Skip to content

නැගී සිටීමේ ප්‍රහසන පීඨයේ පීඨාධිපති

නැගී සිටීමේ ප්‍රහසන කලාව නැතිනම් stand - up comedy පිළිබඳව මා මීට පෙර ලිපියක් මඟින් කරුණු පුළුල් ලෙස සාකච්ඡා කළ බව ඔබට මතක ඇතැයි සිතමි. එහිදී stand - up comedy යන්නට "හිටං විහිළු යැයි" ලාංකීය සමාජයේ හැඳින්වීමක් පවතින බවද සඳහන් කිරීමට මා හට අතපසු වූ බැවින් මෙම අවස්ථාවේ එයද සඳහන් කර සිටිමි. සැබවින්ම හිටං විහිළු යැයි පවසන විට ඔබට මතකෙට නැගෙනුයේ කුමක් ද යන්න පිළිබඳව මා දන්නා අතර සැබවින්ම එය ද විහිළුවකි.  මීට පෙර ලිපියෙහිදී මා සඳහන් කලේ සාමාන්‍යයෙන් විචාරකයන් පවසන පරිදි විකට නළුවන්ගේ පීඨයේ පීඨාධිපති වශයෙන් සලකන්නේ ජෝර්ජ් කාර්ලින් බවය. සාමාන්‍යයෙන් විකට නළුවන් ගත් විට ඔවුන් සිය ඉදිරිපත් කිරීම සඳහා විවිධ ශෛලීන් භාවිත කරණ අතර උදාහරණ ලෙස චාර්ලි චැප්ලින්ගේ ප්‍රහසන තුළ අපට දැකගත හැක්කේ අසාමාන්‍ය පසුබිමක් තුළ සාමාන්‍ය ලෙස හැසිරීමත් සහ සාමාන්‍ය පසුබිමක් තුළ අසාමාන්‍ය ලෙස හැසිරීමත් ය. සමහරවිට හාස්‍ය උත්පාදනය සඳහා ශිල්පීන් මෙ ආකාරයේ විවිධ ක්‍රම භාවිත කරන අතර එබැවන් ජෝර්ජ් කාර්ලින් වූ කලී ප්‍රතිසංස්කෘතික විකට නළුවන්ගේ පීඨයේ පීඨාධිපති වශයෙන් විචාරකයින් හැඳින්වු ද මාගේ පුද්ගලික අදහස වන්නේ නැගී සිටීමේ ප්‍රහසන පීඨයේ පීඨාධිපති වශයෙන් කාර්ලින්ව හැඳින්වීම වඩාත් සාධාරණ සහ ඔහුට එම හැඳින්වීම වඩාත් සමීප වන බවය.

විචාරකයින්, රසිකයින් සහ ශිල්පීන් බොහෝවිට ජොර්ජ් කාර්ලින් යනු stand - up comedy කලාවේ රජු ලෙස, පෙරගමන්කරුවා ලෙස, හොඳම මූලාශ්‍රයක් ලෙස හඳුන්වයි. ඔබ නැගී සිටීමේ ප්‍රහසන රසිකයකු නම් ශ්‍රී ලංකාවේ කැපී පෙනෙන නැගී සිටීමේ ප්‍රහසන ශිල්පියා වන හසලක තුෂාර ද බොහෝ විට ජෝර්ජ් කාර්ලින් යනු satand - up comedy ශිල්පීන් හට ඉතා හොඳ මූලාශ්‍රයක් වන බව සඳහන් කරණු අසා ඇත. එබැවින් මෙම කලාවේ රසිකයින් වන ඔබ හට ජෝර්ජ් කාර්ලින් පිළිබඳව දැන සිටීම වටී යැයි සිතමි.

