Skip to content

ක්‍රි.පූ. 03 වන සියවසේ ග්‍රීසියේ " සීනෝ " නම් යහමින් මුදල් හදල් සහ අනෙකුත් සැප සම්පත් තිබූ වෙළඳ නාවිකයකු ජීවත් වූ අතර දවසක් ඔහු සයිප්‍රස් වල සිට නාවික ගමනක් ආරම්භ කර ටික දුරක් යන විටදී කුණාටුවක් හේතුවෙන් සිය නාවික යාත්‍රාව සුන් බුන් වී සියලුම සැප සම්පත් විනාශ වන්නට විය. කෙසේ නමුත් මේ විනාශකාරී සිදු වීමෙන් පසුව ඔහු පැමිණෙන්නේ ශ්‍රීසියේ ඇතෑන්ස් නුවරටය.

සිතන්න, ඔබට හෝ මට මෙවැනි සිදු වීමක් සිදු වුවහොත් අපි කිනම් ආකාරයට හැසිරේ ද?, එනම් තිබූ සියලුම සැප සම්පත් විනාශ වී සියල්ලම නැත්තටම නැති වී ගිය විට සමහරවිට අපට දිවි නසා ගැනීමට අනිවාර්යයෙන්ම සිතෙන්නට පුළුවන. අප බොහෝ විට එසේ වූ නමුත් සීනෝ මේ අවස්ථාවේ හැසිරෙන්නේ වෙනස්ම ආකාරයටය.

ඔහු මූලික වශයෙන් සිතන්නේ " එය මගේ පාලනයේ තිබූ දෙයක් නොවේ. එය මට පාලනය කළ හැකි දෙයක් නොවේ. එම නිසා ඒ සම්බන්ධයෙන් මා හට කිරීමට දෙයක් නැත ". සීනෝ සිතන්නේ ඒ අයුරිනි. පසුව ඔහු සිදු කරන්නේ සිදු වූ මෙම සිද්ධියෙන් පසුව දර්ශනවාදය හා සම්බන්ධ ග්‍රන්ථ පරිශීලනය කිරීමය. ඔබට බෲස්ලී මතකනම් ඔහු සිදු කළේ කුංෆු, කරාටේ ආදී සටන් ක්‍රම කිහිපයක් සම්මිශ්‍රණය කරමින් ඔහුටම ආවේණික වූ සටන් ක්‍රමයක් ලෙස ජිට් කුං ඩෝ සටන් ක්‍රමය නිර්මාණය කිරීමය.

ඉදිං සීනෝද සිදු කරන්නේ මේ ආකාරයේ වූ ක්‍රියාවකි. එනම් දර්ශනවාදය පිළිබඳව වැඩි දුරටත් අධ්‍යයනය කරන ඔහු පසුව ඔහුට ආවේණික වූ දර්ශනයක් ලෝකයට හඳුන්වා දෙන අතර එය නම් " ස්ටොයිකවාදයයි ( stoicism ). ග්‍රීසියේ ඇතෑන්ස් නුවර විවෘත වෙළඳපොළක් වූ stoa poikile හී ( පිංතාරු කරන ලද ආලින්දය යන අදහස ) සීනෝ තම මිතුරන් කිහිපදෙනෙකු සමග මුල් වරට මේ පිළිබඳව සාකච්ඡා කර ඇති හෙයින් stoa යන්නෙන් මෙම දර්ශනයට stoicism යන නම වැටී ඇතැයි මූලාශ්‍ර කියයි.

බෞද්ධයින් ලෙස අප ද අනුගමනය කරණුයේ දර්ශනයකි. එය බෞද්ධ දර්ශනයයි. එමෙන්ම getpeakonline අප වඩාත් පුළුල් වශයෙන් දර්ශනවාදය සම්බන්ධයෙන් බොහොමයක් ලිපි මින් පෙර ද ගෙන ඒමට කටයුතු කළෙමු. එහිදී අපගේ මූලිකම අරමුණ වූයේ ඔබගේ ජීවිතය පහසු කර ගැනීමට දැනුමක්, තොරතුරක් ඔබට සම්ප්‍රේෂණය කිරීම වන අතර සැබවින්ම ශ්‍රී ලංකාවේ පුරවැසියන්ටනම් මෙම දැනුම අත්‍යාවශ්‍ය බව සිතෙන්නේ අප ජීවත් වන්නේ ලෝකයේ වගකීම් සහගතම රටක වන බැවිනි.

