"දරුවන්ගේ දෛනික ජීවිතයට අප සිදු කරන වෙනස අනුව ඉතිහාසය විසින් අපව විනිශ්චය කරනු ඇත" - නෙල්සන් මැන්ඩෙලා
ලෝකයේ වැඩිම රටවල් සංඛ්‍යාවක් අත්සන් තබා ඇති එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් සම්මුතියට (UNCRC) අත්සන් තබා දශක තුනකට පසු, ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වාචාල පොරොන්දු, පරම්පරා ගණනාවක් තිස්සේ අසාර්ථක වූ මෙරටේ ඉතිහාසය පිළිබඳ පැහැදිලි ප්‍රතිරූපයකි. මෑතක මතු වූ ජනතා නැගිටීම වන 'අරගලය' තුළින් පුරවැසියන් ඉල්ලා සිටියේ "අපේ දරුවන්ට හොඳ රටක්" වුවත්, සමාජයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි සාමාජිකයින්ගේ ජීවිතවලට පැහැදිලි, ප්‍රගතිශීලී වෙනස්කම් ලබා දීමට මහජන නියෝජිතයින් දක්වන උදාසීනත්වයට දායක වෙමින්, "අපේ රටට වඩා හොඳ, නිකැළැල් දරුවන්" බව අවධාරණය කිරීමට එම සටන් පාඨය අසමත් විය. පුරවැසියන් වන අප විසින්, සැබෑ අනාගත ප්‍රතිලාභීන් වන අපගේ දරුවන්ගේ මානව හිමිකම් කඩ කරන බිහිසුණු රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පරිණාමය කර ඇත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශ්ව කාලාන්තර සමාලෝචන (UPR) 42 වන සැසිවාරයේ ශ්‍රී ලංකා සැසිවාරය 2023 පෙබරවාරි 1 සිට 3 දක්වා ජිනීවාහිදී පැවැත්විණි. 2022 පැවැත්වුණු UPR පූර්ව සැසිවාරයේදී දිවයිනේ මිලියන 5.2 ක් වන දරුවන් නියෝජනය කළ එකම සිවිල් සංවිධානය ‘ළමා හිංසනයට තිත පදනම’ (SCC) වේ. ශාරීරික දඬුවම් ඇතුළුව දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමට ප්‍රධාන ක්ෂේත්‍ර හයක් ඔස්සේ SCC කරුණු ඉදිරිපත් කරන ලදී.
සන්දර්භය සහ සාධාරණීකරණය
2020 ජූලි සිට 2022 ජූලි දක්වා ළමුන් දහසය දෙනෙකු ශාරීරික/ලිංගික අපයෝජනය කර ඝාතනය කර ඇතත්; ශ්‍රී ලංකා රජය (GOSL) ජනගහනයෙන් 25% ක් වන දරුවන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය සහතික කිරීම වෙනුවෙන් ඵලදායී කිසිවක් සිදු කර නොමැත. මෙය සන්නද්ධ ගැටුම්, සාගත, ස්වාභාවික විපත් හෝ රෝගාබාධ නොමැති රටක, පෙර නොවූ විරූ අස්වාභාවික ළමා මරණ මට්ටමකි.
ජාතික මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාවට නැංවීමට අපොහොසත් වීම
ශ්‍රී ලංකාවේ තුන් වැනි UPR සමාලෝචනය අවසානයේ, මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ 2017-2021 සඳහා ජාතික මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්ම කෙරෙහි ප්‍රසාදය පළ කරමින් එහි ස්ථිර ප්‍රතිඵල අත්කර ගැනීමට ශ්‍රී ලංකාව දිරිමත් කරනු ලැබුවේය. ළමුන්ගේ අයිතිවාසිකම් අනුමත කිරීමේදී, ශාරීරික දඬුවම් නැවැත්වීමට මෙන්ම, ධනාත්මක අවිහිංසාවාදී විනය ප්‍රවර්ධනය කරමින් ළමා ශ්‍රමය අවසන් කිරීමට පියවර ගැනීමටද හෙතෙම නිර්දේශ කළේය. කෙසේ වෙතත්, ජාතික ක්‍රියාකාරී සැලැස්ම තුළ ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබඳව අවධාරණය අඩු වී තිබේ.
