අප්‍රේල් නවය, මැයි නවය, ජූනි නවය සහ ජූලි නවය මෙන්ම ලක්ෂ හැට නවය ශ්‍රී ලංකා සමාජ දේශපාලන ඉතිහාසයේ නොමැකෙන දින සහ අංක ලෙස ඉතිහාසයේ සළකුණු වී ඇති අතර ඒ අතරින් ජූලි නවය යනු පුරවැසියන්ගේ දිනය ලෙස ස්වර්ණමය වූ දිනයකි.
ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට කිසිදා සිදු වේ යැයි කිසිවකු නොසිතූ ඓතිහාසික සිදුවීමක් සිදු වී ඊයේ දිනට වසරක් පිරුණු අතර අප කවුරුත් දන්නා පරිදි පුරවැසි බලයෙන් ජනාධිපතිවරයෙකු ගෙදර යවා ඊයේ දිනට වසරකි.
කෙසේ නමුත් අරගලය පැවති කාල සීමාව තුළ ඉතා ප්‍රගතිශීලී අදහස් එයට එල්ලවුන නමුත් පසු කාලයේදී අරගලය සම්බන්ධයෙන් විවේචන රාශියක් දැක ගැනීමට හැකියාව ලැබුණි.

වසරක් පිටුපසට ගොස් අරගලයෙහි තමන්ගේ පුරවැසි රාජකාරිය අනුස්මරණ කරනවා සේම, එහි ආඩම්බරය, කැපවීම ආදී සියල්ල මතක් කරමින් නිහතමානී සතුටක් ලබන්නා සේම අරගලය සම්බන්ධයෙන් අප වෙනස් කියවීමක් ද ලබාගත යුතු වන බව මාගේ පුද්ගලික අදහසය. පුරවැසි අරගලය සාර්ථක ද? අරගලයෙන් දූන් පන්නරයෙන් රට ඉදිරියට යන්නේ ද? අරගලයෙන් පසු නැවුම් වූ අපගේ රට සැබෑ මාවතක ගමන් කරන්නේ ද? අප මේ යමින් ඉන්නේ කොතනට ද මේ ගැටළුවකට පිළිතුරු සෙවීම මින් අරඹනුයේ ලෝකයෙන් ගත හැකි උගත් පාඩම් ඇසුරිනි.

2015 වර්ෂයේ සැප්තැම්බර් 02 වන දා ගෝතමාලාවේ ද ශ්‍රී ලංකාවේ මෙන් සිදු වූ මහජන අරගලයකින් පෙරස් මොලීනා නම් පාලකයා හට සිය ධූරයෙන් ඉවත් වීමට සිදු වූ අතර ගෝඨාභය රාජපක්ෂට සේම පෙරස් මොලීනා හට ද ඉවත්වන විට තම ධූර කාලය තව දුරටත් පැවතිණි. ශ්‍රී ලංකාවේ අරගලය සේම කිසිදු වෙනසක් මුල් අවස්ථාවේ නොතිබූ අතර පෙරස් මොලීනා ප්‍රථමයෙන් උප ජනාධිපති ඉවත් කරන්නට උත්සාහ කෙරූ අතර පසුව මැති ඇමතිවරු ඉවත් කරමින් ඔහුගේ බලය පවත්වා ගැනීමට උත්සාහ කරන ලදී. නමුත් පෙරස් මොලීනාට ද තම දූරය අතහැර පලා යන්නට සිදු විය.