ඇමෙරිකන් ජාතිකයකු වන කාර්ලින් උපත ලබන්නේ 1937 මැයි මස 12 වනදා නිව්යෝර්ක් හීදීය. උපතේදී ඔහුගේ සම්පූර්ණ නම වූයේ ජෝර්ජ් ඩෙනිස් ෆැට්‍රික් කාර්ලින් වන අතර  පියා පැට්‍රික් ජෝන් කාර්ලින් ය. මව මේරි බැරීය. 1960 වර්ෂයේ ඔහුට මුණගැසුණු මේරි බැස්බරෝ නම් කාන්තාව සමග විවාහ වී  වසර 71 ක පමණ ඔහුගේ ජිවිත ගමන නිමා කරමින් 2008 ජූනි මස 22 වන දින කාර්ලින් කප් එක ගසන්නට විය. නැතිනම් අභාවප්‍රාප්ත වන්නට විය. ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත යැයි යනුවෙන් ප්‍රකාශයක් පැවතිය ද සෑම කාලයකම වඩාත්ම වැදගත් සහ බලගතු විකට නළුවා වශෙන් හැඳින් වූ ජෝර්ජ් කාර්ලින් හට මෙය කිසිසේත්ම අදාළ නොවූවකි. විටෙක ඔහු නළුවෙකි, තවත් විටෙක සමාජ විචාරකයෙකි, කතුවරයෙකි, නිෂ්පාදකවරයෙකි, තිර රචකයෙකි. විශේෂයෙන් ම නැගී සිටීමේ ප්‍රහසන ශිල්පියෙකි.

කාර්ලින් කුඩා කාලයේ ඔහුගේ දෙමාපියන් දික්කසාද වීම හේතුවෙන් ඔහුට හැදී වැඩීමට සිදුව ඇත්තේ හුදෙකලාව ඔහුගේ මව සමගය. මව සිය රැකියාවේ දීර්ඝ පැය ගණනක් වැඩ කිරීම හේතුවෙන් කුඩා ජෝර්ජ් හට තමන්ට කැමති ආකාරයෙන් ලෝකය දෙස බැලීමට, විවිධ විෂයන් ගවේෂණයට සහ ගුවන් විදුලියට සවන් දීමට අවස්ථාව හිමි වූ අතර විචාරකයින්ගේ අදහස වන්නේ ඔහුගේ නිර්මාණ කෞෂල්‍ය සඳහා කුඩා කාලයේ මෙසේ ගත කළ කාලය විශේෂයෙන් බලපාන්නට ඇති බවය.

"බුද්ධි පරීක්ෂණ, සාක්ෂරතාවට පක්ෂපාතී වේ " (ජෝජ් කාර්ලින්)

කාර්ලින් මුල් කාලයේ ගුවන් හමුදා සේවකයකු වූ අතර ඔහු වයස අවුරුදු 17 දී පාසලෙන් ඉවත්ව ගුවන් හමුදා සේවයට සම්බන්ධවන්නට විය. ගුවන් හමුදා සේවා ස්ථානයක කාර්මිකයකු ලෙස සේවය කළ ඔහු දේශීය ගුවන් විදුලි නාලිකාවක ඉදිරිපත් කිරීම් සිදුකරන්නෙකු ලෙසද සම්බන්ධ විය. කාර්ලින් 1950 ගණන්වල අග භාගයේදී wonderful wino සහ Hippy dippy whether man වැනි හාස්‍ය චර්යාවන් සඳහා ප්‍රසිද්ධ වැඩසටහන්වල නැගී එන ප්‍රහසන ශිල්පියෙකු වශයෙන් කටයුතු කරන්නට විය. වයස අවුරුදු 22 දී ජෝර්ජ් සිය ඉදිරිපත් කිරීම් සඳහා  ආපන ශාලා සහ රාත්‍රී සමාජ ශාලා සහ වෙනත් ආයතන භාවිත කළ අතර මෙය ඔහුගේ නැගී සිටීමේ ප්‍රහසන ශිල්පියෙකු වශයෙන් සාර්ථකත්වයේ පළමු පියවර විය. (විශේෂයෙන් මෙම කරුණු සාකච්ඡා කරන විට රසිකයකු වශයෙන් පුද්ගලිකව මට හැඟී යන කරුණ වන්නේ ශ්‍රී ලංකාවේ කැපී පෙනෙන ප්‍රහසන ශිල්පියා වන හසලක තුෂාර නැතිනම් හසාට ද කාර්ලින්ගේ මෙම ආභාෂය ලැබී ඇති බවය. එබැවින් ශ්‍රී ලංකාවේ අනාගත නැගී සිටීමේ ප්‍රහසන ශිල්පය වඩාත් හොඳ ස්ථානයකට ගමන් කරණු ඇතැයි අපට සිතිය හැකිය) කාලය යත්ම කාර්ලින්ගේ දක්ෂතාවය හේතුවෙන් ඔහුට රූපවාහිනියේ පෙනී සිටීමට අවස්ථාව හිමි විය.