පාසල් සහ නිවෙස්වල ශාරීරික දඬුවම් අවසන් කිරීමට අපොහොසත් වීම
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කළ 12/2016 අංක දරන චක්‍රලේඛයෙහි ‘පාසල්වල විනය පවත්වාගෙන යාම’ යටතේ, ශාරීරික දඬුවම් භාවිතා නොකිරීමට නිර්දේශ කර තිබේ. කෙසේ නමුත්, 2018 පෙබරවාරි මාසයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාසල් සිසුවකුට ශාරීරික දඩුවම් දීමට ගුරුවරයකු වරදකරු කරමින් සුවිශේෂී නඩු තීන්දුවක් නිකුත් කෙරිණි. අනතුරුව, ලංකා ගුරුසේවා සංගමය විසින් ළමුන් විනයානුකූල කිරීම සඳහා ශාරීරික දඬුවම් භාවිත කිරීමට ඉඩ දෙන ලෙස බලකරමින් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පවත්වනු ලැබිණි. 2018 මැතිවරණ රැළියක් අමතමින් එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ශාරීරික දඬුවම් අනුමත කළේය. අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් පෙර කී චක්‍රලේඛයද ඉවත් කර තිබේ. එය අකාර්යක්ෂම හා ගුරුවරුන් විසින් නිර්දය ලෙස නොසලකා හැරි චක්‍රලේඛයකි. බොහෝ සිසුහු ගුරුවරුන්ගේ අමානුෂික පහර කෑම්වලට ලක් වෙමින් සිටිති.
ජාතික ළමා ආරක්ෂක අධිකාරියට වාර්ෂිකව වාර්තා වන සිද්ධීන් සංඛ්‍යාව මගින් පෙනී යන්නේ 2010 සිට 2021 දක්වා කාලය තුළ සිදු වූ ළමා අපයෝජනයන්හි වඩාත් සුලබ ආකාරය ළමා හිංසනය හෙවත් ශාරීරික අපයෝජනය බවයි. 2010 වසරේ වාර්තා වූ සමස්ත නඩු සංඛ්‍යාව වූ 3892 න්, 905 ක් ළමුන්ට එරෙහි කෘෘරත්වය සම්බන්ධ සිද්ධීන් විය ; 2021 දී එම සංඛ්‍යා පිළිවෙලින් 11,187 ක් හා 2741 ක් විය.
ජාත්‍යන්තර පාසල් දරුවන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට අපොහොසත් වීම
කිසිදු ජාත්‍යන්තර පාසලක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නියාමනය නොකෙරේ. එබැවින්, අංක 12/2016 දරන චක්‍රලේඛය ඇතුළු රජයේ චක්‍රලේඛ කිසිවක් ජාත්‍යන්තර පාසල් සිසුන් සඳහා වලංගු නොවේ. 2019 දී අධ්‍යාපන අමාත්‍ය කාරියවසම් ප්‍රකාශ කළේ, සිසුන් 100,000 හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සිටින ජාත්‍යන්තර පාසල් 300 ක් පමණ රට තුළ පවතින බවයි. කිසිදු නිවැරැදි අධීක්ෂණ ක්‍රියාවලියක් නොමැති බැවින්, මෙම සංඛ්‍යා මීට වඩා වැඩි යැයි විශ්වාස කෙරේ.