සියළු පරීක්ෂණ වලින් 2012 ජනාධිපති ලෙස පත් වූ මෙම පෙරස් මොලීනා ඉතාම දූෂිත පුද්ගලයකු යැයි අනාවරණය වන අතර ඔහු ජනාධිපති ධූරයේ සිටි කාලය තුළදී ද මෙසේ දූෂණ වංචා සිදුකර තිබූ බැවින් කිසිවෙකු ඔහු ධූරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් කණගාටු වූයේ නැත. දුක් වූයේ නැත. ඔහු සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්න අතර අදට ද පෙරස් මොලීනා සිර බත් කමින් සිටී.
කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ මෙන් නොව ගෝතමාලාවේ පාලකයින් ජන මතය වෙනස් වී ඇතැයි අවංකව සිතූ අතර එබැවින් ඔවුන් තව දුරටත් ව්‍යවස්ථාවෙන් තම බලය කෙසේ හෝ ආරක්ෂා කර ගැනීමට යන්නේ නම් නැත. ඔවුන්ට අවශ්‍යනම් පෙරස් මොලීනාගේ ධූර කාලය තව ඉතිරි යැයි පවසමින් තව දුරටත් ඔවුන්ගේ නියෝජිතයකු ජනාධිපති පුටුවේ වාඩිකරවීමට හැකි වූ නමුත් ඔවුන් එසේ කිරීමට යන්නේ නැත.
ගෝතමාලාව වහ වහා ජනතා මතය උරගා බැලීමට තීරණය කරන අතර පෙරස් මොලීනා ඉවත් වූ 2015 වර්ෂයේම ඔවුන් මහජන මැතිවරණයක් කැඳවන ලදී. මැතිවරණයෙන් මොරෑලස් නම් නව ජනාධිපතිවරයෙකු පත්වන අතර ඔහුගේ ප්‍රධාන සටන් පාඨය වන්නට වූයේ දූෂණය පිටු දැකීම යන්නය. එමෙන්ම ඔහු අධ්‍යාපනය සහ රටෙහි පෝෂණය සඳහා විශාල වැඩ කොටසක් ද කරන්නට විය.

නමුත් ගෝතමාලාවේ පත් වූ නව ජනාධිපතිවරයා ද මහා විශිෂ්ඨ නායකයකු නොවූ අතර ඔහුට ද පසු කාලයේ යම් යම් දූෂණ චෝදනා එල්ලවන්නට විය. නමුත් ඔහුගෙන් සිදු වූ ප්‍රධාන කර්තව්‍ය වූයේ ගෝතමාලාව ස්ථාවර කිරීම සහ මහජන මතය ඔහු නියෝජනය කිරීමය. රටේ පාලනයට සුජාත භාවයක් ඇති වීම ඔහු හරහා සිදු විය.
අද ගෝතමාලාව යනු මධ්‍යම ඇමෙරිකාවේ ඉතාමත් ඉදිරිගාමී ප්‍රගතිශීලී රටකි. ඉතා වේගයෙන් ආර්ථිකය වර්ධනය වෙමින් පවත්නා රටකි. 2015 ගෝතමාලාවේ මෙම සමාජ අරගලය සිදුවීමෙන් පසු ආර්ථික වර්ධන වේගය ගත් විට මහා පසුගාමීත්වයක් නැත. දිගින් දිගටම එරට ආර්ථික වර්ධන වේගය ඉහළ ගොස් ඇති අයුරු පහත රූප සටහන මඟින් පැහැදිලි කරගත හැකිය.


අරගලය සිදු වූ කාල වකවානුව තුළ කුඩා පසු බෑමක් පෙන්නුම් කල ද ඉන් පසුව සිදු වී ඇත්තේ ආර්ථිකය වර්ධනය වීම පමණි. කෝවිඩ් වසංගතය පැවති කාලයේ පමණක් ආර්ථික වර්ධනය මන්දගාමී වී ඇත.
නමුත් පුරවැසි අරගලවලින් අප සමාන වන්නේ ගෝතමාලාවටනම් නොවේ. අප සමාන වන්නේ එනම් අපේ රට සමාන වන්නේ ඊජිප්තුවටය. 2022 ජූලි නවය ලාංකික පුරවැසියන්ට වැදගත් දිනයක් මෙන් 2011 පෙබරවාරි 02 වන දින ඊජිප්තුවේ පුරවැසියන්ට එය වැදගත් දිනයක් විය. මන්ද වසර 28 ක් තිස්සේ ඊජිප්තුව පාලනය කළ හොස්නි මුබාරක් ගෙදර ගිය දවස එදවස වූ බැවිනි.