ශ්‍රී ලංකාවේ අපට සෑම විටම වගකීම් සහගතව ජීවත් වීමට සිදු වී ඇත. කුමන අවස්ථාවක කුමක් සිදුවේ දැයි නොදනිමි. ඒ හෙයින් ලාංකික පුරවැසි ජීවිත වඩාත් සංකීර්ණ වී ඇතැයි පෙනෙන අතර එම නිසා ජීවිතය පහසු කර ගැනීමට ඕනෑම යමක් පවතී නම් එය ලාංකිකයන් වන අපටනම් මහත් සම්පතකි. මෙවැනි පසු බිමක් තුළ ස්ටොයිකවාදය සම්බන්ධයෙන් සාකච්ඡා කරණු ලබන මෙම ලිපිය ඔබට වැදගත් වේ යැයි ද සිතමි.

ක්‍රි.පූ. 03 වන සියවසේදී ලොවට දායාද වූ මෙම දර්ශනය එදා සිට අද දක්වාම ලෝකයේ සෑම තරා තිරමකම පුද්ගලයකු ආදරයෙන් වැළඳගත් දර්ශනයක් ලෙස ද හඳුන්වා දිය හැකි අතර එයට ප්‍රධාන හේතුව වන්නේ ස්ටොයිකවාදය කිසියම් විශේෂ පංතියකට පමණක් විශේෂ වූ දර්ශනයක් නොවීමය. සමහරවිට ඔබත් මමත් මේ ස්ටොයිකවාදයේ කියැවෙන හරයන් සමග ජීවිතයේ ඕනෑ තරම් කටයුතු කර තිබෙන්නට පුළුවන. නමුත් සිදුව ඇත්තේ එය ස්ටොයිකවාදයයි අප නොදැන සිටීමය.

ස්ටොයිකවාදය පිළිබඳව සාකච්ඡා කරන විට ලෝක ඉතිහාසයේ කියැවෙන දැවැන්ත නමක් වන්නේ මාකස් ඇරෝලියස් ( Marcus Aurelius ) වන අතර ඒ ඔහු මේ සම්බන්ධයෙන් එනම් ස්ටොයිකවාදය ඇතුලත් වෙනම ග්‍රන්ථයක් ද රචනාකොට තිබීම නිසාවෙනි. එය නම් ඔහුගේ Meditations නම් ග්‍රන්ථයයි.

ස්ටොයිකවාදයේ මූලික හරය වන්නේ " තමන්ගේ පාලනයේ ඇති දේ පමණක් පාලනය කිරීමට උත්සාහගත යුතු බවත් සහ තමන්ගේ පාලනයෙන් බොහෝ දුර පවතින දේ පාලනය කිරීමට උත්සාහ නොගත යුතු බවය ". ලෝකයේ පවතින සමහර දේ අපට පාලනය කළ හැකිය. ඒ අතර පාලනය කළ නොහැකි දේත් පවතිනවා ඇත.

මේ දිනවල පවතින අධික වර්ෂාව මෙය තව දුරටත් පැහැදිලි කර ගැනීම සඳහා උදාහරණයක් ලෙස ගන්නේ නම්, වර්ෂණය යන සංසිද්ධිය අපට පාලනය කළ නොහැක. එය ඇත්තේ අපගේ පාලනයෙන් තොර කලාපයක වන අතර එසේ නම් අපට කළ හැක්කේ කුමක් ද? අපට කළ හැක්කේ වර්ෂාව පවතින විට කුඩයක් පාවිච්චි කිරීම පමණි. නෑ එය එසේ නොවෙයි යනුවෙන් සිතා අප වර්ෂාව පාලනය කිරීමට ගියහොත් සිදු වන්නේ නිකරුණේ වෙහෙසට පත් වීම සහ වැස්සට තෙමී අසනීප වීමටය.