"අපි සඳට සහ පසුපසට පියාසර කලෙමු. නමුත් අපට වීදිය තරණය කර අපගේ නව අසල් වැසියා හමුවිය නොහැක" (ජෝර්ජ් කාර්ලින්)

කාර්ලින්ගේ මුල් ඉදිරිපත් කිරීම් තුළ යම් යම් ආයතන විරෝධය සහ මත්ද්‍රව්‍ය විරෝධය අන්තර්ගත විය. ඔහුගේ Hippy Dippy weather man මේ සඳහා ගතහැකි හොඳ උදාහරණයකි. 70 දශකයේදී මෙම හාස්‍ය ශිල්පියා උප සංස්කෘතික මාතෘකා කෙරෙහි දැඩි උනන්දුවක් දැක් වූ අතර මෙම කාලයේදී ඔහු තරුණයන් අතර ඉතා ජනප්‍රිය පුද්ගලයකු බවට පත් විය. කොණ්ඩය වැවීමටත් , දීප්තිමත් ඇඳුමින් සැරසීමටත් කරාඹු දැමීමටත් ඔහු මෙකල අමතක කලේ නැත.  80 දශකයේ සිට ඔහුගේ හාස්‍ය වඩාත් කෝපයට නැතිනම් රැඩිකල් බවකට පත් වූ බව විචාරකයින්ගේ මතය වන අතර මේ කාලය තුළදී ත්‍රස්තවාදය, සියදිවි නසා ගැනීම, ජීවිතයේ පාරිශුද්ධභාවය, පාරිභෝගිකවාදය, මානව හිමිකම්, දේශපාලනය, ආගම යානදී මාතෘකා සිය ඉදිරිපත් කිරීම සඳහා වස්තු බීජ බවට පත්කර ගන්නා ලදී. විචාරකයන් පවසන්නේ කාර්ලින්ගේ මෙම රැඩිකල් වෙනස ප්‍රේක්ෂකයන් ඉතා ආදරයෙන් වැළඳගත් බවය.

කාර්ලින් සෑමවිටම ඇමෙරිකානු පටු දේශපාලනට සම්බන්ධවූවකු නොවන අතර පිටත සිට දේශපාලනය පිළිබඳව විවේචනාත්මක මනසින් බැලූවෙකි. ලිබරල්වාදියකු වූ ඔහු වරෙක ප්‍රකාශ කර සිටියේ පාලකයින් නූපන් අය පිළිබඳව බොහෝ සැලකිල්ලක් දක්වන නමුත් ඔවුන් ඉපදුන පසු හැකි සෑම ආකාරයකින් ම ඔවුන් තලාපෙලා දමන බවය. අදේවවාදියකු ලෙස විචාරකයින් සැලකූ කාර්ලින් විශේෂයෙන් ආගමික මතවාදයන් විටෙක සිය ඉදිරිපත් කිරීම් සඳහා මාතෘකා කර ගැනීම හේතුවෙන්  ඔහු කතෝලික පූජකයන් සමග ගැටුම් ඇතිකර ගන්නා ලද අවස්ථා ද විය.

