Skip to content

සුද්දා හැදූ නීති වෙනුවට, අදට ගැලපෙන ලෙස කම්කරු නීති වෙනස් කෙරේ

මෙරට බලාත්මක යල්පැණගිය කම්කරු නීති වෙනස්කර අදට ගැලපෙන නව කම්කරු පණතක් කෙටුම්පත් කර මැයි මාසයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමට කටයුතු යොදා ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්  R P A විමලවීර මහතා පවසනවා.‌‌‌‌ 1934 වන්දි ආඥා පණත, 1941 පඩිපාලක සභා පණත, 1971 සේවය අවසන් කිරීමේ පණත ඇතුළු පැරණි කම්කරු පණත් 40 සහ, නිදහසට ප්‍රථම කෙටුම්පත් කළ ආඥා පණත් 05 මගින් ආවරණය වන මෙරට කම්කරු නීතිය විග්‍රහ කිරිම සහ පරිශීලනය අපහසු විම හේතුකොට ගෙන සේවායෝජකයන්ට සහ කම්කරුවාට ඇතිව තිබෙන දුශ්කර තත්වයන්ට විසදුම් ලෙස නව කම්කරු නීති හදුන්වාදීමට පියවර ගෙන තිබෙනවා.

මෙම නිති යොදාගෙන කම්කරුවෙක් වන්දි නඩුවක් පැවරීමෙන් පසු තීන්දුව එනතුරු වසර ගණනාවක් බලාසිටීමට සිදුව තිබෙනුයේ අර්ථ නිරූපණයන් සදහා පණත් රැසක් පරිශීලනය කිරීමට සිදුව ඇති බැවිනි.‌‌‌‌රටතුළ ක්‍රියාත්මක කම්කරු නීති හේතුවෙන් ආයෝජකයන් මෙරටට පැමිණිමට අදිමදි කරන ස්වභාවයක් දක්නට ලැබෙන අතර, වැඩකරන ජනතාවටද තම දක්ෂතා මත උස්සවීම් ගෙන ඉදිරියට යාමටත්,තම දැනුම තවත් ආයතනයකට ලබාදීමටත් බාධක මතුව තිබේ.‌‌‌‌

මැයි මාසය තුළ නව කම්කරු නීතිය පිළිබද ‌මුලික කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමට කම්කරු දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති අතර, ඒ සදහා සියළු පාර්ශව වල අදහස් හා යෝජනා ලබාගැනීම මේ දිනවල සිදුකෙරේ.‌‌‌‌

අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළේ පවතින කම්කරු නීති තුළ මෙරට EPF සහ  ETF ගෙවන ආයතන ප්‍රමාණය ලක්ෂයක් පමණ බවත්, බදු ගෙවන ආයතන ප්‍රමාණය ලක්ෂ තුනකට අඩු බවයි.‌‌‌‌

මෙම කම්කරු පණත් ගෙන ආ කාලයේ  හා අද සමාජ, ආර්ථික, දේශපාලන පසුබිම සසදා බැලිමේදි විශාල වෙනසක් සිදුව තිබේ.අද වනවිට online ක්‍රමවේදය යොදාගනිමින් නිවසේ සිට වැඩකරන තත්වයට පත්ව ඇති නමුත් කම්කරු නීතිය මගින් මේ සදහා ආවරණයක් සපයා නොමැත.‌‌‌‌

මීට අමතරව පවතින නීතිය යටතේ සේවකයා සුරැකීම මිස හාම්පුතුන්ට රැකවරණයක් නොමැති බවට චෝදනා පවති.මෙම සංකීර්ණ නීතිය තුළ එකම ආයතනයේ විවිධ වෘත්තීන්ට විවිධ අණපණත් යටතේ රැකවරණ ලබාදීම තුළ ගැටළුකාරී තත්වයන් රැසක් නිර්මාණයවී තිබේ.‌‌‌‌

එමෙන්ම අර්ධකාලීන, අනියම්, තාවකාලික සහ ස්ථිර රැකියා නිසි අයුරින් අර්ථ නිරූපණයන නොවීම ගැටළු රැසකට මුල්ව තිබේ.‌‌‌‌ යල්පැණගිය පවතින කම්කරු නීති පද්ධතිය හේතුවෙන් ශ්‍රම බලකායට කාන්තා දායකත්වය ලබාගත හැකිව තිබෙනුයේ 30% පමණ අඩු ප්‍රමාණයකි.‌‌‌‌

මෙම සියළු ගැටළු සැලකිල්ලට ගෙන සේවයට බැදුණදා සිට විශ්‍රාම යනතෙක් විෂයානුබද්ධව කටයුතු කිරිම සදහා නව කම්කරු පණත නිර්මාණය කෙරේ. ඒ මගින් ව්‍යාපාර ප්‍රවර්ධනය මෙන්ම රටතුළ රැකියා උත්පාදනයද ඉහළ යනු  ඇතැයි විශ්වාසය පළකළ ලේකම්වරයා මේ සමග ජාතික වේතන කවුන්සිලයක්ද අරඹා කම්කරු අයිතීන් සුරැකීමට පියවර ගන්නා බවද පැවසීය.     ‌‌

Latest