම, ඍජු ප්‍රජාතන්ත්‍රවාදී උපක්‍රම බහුල වශයෙන් භාවිත කිරීම ( නැවත කැඳවීම ), එරට විධායකයේ ස්වාභාවය, වාසි බෙදා ගැනීමට ක්‍රමයක් නොමැති වීම අදී හේතු සාධක රාශියක් බලපා ඇති අතර එම නිසා එරට පුරවැසියන් දේශපාලන පක්ෂ ගණන් ගන්නේ නැත.

කෙසේ නමුත් ලෝකයේ අංක එකේ නිදහසක් තම පුරවැසියන්ට ලබා දීම සඳහා ස්විස්ටර්ලන්තය ජාත්‍යන්තර වශයෙන් පිළිගෙන ඇති සියළුම මිනිස් ඓතිවාසිකම් පිළිගෙන ඇතිවා පමණක් නොව ඒවා ඉතා හොඳින් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන බව ද විචාරකයින්ගේ මතයයි. තව දුරටත් කරුණු කිහිපයක් දක්වන්නේ නම් කැන්ටන්වල නිදහසටත්, ස්වාධීනත්වයටත් එරට මධ්‍යම ආණ්ඩුව ගරුකළ යුතු බව ව්‍යවස්ථාවෙන්ම පිළිගෙන ඇත, සෑම කැන්ටනයකටම වෙනම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පවත්වාගෙන යෑමේ අයිතිය හිමිය. නමුත් මූලික ව්‍යවස්ථාවට අනුකූල විය යුතුය.

සෑම කැන්ටනයකම නිල භාෂාව තීරණය කිරීමේ බලය එම කැන්ටන් වෙතම පවරා ඇත. කැන්ටන් අතර ගිවිසුම් ඇතිකර ගැනීමටත්, සංවිධාන පිහිටුවා ගැනීමටත් බලය ඇත, තමන්ට අයත් විෂයන් සම්බන්ධයෙන් වෙනත් රාජ්‍යයන් සමග ජාත්‍යන්තර සම්බන්ධතා පවත්වා ගැනීමට කැන්ටන්වලට අයිතිය ලබා දී ඇත. කැන්ටන් සංක්‍යාව වෙනස් කිරීමේදීත්, කැන්ටන්වල ප්‍රදේශ වෙනස් කිරීමේදීත් කැන්ටන් බහුතරයක් කැමත්ත අවශ්‍ය වේ, ද්විත්ව පුරවැසිභාවය පිළි ගනී, ද්විත්ව පරිපාලන ක්‍රමයක් පවතී.

හරි දැං අපිට ස්විස්ටර්ලන්තය ලෝකයේ අංක එකේ නිදහස ඇති රට වගේම එරට ව්‍යවස්ථාවේ සුවිශේෂී බව සහ සරල බව මෙහෙම හඳුනගන්න පුළුවන්. එතකොට ලංකාවේ අපි ඇයි මේ ස්විස්ටර්ලන්තයේ මේ කරුණු හොයල බලන්නේ ? ඔබට එවැනි ගැටළුවක් ඇත.

සැබවින්ම අප මෙම කරුණු දැනගත යුත්තේ මූලික වශයෙන් ලෝකයේ මෙහෙම රටවලුත් පවතිනවා යන්න ප්‍රථමයෙන්ම දැනුවත් වීමටය. එමෙන්ම දූපත් මානසිකත්වයෙන් එපිටට ගෝලීය මිනිසෙකු ලෙස සිතීමට මෙම කරුණු පිළිබඳව අවබෝධය අපට ඉතා වටිනා අතර එමෙන්ම උපතින්ම දේශපාලන සත්වයකු වන ඔබට මට අප රටේ දේශපාලනය නිසිලෙස තේරුම් ගැනීමට, ඒ දෙස විචාරක දෙනෙතින් බැලීමට, දේශපාලන තීන්දු තීරණ සම්බන්ධයෙන් ප්‍රබුද්ධ සහ කරුණු ඇතිව පිළිගත හැකි අදහසක් ප්‍රකාශ කිරීමට මෙම තොරතුරු පිළිබඳව දැන සිටීම ඉතා වටී.

සිතන්න ස්විස්ටර්ලන්තය ලෝකයේ අංක එකේ රටක් වීමට කුමක් ද සිදුකර ඇත්තේ, ඔවුන් මහා ලොකූ දේවල් කර නැත. වෙනස්වන පරිසරයට අනුව තම පාලන ක්‍රමය වෙනස් කරගෙන ඇත. එමෙන්ම සැමට සමාන බලයක් සහ ඓතිවාසිකම් මෙන්ම නිදහස ලබා දෙමින් ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරමින් ඒවා සුරක්ෂිත කිරීමට යාන්ත්‍රණයක් සකසා ඇත. ප්‍රධාන වශයෙන් එපමණයි සිදුකර ඇත්තේ.

Latest