ඒකාධිපති පාලකයකු වූ හොස්නි මුබාරක් ද සැබෑ දූෂිතයකු වශයෙන් සලකන අතර ඔහු පාලනය කෙරූ වසර 28 තුළ ඊජිප්තුවට කිසිදු යහපතක්නම් නොවීය. ආර්ථික වර්ධනය ද සිදු වී ඇත්තේ ඉතාමත් මන්දගාමී අයුරිනි. පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් බොහොමයක් හොස්නි මුබාරක් විසින් අහිමිකොට තිබුණි. එබැවින් මිනිසුන් දින 18 ක් තිස්සේ මහ මගට එන අතර කයිරෝ අග නුවර සම්පූර්ණයෙන්ම අත්පත්කර ගන්නා ලදී. ඉන් පසුව හොස්නි මුබාරක් හට ද අවසානයේ සිය ධූරය අතහැර පලා යන්නට විය.

ගෝතමාලාවේ පුරවැසි අරගලය සිදුවීමෙන් පසුව එළඹුන නව යුගයට හාත්පසින්ම වෙනස් යුගයක් ඊජිප්තුවේ පුරවැසි අරගලයෙන් පසුව එළඹෙන්නට වූ අතර ඊජිප්තුවේ ආර්ථික වර්ධන වේගය පුරවැසි අරගලයෙන් පපසුව ද සීඝ්‍ර ලෙස පහත යන්නට විය. පැවතියාටත් වඩා විරැකියාව ද එරට ඉහළ ගොස් ඇත. ඒ බව පහත රූප සටහන් ආශ්‍රයෙන් පැහැදිලි කරගත හැකිය.


එසේ නම් ගෝතමාලාව පුරවැසි අරගලයකින් පසුව සිය රට සංවර්ධනය කරා මෙහෙයවාගෙන යන විට ඊජිප්තුවට එසේ කිරීමට නොහැකි වූයේ ඇයි යන්න මෙහිදී ඉතා වැදගත් ප්‍රශ්නයක් පැනනැගෙන අතර එසේ සිදුවීමට හේතු කිහිපයකි.
පුරවැසි අරගලයෙන් පසු ඊජිප්තුව ගෝතමාලාවේ මෙන් මහජන ඡන්දයකට වහ වහා නොයන අතර ඔවුන් සිදුකරණුයේ 2022 ජුලි 9 න් පසු ශ්‍රී ලංකාව අනුගමනය කලා හා සමාන ක්‍රියාමාර්ගයකි.
ඊජිප්තුවේ හොස්නි මුබාරක් සිය ධූරය අතහැර පලා ගිය විට එරට සිදුකරණුයේ මහජන මතයට කන් නොදී හමුදා නිළධාරීන්ගෙන් සැදුම්ලත් කමිටුවක් මඟින් රට පාලනය කිරීමට යෑමය. නමුත් වසරක් හෝ යෑමට මත්තෙන් නැවතත් පුරවැසි අරගල මතු වූ අතර එරට පුරවැසියන් අප බලාපොරොත්තු වූයේ මෙය නොවේ යැයි තරයේ ප්‍රකාශ කරන්නට විය.