ඔබ උදෑසන නැගිටින විට, ජීවත්ව සිටීම කෙතරම් අගනා වරප්‍රසාදයක් දැයි සිතන්න
( marcus aurelius )

එසේත් නැතිනම්, සිතන්න. මට ඔබගේ හැඟීම් සම්පූර්ණ වශයෙන් පාලනය කළ හැකි ද? සමහරවිට යම්තාක් දුරකට මෙලෙස ලියන ලිපියක් මඟින් කළ හැක. නමුත් සම්පූර්ණ වශයෙන් පාලනය කළ නොහැකිය. සමහරවිට ඔබගේ පෙම්වතාට හෝ පෙම්වතියට, දෙමාපියන්ට, නෑදෑයින්ට, මිත්‍රයින්ට සහ ගුරුවරුන්ට ආදී කාට වුව ද ඔබගේ හැඟීම් 100% ක් සම්පූර්ණයෙන්ම පාලනය කළ නොහැකිය. ඒ අනුව වෙන කෙනෙකු වෙනස් කිරීමට යෑම සැබවින්ම ගොං වැඩකි. යනුවෙන් ඔබද කොතැනක හෝ ඔබ පවසා ඇත. ඒ ස්ටොයිකවාදයයි.

මේ අනුව ස්ටොයිකවාදී දර්ශනයේ මූලික ප්‍රකාශනය වන්නේ අප වගකීම් ගත යුත්තේ අපට පාලනය කළ හැකි දේවල් සම්බන්ධයෙන් පමණක් වන බවය. දෙවැන්න ලෙස ලෝකයේ ඕනෑම පුද්ගලයකු ඕනෑම තීරණයක් ගැනීමේදී අතීතය වර්තමානය සහ අනාගතය යන කාල තුනම පිළිබඳව සැලකිලිමත් විය යුතු බව ස්ටොයිකවාදීන් කියයි. එමෙන්ම අතීතය යනු අතීතයක් පමණක් වන බවත් සහ තව දුරටත් අතීතයට අත දීම නොකලයුතු බවද මෙම දර්ශනයේ මූලික හරයකි.

දෛවය ඔබව බැඳ තබන දේවල් පිළිගන්න, දෛවය ඔබව එකතු කරන මිනිසුන්ට ආදරය කරන්න, නමුත් ඔබේ මුළු හදවතින්ම එසේ කරන්න.
( marcus aurelius )

ඒ අනුව ස්ටොයිකවාදය මූලික ලෙසම කියා සිටින්නේ වැදගත් වන්නේ වර්තමානය වන බවයි. වර්තමානය වැදගත් වීම යනු සැබවින්ම මේ මොහොතේ ජීවත් වීම වැදගත් වන බවය. යමෙකු මේ මොහොතේ ජීවත්වන විට කරන ඕනෑම දෙයක් වුව ද උපරිමයෙන් සිදු කරයි. තමන්ගේ මුළු ශක්තියම ඒ සඳහා යොදවයි. උදාහරණ ලෙස ගන්නේ නම් මේ ලිපිය ලියන මා පුද්ගලිකව ස්ටොයිකවාදියෙකු නම් මම සිදු කරන්නේ මෙම ලිපිය මාගේ රචනා ප්‍රයෝග, දැනුම, අලංකාර ආදී සෑම දෙයම යොදා උපරිමයෙන් ලිවීමට කටයුතු කිරීමය. මන්ද ස්ටොයිකවාදයට අනුව වැදගත් වන්නේ වර්තමානයේ ජීවත් වීමයි.

එමෙන්ම ස්ටොයිකවාදයේ කියැවෙන තවත් ප්‍රධාන සංකල්පයක් වන්නේ ලෝකයේ මිනිසුන් ජීවත්වන විට තමන්ගේ සතුට තමන්ට භාහිර දේවල් හෝ පුද්ගලයින් මත රඳා නොපැවතිය යුතු බවය. උදාහරණයක් ලෙස සිතන්නේ නම් යමෙකු තමන්ගේ සතුට V8 රථයකට හෝ, ඇපල් සමාගමේ ඉලෙක්ට්‍රෝනික උපකරණයකට හෝ එසේත් නැතිනම් තමන්ගේ පෙම්වතා මත හෝ පෙම්වතිය මතට භාර දී ඇත්නම් ඒ සියල්ල තමන්ට සම්පූර්ණ වශයෙන්ම පාලනය කළ නොහැකිය.

ප්‍රීතීමත් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය වන්නේ ඉතා ස්වල්පයකි. ඒ සියල්ල ඔබ තුළම ඇත. එය ඔබ සිතන ආකාරය අනුවය.
( marcus aurelius )

තමන්ට පාලනය කළ නොහැකි නිසාවෙන් කොතැනක හෝ තම සතුට අහිමි වී යා හැකිය. එම නිසා පුද්ගලයකු තම සතුට භාර දිය යුත්තේ තමන්ගේ අභ්‍යන්තරය මතට යැයි ස්ටොයිකවාදයේ කියයි. එවිට සෑම මොහොතකම සතුටින් සිටිය හැකිය. මන්ද තමන්ට තමන් පාලනය කළ හැකි බැවිනි. භාහිර දේවල් සහ පුද්ගලයින් අපමණ තිබුණ ද , සිටිය ද තමන්ගේ සතුට ඇත්තේ තමන් තුළය. එවිට සතුට සදාකාලික දෙයක් බවට පත්කරගත හැකිය.