මාර්ක් ට්වේන් නම් විකට නළුවා සමග ඉතා සහයෝගයෙන් කටයුතු කල කාර්ලින් දේශපාලනයේ සහ ආගමේ ඇති සෑම දෙයකම මෝඩ බව දැකීමට සෑම විටම උත්සාහ ගත් බව විචාරකයන්ගේ මතයයි. හාස්‍ය උත්පාදනය සඳහා ශක්‍යතාව මෙන්ම ඒ සඳහා මාතෘකාවන් පමණ ඉක්මවා තිබූ කාර්ලින් හට සැබවින්ම අවශ්‍ය වූයේ ඔහුගේ හාස්‍යයේ විෂයන්හී ශක්‍යතා සහ යථාර්තයන් දෘෂ්‍යමාන කළ හැකි ප්‍රේක්ෂකයන් පිරිසකි. ඔහු සෑමවිටම භාෂාව භාවිත කරන ලද්දේ බලපෑමක් කිරීමට මිස කරුණක් දැක්වීම සඳහා නොවන බව විචාරකයින්ගේ අදහසයි. කාර්ලින් සිය පෞරුෂය රැඩිකල් ලෙස වෙනස් කිරීමට තරම් නිර්භීත පුද්ගලයකු විය. ඔහුගේ චර්යාවන් වඩාත් තීක්ෂණ බුද්ධියෙන් යුක්ත වූ අතර එම නිසා සමාජ කතිකාවට ඔහු ඉතා බැරෑරුම් විෂයන් හඳුන්වා දෙන ලදී. 90 දශකය පුරාම ඔහුගේ වේදිකා පෞරුෂය රැඩිකල් ආකාරයෙන් වෙනස් වූ බව ද විචාරකයන්ගේ මතයයි. ‌‌

"මැතිවරණය යම් දෙයක් වෙනස් කලා නම් අපට ඒවාට සහභාගී වීමට ඉඩ නොදෙනු ඇත " (ජෝර්ජ් කාර්ලින්)

1978 වර්ෂය යනු ජෝර්ජ් කාර්ලින්ට අමතක නොවන වර්ෂයක් වූ අතර එයට හේතුව වන්නේ ප්‍රෙක්ෂකයන් සහ නැගී සිටේමේ ප්‍රහසන ශිල්පීන් අදටත් සාකච්ඡා කරණු ලබන මහත් ආන්දෝලනයට පත් වූ ඒ මොහොත වන විට කිසිවකු ගුවන් විදුලියේ හෝ රූපවාහිනියේ ප්‍රකාශ කර නොතිබූ  ඔහුගේ seven dirty words නැතිනම් අපිරිසිදු වචන හත රූපවාහිනියේ ප්‍රකාශ කළ බැවිනි. එකල එම වචන එක්සත් ජනපදයේ ප්‍රසිද්ධ ගුවන් තරංගවල විකාශනය කිරීම ඉතා නුසුදුසු ලෙස සැලකු අතර ඒවා භාවිත කරන ලද්දේ දුර්ලභ අවස්ථාවන් තුළ බීප් නාදය යොදමිනි. එදා සිට අද දක්වාද කාර්ලින්ගේ බොහෝ වචන රූපවාහිනිය සහ ගුවන් විදුලිය තුළ තහනම් වචන ලෙස පවතී. ඔහුගේ මෙම අපිරිසිදු වචන හත 1978 වර්ෂයේ එක්සත් ජනපද ශේෂ්ඨාධිකරණය වෙත පැමිණි ගුවන් විදුලි වාරණ නඩුවක කොටසක් බවට ද පත් විය.

seven dirty words තුළ සැබවින්ම ඔහු සිදුකර ඇත්තේ එම අසභ්‍ය යැයි ලේබල් කර තිබූ වචන උපහාසාත්මක ලෙස විශ්ලේෂණය කිරීම පමණි. පසු කාලයේ 1978 නඩුව ද ශේෂ්ඨාධිකරණය මගින් සමතයකට පත් කරන ලදී.

seven dirty words 

" එය මේස පිහියක් පමණි, නමුත් ඔබට මේස පිහියකින් ගුවන් නියමුවෙකු මරා දැමිය හැකිය " (ජෝර්ජ් කාර්ලින්)