ඉන් පසුව නැවතත් 2012 වර්ෂයේ ඊජිප්තුවට මැතිවරණයක් ලැබෙන අතර ඉන් පසු මොහොමඩ් මෝර්සි නමින් නව ජනාධිපතිවරයෙක් පත් වන්නට විය. නමුත් ඉන් පසු නැවතත් 2013 වර්ෂයේ හමුදා කුමන්ත්‍රණයක් මඟින් මෝර්සි ජනාධිපතිවරයාව පලවා හරින්නට විය.
2013 හමුදා කමිටුවක් බලය අල්ලා ගත් පසු නැවතත් මෝර්සිගේ කණ්ඩායම අරගල කරන්නට වූ අතර මහා විශාල මිනිස් සහ දේපළ හානි අතර තුර නැවතත් ඊජිප්තුව මැතිවරණයක් පවත්වන ලදී. ඉන් පසුව හමුදා කමිටුවලින් කැපී පෙනීගෙන ආ නායකයකු හට ඊජිප්තුවේ බලය හිමි වන්නට විය. මේ ආකාරයේ වසර පහක් පමණ තිස්සේ දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් ඊජිප්තුවේ ආර්ථිකය එකතැන පල් වන්නට විය.
එයට ප්‍රධානතම හේතුව ලෙස අපට මෙම කරුණු වලින් හඳුනාගත හැක්කේ ඊජිප්තුවට පුරවැසි අරගලයෙන් පසුව ජනතා මතය නිසිලෙස නියෝජනය වන පාලනයක් ගොඩ නැගීමට නොහැකි වීමය. ඊජිප්තු පාලකයෝ තම තමන්ගේ පුද්ගලික අරමුණු මත රටේ බලය තමන් යටතට කුමන හෝ ක්‍රමයකින් ගැනීමට පොරකන්නට විය. නමුත් ගෝතමාලාව ප්‍රථම අවස්ථාවේදීම එම ප්‍රගතිශීලී තීරණය ගැනීමට සමත් විය.
ගෝතමාලාව සහ ඊජිප්තු පුරවැසි අරගල තුළින් කැපී පෙනෙන තවත් ප්‍රධානතම කාරණාවක් වන්නේ දේශපාලන ස්ථාවරත්වයකින් තොරව කිසිදු රටක ආර්ථික සංවර්ධනය අත්කරගත නොහැකි බව වන අතර ශ්‍රී ලංකාවේ තත්වය ද ඊජිප්තුවට සමාන වන බව මේ දක්වා සාකච්ඡා කරන ලද කරුණු වලින් ඔබට වැටහෙන්නට ඇතැයි සිතමි. එනම් ශ්‍රී ලංකාව ද මේ ගත කරමින් සිටින්නේ පුරවැසි අරගලයෙන් පසුව ඊජිප්තුව ගත කළ මුල් අදියරට සමාන අදියරකි. අපේ ආර්ථිකය ද එක තැන පල් වෙමින් ඇත.
අරගලයෙන් පසු කාල සීමාව තුළදී තෙල් පෝලිම් නැති වී විදුලිය සහ ආහාර ප්‍රශ්න ආදිය ද යම්තාක් දුරකට විසඳී තිබුණ ද අප තවමත් යමින් සිටින්නේ ඊජිප්තුව අරගලයෙන් පසුව මුල් කාලයේ ගිය ගමන හා සමාන ගමනකි. මන්ද මෙරටේ වත්මන් පාලනය තුළ ද මේ වනවිට සැබෑ ජන මතයක් නියෝජනය නොවේ. දේශපාලන අතින් ස්ථාවර යැයි පෙනෙන්නට තිබුණත් එය ද එසේ නොවේ.

ඇත්තෙ වත්මන් ජනාධිපති එක් කණ්ඩායමක් මත යැපෙන අතර එම කණ්ඩායම ජනාධිපති මත යැපීමක් පමණකි. එපමණක් නොව ආර්ථිකය ද එක තැන පල් වෙමින් ඇති බව සහ මේ පවතින මට්ටමින් අපට ඉදිරියට යා නොහැකි බව ද ආර්ථිකය සම්බන්ධයෙන් මංජු නිශ්ශංක වැනි ප්‍රාමාණිකයින් දක්වන අදහස් තුළින් අපට වැටහී යයි.
එබැවින් කුමන කුමන හෝ ක්‍රමයකින් මොහොතින් මොහොත කැරට් අල කිහිපයක් පුරවැසියන් වෙත ප්‍රධානය කිරීමට වත්මන් පාලන තන්ත්‍රය උත්සාහ කළ ද රට ඉදිරියට රැගෙන යෑමටනම් එම කැරට් අල ප්‍රමාණවත් නොවන බවට ඊජිප්තුවෙන් උදාහරණ ගත හැක. ඊයේ දිනය ජූලි 09 වන දා බැවින් අවසානයේ සියල්ල අසන පොදු ප්‍රශ්නයකට පිළිතුරක් සැපයීම වටී යැයි සිතුණි.
අරගලයෙන් සිදු වූයේ කුමක් ද?
අරගලයෙන් සිදු වූයේ ගෝතමාලාවේ මෙන් ඓතිහාසික තීරණයක් ගැනීමට එක් අවස්ථාවක් උදාකර දීමය. එම තීරණය ගැනීමට මෙරට නායකයින් යැයි කියා ගන්නා පිරිස අසමත් වීම සම්බන්ධයෙන් අරගලය කුමක්නම් කරම් ද?