කෙසේ නමුත් ස්ටොයිකවාදය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති සමහර ස්ථානවල පවසන දෙයක් වන්නේ ස්ටොයිකවාදය මගින් හැඟීම්වලින් තොරව ජීවත්වන ලෙසට පවසන බවය. නමුත් ස්ටොයිකවාදය සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යයනය කරන විට පෙනී යන්නේ එමගින් හැඟීම් වලින් තොරව ජීවත්වන ලෙසට කිසි විටෙකත් නොපවසන බවය.

මන්ද හැඟීම් වලින් තොරව ජීවත් වීමට කිසිදු මිනිස් සත්වයකුට නොහැකිය. එසේ ජීවත් වීමටනම් ඔබත් මමත් රොබෝ යන්ත්‍රයක් විය යුතුය. එසේ නම් සැබවින්ම ස්ටොයිකවාදය මගින් පවසන්නේ අපට එන හැඟීම් සෑම විටම තොරතුරක් ලෙස ගත යුතු බවය. ( imotions ගත යුත්තේ information ලෙසය ). එවිට ඒ මොහොතේ ජීවත් වීම ඉතාමත් පහසු බව එමගින් කියයි. එම තොරතුරු දෙස බලා අප ඊ ළඟ මොහොතට මුහුණ දෙන්නේ කෙසේ ද යැයි සිතා බැලිය යුතු බව ස්ටොයිකවාදීන් කියයි.

ස්ටොයිකවාදය සම්බන්ධයෙන් සාකච්ඡා කරගෙන යන විට ආකර්ෂණීය නීතිය ද අපට අමතක කළ නොහැක. ( ආකර්ෂණීය නීතිය පිළිබඳ සම්පූර්ණ ලිපියක් ඉදිරි දිනයක බලාපොරොත්තු වන්න ) ආකර්ෂණීය නීතිය ද ( Law of Attraction ) සතුටින් සිටීමට භාවිත කළ හැකි තවත් ක්‍රමයකි. මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ ද යම්කිසි ප්‍රමාණයක දැනෙන කතිකාවතක් කාලයක් තිස්සේ යූ ටියුබ් සමාජ මාධ්‍ය අවකාශයේ ද අපට හඳුනාගත හැකිය.

ආකර්ෂණීය නීතිය මෙතනට ගෙන ඒමට හේතුව වූයේ එය ස්ටොයිකවාදයට සම්පුර්ණයෙන්ම විරුද්ධ දෙයක් වන බැවිනි. නමුත් මේ දෙකම ජීවිතය පහසු කර ගැනීමට යොදාගත හැකිය. ආකර්ෂණීය නීතියේදී අපට ඕන කරන ඕනෑම දෙයක් දැනටමත් අප ළඟ තියනවා යැයි සිතමින් ඕනෑම දෙයක් ලබාගත හැක යැයි යන විශ්වාසයෙන් කටයුතු කරන අතර නමුත් ස්ටොයිකවාදයේ දී සැලකිල්මත් වන්නේ පවතින මොහොත පිළිබඳව ය. වැදගත් වන්නේ වර්තමානයයි. එනම් තමන් ජීවත් වන මේ තත්පරයයි.

තුවාලය පිළිබඳ හැඟීම ප්‍රතික්ෂේප කරන්න. එවිට තුවාලය අතුරුදහන් වේ.
( marcus aurelius )

ලිපියේ මුලින් සඳහන් කළ පරිදිත් දර්ශනවාදය සම්බන්ධයෙන් getpeakonline අපගේ වෙබ් අඩවියේ ගෙන එන සෑම ලිපියක් මඟින්ම අප මූලික වශයෙන් අරමුණු කරන්නේ ඔබගේ ජීවිතය පහසු කිරීමය. එම නිසා ස්ටොයිකවාදය සම්බන්ධයෙන් මූලික හැඳින්වීමක් සිදු කරන මෙම ලිපියේදී එහි එක් සංකල්පයක් පිළිබඳවනම් සාකච්ඡා නොකරම බැරිය. එය නම්

