Skip to content

සුදුසුකම් ලැබීමේ සටන ඇරඹේ

2023 ඔක්තෝබර් මස 05 දින සිට නොවැම්බර් මස 19 වන දා දක්වා පැවැත්වීමට නියමිත ICC එක්දින ලෝක කුසලාන තරඟාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරඟ මේ මස 18 වන දින සිම්බාබ්වේදී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 12. 30 ට ආරම්භ වේ. සිම්බාබ්වේ, අයර්ලන්තය, නේපාලය, නෙදර්ලන්තය, ඕමාන්, ස්කොට්ලන්තය, එක්සත් අරාබි එමීර්, බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබීමේ තරඟ සඳහා සහභාගී වීමට නියමිතය.

තරඟාවලියේ දිනකට තරඟ දෙක බැගින් පැවත්වීමට නියමිත අතර super six වටයේ ද දිනකට තරඟ දෙක බැගින් පැවත්වීමට නියමිතය. එහිදී මේ මස 27 වන දා දක්වා පැවැත්වීමට නියමිත මූලික වටයේදී B කාණ්ඩයෙන් තරඟ වදින ශ්‍රී ලංකාවට තරඟ හතරක් ක්‍රීඩා කිරීමට සිදුවනු ඇත. super six වටය 29 වනදා ආරම්භ වී ජූලි 9 දක්වා ක්‍රියාත්මක  වන අතර එහිදී ශ්‍රී ලංකාවට තරඟ තුනක් ක්‍රීඩා කිරීමට සිදුවනු ඇත. මූලික වටයේදී A සහ B කාණ්ඩවලින් ඉහළම ප්‍රසාද ලකුණු ලබා ගන්නා කණ්ඩායම් තුන බැගින් කණ්ඩායම් 6 ක් super aix වටය ක්‍රීඩා කරන අතර super six වටයේ ඉහළම ප්‍රසාද ලකුණු හිමිකරගන්නා කණ්ඩායම් දෙක ලෝක කුසලානය සඳහා සුදුසුකම් හිමිකරගනී.

ක්‍රිකට් ප්‍රේක්ෂකයින් ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 2023 ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබන බවට මත පළකරමින් සිටිය ද ක්‍රිකට් ප්‍රවීණයින් පවසන්නේ සුදුසුකම් ලැබීමේ කණ්ඩායම් දෙක අවිනිශ්චිත බවය. විශේෂයෙන් එක්සත් අරාබි එමීර් කණ්ඩායම වැනි අභියෝගාත්මක කණ්ඩායම් සහ ඒවායේ දක්ෂ ක්‍රීඩකයින් හේතුවෙන් ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමට දැඩි තරඟයක් පවතිනු ඇතැයි ඔවුන් විශ්වාස කරයි.

ශ්‍රී ලංකාව සහභාගීවන සුදුසුකම් ලැබීමේ තරඟ සිරස TV ඔස්සේද අනෙකුත් තරඟ TV 1 නාලිකාව ඔස්සේද ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයින්ට නැරඹිය හැකි අතර ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරඟය හෙට දිනයේ එක්සත් අරාබි එමීර් කණ්ඩායම සමඟ පැවැත්වේ. ඉයන් බිෂොප්, රසල් ආර්නල්ඩ්, ඇන්ඩි ෆ්ලවර්, ඈෂ්වෙල් ප්‍රින්ස්, සැමුවෙල් බද්‍රි වැනි ජනප්‍රිය විස්තර විචාරකයින් 14 දෙනෙකුද මෙම තරඟාවලිය සඳහා විස්තර විචාරයෙන් දායක වේ. ක්‍රිකට් දක්ෂතාවය කෙසේ වෙතත් ලෝකයේ රටවල් 10 ක් සුදුසුකම් ලැබීමේ තරඟාවලිය නියෝජනය කරන බැවින් වඩාත් උණුසුම් තරඟාවලියක් දැකබලා ගැනීමට ප්‍රේක්ෂකයන් හට අවස්ථාව උදාවන බව ද ක්‍රිකට් ප්‍රවීණයන්ගේ මතයයි.

සුදුසුකම් ලැබීමේ තරඟ කාල සටහන

Latest