ජාත්‍යන්තර පාසල් සිසුන් රජයේ නියාමන ක්‍රියාවලීන්ට යටත් නොවීම හේතුවෙන්, සිසුහු ශාරීරික දඬුවම්වලට සහ වෙනත් අපයෝජනයන්ට ලක් වෙති. 2018 වසරේ ජනවාරි මාසයේදී මීගමුව ගේට්වේ විද්‍යාලයේ දී ශාරීරික දඬුවම්වලට ලක් වූ එකොළොස් හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවියකගේ සුවිශේෂී සිද්ධියකදී, සියලුම දරුවන් එක හා සමානව අපක්ෂපාතීව ආරක්ෂා කිරීමට අපොහොසත් බවට හෙළිදරව් විය. ඒ සම්බන්ධ පැමිණිල්ල ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) මුලින් භාරගත් අතර, ජාත්‍යන්තර පාසල් ඔවුන්ගේ විෂය පථයට අයත් නොවන බව පවසමින්, වින්දිතයා අසරණ තත්ත්වයට පත් කරමින්, පැමිණිල්ල ඉවත දමනු ලැබීය. ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මූලික අයිතිවාසිකම් පෙත්සමක් මගින් නඩුව විභාගයට ගැනීමට අවසර නොදුන් විට, වින්දිත දරුවා විසින් 2019 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව හමුවේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) යටතේ සලකා බැලීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී. 2020 දී එය, එක්සත් ජාතීන්ගේ කමිටුවේ ලියාපදිංචි කරන ලද අතර, රාජ්‍ය පාර්ශවය 2021 වන විට සිය ප්‍රතිචාරය ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. මෙය, ශාරීරික දඬුවම්වලට එරෙහිව එකොළොස් හැවිරිදි දැරියක විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමුකම් කමිටුව වෙත ගොනු කරන ලද ලොව පළමු නඩුව ලෙස සැලකේ.
දරුවා අයිතිවාසිකම් දරන්නකු ලෙස පිළිගැනීමට අපොහොසත් වීම
2000 වසරේ යාපනයේ මිරුසුවිල් හිදී ළමුන් හතර දෙනෙකු ඇතුළුව නිරායුධ සිවිල් වැසියන් 8 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන්, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු මඩුල්ලක් විසින් මරණ දණ්ඩනය නියම කළ හිටපු සෙබළෙකු වූ සැරයන් රත්නායකට 2020 මාර්තු ගෝඨාභය රාජපක්ෂ විසින් ජනාධිපති සමාව ලබා දෙන ලදී. ගෝලීය මානව හිමිකම් සංවිධාන ගණනාවක් විසින් එය හෙළා දකින ලදී.
ජනාධිපති රාජපක්ෂ විසින් 2020 අගෝස්තු මාසයේදී, කාන්තා හා ළමා කටයුතු පිළිබඳ කැබිනට් මට්ටමේ අමාත්‍යාංශය රාජ්‍ය අමාත්‍යාංශ මට්ටම දක්වා පහත හෙලනු ලැබිණි. 2018 වසරේදී සිරිසේන ජනාධිපතිවරයාට සහ 2021 දී රාජපක්ෂ ජනාධිපතිවරයා වෙත, අත්සන් 5000 බැගින් වූ මහජන පෙත්සම් දෙකක් SCC විසින් භාර දෙන ලදී. ජනාධිපති වික්‍රමසිංහ වෙත භාරදීම සඳහා ‘ශ්‍රී ලංකාවේ ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කරන්න’ මැයෙන් තවත් පෙත්සමක් සඳහා අත්සන් ලබා ගැනේ.
ළමා ආරක්‍ෂාව සහ යුක්තිය පිළිබඳ පනත් කෙටුම්පත සකස් කිරීම අවසන් කර නොමැති අතර, ළමා හා තරුණ පුද්ගලයින් පිළිබඳ ආඥාපනත යෝජිත පරිදි අවලංගු කර නොමැත. 2017 දී දියත් කළ ‘ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමේ ජාතික හවුල්කාරිත්වය (NPEVAC)’ ඉදිරි ක්‍රියාමාර්ගයකින් තොරව හිටිහැටියේ නතර විණි.
බාලවයස්කාර අධිකරණ පද්ධතිය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම
2021 වසරේදී අංක SC/FR/97/2017 දරන නඩුවේදී, ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය දරුවන්ට ශාරීරික දඬුවම් තහනම් කරමින් සුවිශේෂී තීන්දුවක් ලබා දුන් අතර, දණ්ඩ නීති සංග්‍රහයේ 341(i) වගන්තිය {"පාසල් ගුරුවරයෙකු ඔහුගේ ශිෂ්‍යයකුට පහර දෙයි නම්, ඔහු සාපරාධී බලය භාවිතා නොකරයි..."} සහ 82 වගන්තිය {"වයස අවුරුදු දොළහට අඩු අයකුගේ යහපත උදෙසා සද්භාවයෙන් කරන කිසිවක්, වරදක් නොවේ."} ආදියෙහි සංශෝධන නිර්දේශ කෙරුණද, මේ කිසිවක් අවලංගු කර නොමැත.