Amor Fati ( ඔබේ ඉරණමට ආදරය කිරීම ) නම් සංකල්පයයි.  විද්වතුන් පවසන්නේ මෙම සංකල්පය මිනිස් ජීවිතයේ මහත්  පසුගාමී ස්ථානයකට ඇද දමන සාංකාව ( Anxiety ) දුරු කර ගැනීම සඳහා වඩාත් සපලදායී ලෙස භාවිත කළ හැකි බවය.  ( සාංකාව සම්බන්ධයෙන් මීට පෙර මනෝවිද්‍යාත්මක විග්‍රහයක් රැගත්  වෙබ් අඩවියේ පල වූ පහත ලිපිය ද ඔබට පරිශීලනය කළ හැකිය ).

සාංකාව ( Anxiety )
සාංකාව යන්න සියළුම මනුශ්‍ය ජීවීන් සඳහා වඩාත් පොදු වූ හැඟීමකි. ඒ සඳහා පංති බේදයක්, ආගම් බේදයක්, ජාති බේදයක්, භාෂා බේදයක් ආදී කිසිදු බේදයක් නොමැති අතර

සාංකාව යනු අපට නිතර නිතර ඇති වන්නකි. බොහෝ විට අනාගතය පිළිබඳව , අතීතය පිළිබඳව සිතා බලන විට අපට සාංකාව ඇති වේ. නැතිනම් අප නොසිතූ අවස්ථාවක නොසිතූ දෙයක් සිදුවීම නිසා සාංකාව ඇති වේ. සිතන්න. ඔබ නිවසේ සිටින විට නොසිතූ වේලාවක වර්ෂාවක් ඇති වුවහොත් ඔබට කිසියම් කෝපයක්, සාංකාවක් හට ගනී ද?, එසේ නොමැතිව ඔබ මහ මග කුඩයක් හෝ නොමැතිව ගමන් කරම්න් සිටින විට දී වර්ෂාවක් ඇති වුවහොත් සාංකාවක් හෝ කේන්තියක් හට ගනී ද?

ඔබගේ පෙම්වතා හෝ පෙම්වතිය නොසිතූ මොහොතක ඔබව හැර දමා ගිය හොත් ? එසේ නම් පැහැදිලිය. අපට සාංකාව ඇති වන්නේ අප නොසිතූ මොහොතක නොසිතූ දෙයක් සිදු වීම නිසාය. ඉදිං එයට ස්ටොයිකවාදයෙන් දී ඇති පිළිතුර කුමක් ද?. Amor Fati ඇත්තේ ඒ සඳහාය.

මෙහිදී පවසන්නේ අපගේ මනස වෙනස් වීමට ඇති බිය හේතුවෙන් සාංකාව හට ගන්නා බව වන අතර බොහෝ විට මනස අයහපත් ලෙස වෙනස් වන්නේ නම් එතැන සාංකාව හට ගනී. නමුත් Amor Fati තුළින් පවසන පරිදි අප අපගේ ඉරණමට ආදරය කරන්නේ නම් සාංකාව කිසි ලෙසකත් ප්‍රශ්නයක් වන්නේ නැත. මන් ද ස්ටොයිකවාදයේ පවසන පරිදි අප ජීවත් වන්නේ මේ මොහොතේය. අපට වැදගත් වන්නේ මේ ජීවත්වන මොහොතයි.

ජීවිතයේ පරමාර්ථය බහුතරයකගේ පැත්තේ සිටීම නොව, උමතු වූවන්ගේ තරා තිරමෙන් බේරී සිටීමයි.
( marcus aurelius )

සිතන්න. හෙට මගේ රැකියාව අහිමි වුවහොත්, මගේ සහකාරිය හෝ සහකරුවා මා අතහැර දමා ගියහොත්, අසවල් පුද්ගලයා මිය ගියහොත් වැනි සිතීම් තුළදී අපට සාංකාවක් හට ගනී. නමුත් ඒ සියල්ල අපගේ පාලනයෙන් තොර ව සිදුවිය හැකියි අප සිතා සිටිනා දේවල් ය. ඉදිං අපගේ පාලනයෙන් තොර වූ දේවල් අප පාලනය කිරීමට යා යුතු ද? එසේ නම් අප ඒ පිළිබඳව සිතා සාංකාවක් උපද්දවා ගැනීම කළ යුතු ක්‍රියාවක් ද? මේ අනුව ස්ටොයිකවාදයේ දී කියන්නේ අප අනාගතයේ අපගේ පාලනයෙන් තොර ඕනෑම යමක් පාලනය කිරීමට යන සෑම අවස්ථාවකම සාංකාව මතුවන බවය.

නමුත් Amor Fati යනු ජීවිතය නිකරුණේ ඔහේ ගලාගෙන යන තුරු සිටීම හෝ මෙය ඉතිං ලැබෙන්න තියන දේ යැයි කියා සියල්ල බාර ගැනීම නොවේ. ඉන් අදහස් වන්නේ ගෙවන සෑම මොහොතකින්ම උපරිම ප්‍රයෝජන ගත යුතු බවත් සහ බලාපොරොත්තු වූ ප්‍රතිඵලයට වඩා වෙනස් ප්‍රතිඵලයක් ලැබුණ ද එය ආදරයෙන් බාරගත යුතු බවය.

මේ අනුව ස්ටොයිකවාදය ජීවිතයේ සෑම අවස්ථාවකදීම කුමන තරා තිරමක පුද්ගලයකු හට වූව ද අත් හදා බැලිය හැකි දර්ශනයකි. සැබවින්ම ස්ටොයිකවාදය ජීවිතයට වැදගත් වන්නේ  එමගින් අප දේවල් බාරගත යුතු ආකාරය පිළිබඳව අපට කිසියම් අදහසක් ලබාගත හැකි බැවිනි. ස්ටොයිකවාදයේ මූලික සංකල්පය වන්නේ මේ මොහොතේ ජීවත් විය යුතු බවයි. ඒ අනුව සිතමු. හෙට ඔබගේ හෝ මගේ පවුලේ සියලුදෙනා මිය ගිහිං ඔබත් මමත් මේ ලෝකයේ තනිවිය හැකිය. නමුත් මේ මොහොතේ පවුලේ සියලු දෙනාම අප සමග සිටී. එසේ නම් මේ මොහොතේ ඔවුන් සමග අපට උපරිම ලෙස සතුටු විය හැකිය.

ඔබට මතක ද? නෙල්සන් මැඩෙලාව. මැන්ඩෙලා වර්ෂ 27 ක් සිර භාරයට පත් වෙමින් අපමණ දුක් විඳීමෙන් අණතුරුව දකුණු අප්‍රිකාවේ ජනාධිපති බවට පත් වුණා. ඉදිං බොහෝ දෙනා සිතුවේ මැන්ඩෙලා අප්‍රිකාවේ ජනාධිපති වීමෙන් අණතුරුව ඔහු තලා පෙලා දැමීමට කටයුතු කළ සියලු දෙනා හටම අපමණ දඬුවම් ලබා දේ යැයි කියාය. නමුත් මැන්ඩෙලා ඒ කිසිවකුට පුංචි සීරීමක් හෝ සිදු කිරීමට නොයෑම අදටත් ලෝකයේ සියල්ල ඉතා ගෞරවයෙන් සිහිපත් කරන්නකි.

ඔබ සිතන්නේ මැන්ඩෙලා එවැනි ඉවසීමක් දරා සිටීමට ඔහුගේ මනස කෙසේ නම් සකස් කර ගන්න ඇති ද? මූලාශ්‍රවලනම් දැක්වෙන්නේ නෙල්සන් මැන්ඩෙලා සිර භාරයට පත්වෙමින් සිටින විටදී ඔහු macus Aurelius ගේ ග්‍රන්ථ පරිශීලනය කළ බවත් එම ග්‍රන්ථවල ඇති ස්ටොයිකවාදයේ සංකල්පයන් මැන්ඩෙලාගේ ජීවිතයට මහත් සේ බලපාන්නට ඇති බවත් ය.

ස්ටොයිකවාදය සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලද මෙම ලිපිය තුළින් සැබවින්ම සිදු කරන ලද්දේ මෙම දර්ශනය පිළිබඳව මූලික අවබෝධයක් ලබා ගැනීම පමණි. ස්ටොයිකවාදය කියන්නේ මොන වගේ දෙයක් ද ? යන ප්‍රශ්නයට පිළිතුරු සපයා ගැනීම පමණි. නමුත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තව බොහෝ කරුණු ඇත. එම නිසා අපට තවත් ලිපියකින් හමු වීමට හැකි වේ යැයි සිතමි.

Latest