ළමා අපයෝජන නඩුවක් අවසන් කිරීමට අවුරුදු 7-10 ක් ගතවන අතර, වින්දිත දරුවාට සාක්ෂි අමතක වී හෝ වැඩිහිටියකු වශයෙන් යුක්තිය සෙවීමෙන් වින්දිතයා වෙහෙසට පත්ව සිටියි. දශකයක් තිස්සේ නීතිපති දෙපාර්තමේන්තුවේ ළමා අපයෝජන සිද්ධීන් 20,000කට අධික ප්‍රමාණයක් සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නොවිසඳුණු නඩු 40,000කට අධික ප්‍රමාණයක් පවතී.
දරුවන් ආරක්ෂා කිරීම සඳහා පොලිසිය සහ පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව අසමත් වීම
ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2019 දී දුන් සුවිශේෂී තීන්දුවකින්, මාතර පොලිස් ස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් වන වරුණි බෝගහවත්ත දරුවකු නීතිවිරෝධීව රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකාරිය විණි. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණ විසින්, නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් පිළිපැදිය යුතු කරුණු 20ක් නිර්දේශ කෙරිණි. කෙසේ වෙතත්, වසරක් ඇතුළත ඇය මාතර පොලිස් ස්ථානයේ කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපතිවරිය ලෙස පෙර සිටි තනතුරෙහිම සේවයේ පිහිටුවීම, ස්වාධීන අධිකරණය ඉහළම මට්ටමෙන් සමච්චලයට ලක් කිරීමක් වන අතර, දූෂිත පොලිස් නිලධාරිනියක නැවත සේවයේ පිහිටුවීම සඳහා පරම අධිකාරී බලය බරපතල ලෙස අවභාවිත කිරීමකි.
පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව තුළ ළමා අපයෝජන පාලනයකින් තොරව උග්‍ර වී තිබේ. දකුණු පළාතේ ආබාධිත ළමුන් සඳහා පිහිටුවා ඇති ‘කංචදේව නිවහනේ’ ළමුන් තිදෙනෙකුට පහරදීම සම්බන්ධයෙන් පරිවාස නිලධාරි ප්‍රදීප්ට 2020 වසරේ චෝදනා එල්ල විය. ඔහු අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර, දකුණු පළාතේ බද්දේගම පිහිටි ‘හල්පාතොට රැඳවුම් නිවාසයට’ "දඬුවම් මාරුවක්" ලබා දුනි. 2022 ප්‍රදීප්ට එරෙහිව බරපතල ලිංගික අපයෝජන සිද්ධීන් දහයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල විය. වින්දිතයින් සියල්ලෝම වයස අවුරුදු 15ට අඩු පිරිමි ළමුන් වූහ. එය ශ්‍රී ලංකාවේ පරිවාස සේවා/ළමා ආරක්ෂණ ඉතිහාසය තුළ රාජ්‍ය ආයතනයක සිදුවූ විශාලතම සමූහ ළමා අපයෝජන සිද්ධියයි.
SCC විසින් කරන ලද සවිස්තරාත්මක ඉදිරිපත් කිරීම සහ නිර්දේශ මින් නැරඹිය හැකිය. https://stopchildcruelty.com/media/doc/UPR-SUBMISSION-FINAL-ALL-3-LANGUAGES.pdf
දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා මුදල් ලැබෙන සෑම ‘රාජ්‍ය සේවකයෙකුම’ බංකොලොත් ආසියාවේ ආශ්චර්යය තුළ පවතින සදාචාරයේ සහ අරාජිකත්වයේ නරකම තත්ත්වයට වගකිව යුතුය!
ළමා හිංසනයට තිත පදනමෙහි සභාපතිනි වෛද්‍ය තුෂ් වික්‍රමනායක