තරුණ වියේදී ඔහු සිය හාස්‍ය නිර්මාණ අඩංගු කරමින් ග්‍රන්ථ ප්‍රකාශනය කිරීමට උත්සුක වූ අතර ඔහුගේ පළමු කෘතිය 1984 දී ප්‍රකශයට පත් කළ අතර එහි නම දුටු විගසම ඔබට එය සොයා කියවීම තරම් ආශාවක් පැනනැගෙනු නොඅනුමානය. එහි නම වූයේ "සමහරවිට කුඩා මොළයට හානි කළ හැකිය" පසුව කාර්ලින් විසින් දේශපාලනය සහ ආගමික පදනම් විවේචනය කළ ග්‍රන්ථ ප්‍රකාශයට පත්කළ අතර නමුත් ඔහුගේ black comedy නැතිනම් කළු හාස්‍ය ඔහුට වඩාත්ම සමීප රසිකයන් අතර පවා අතෘප්තියක් ඇති කල බව විචාරකයින්ගේ අදහසයි. (black comedy ඇතුළු ප්‍රහසන වර්ග පිළිබඳව මීට පෙර ලිපියෙන් ඔබ වෙත කරුණු ගෙන එන ලදී) ආගම පිළිබඳ කළු හාස්‍යයට සහ ඉංග්‍රීසි භාෂාව පිළිබඳව ප්‍රවීණ දැනුමට සහ භාවිතයට ද ජෝර්ජ් කාර්ලින් වඩාත් ප්‍රසිද්ධය.

රංගන ශිල්පියෙකු වශයෙන් ද ඔහු ප්‍රසිද්ධියට පත් වූ අතර මුල් කාලයේ ඔහුට සුළු සුළු චරිත ලැබුණ ද 1991 දී, ද "ඉන්ක්‍රෙඩිබල් ඇඩ්වෙන්චර්ස් ඔෆ් බිල් සහ ටෙඩී"යන චිත්‍ර පටයේ ප්‍රධාන චරිතයක් රඟ දක්වන ලදී. නළුවකු ලෙස රැඟුම් ඉදිරිපත් කිරීමේදී ද ඔහුටම ආවේණික හාස්‍ය පෞරුෂකින් සිය රැඟුම් ඉදිරිපත් කිරීමට ද ජෝජ් සූක්ෂම වී ඇත.

ග්‍රැමී සම්මාන කිහිපයක්, මාර්ක් ට්වේන් සම්මානය, චිත්‍රපට 16 ක පමණ රංගනයේ දායකත්වය, පොත් කිහිපයක පමණ කතුවර අයිතිය මොහුට හිමිය. 1973 දී ජෝජ් කාර්ලින් හොඳම ප්‍රහසන ඇල්බමය සඳහා ඔහුගේ ප්‍රථම ග්‍රැමී සම්මානය දිනාගන්නා ලදී. ඉන් පසුව ඔහුට තවත් ග්‍රැමී සම්මාන කිහිපයක් පිරි නමන ලදී. (ග්‍රැමී සම්මානය යනු ඇමෙරිකාවේ ජාතික පටිගත කිරීමේ සහ කලා විද්‍යා ඇකඩමිය විසින් සෑම වසරකම පිරිනමන සම්මානයකි. මෙය සාමන්‍යයෙන් හඳුන්වන්නේ සංගීත ක්ෂේත්‍රයේ සම්මානයක් වශයෙනි.  කාර්ලින් ග්‍රැමී සම්මාන 5 ක් දිනා ඇති අතර 17 කට නිර්දේශ වී ඇත.)

ග්‍රැමී සම්මානය

" විශාල කණ්ඩායම්වල සිටින මෝඩ මිනිසුන්ගේ බලය කිසි විටෙකත් අවතක්සේරු නොකරන්න" ( ජෝර්ජ් කාර්ලින් )

ග්‍රැමී සම්මානය හිමි වූ කෘතියක්

2004 දී ඇමෙරිකාවේ මෑන් හැටන්හී පිහිටි වැසිහිටියන් සඳහා වූ කේබල් TV ජාලයේ Comedy Central විසින් ලෝකයේ සියලු කාලයේදීම ලෝකයේ විශිෂ්ඨ නැගී සිටීමේ ප්‍රහසන ශිල්පීන් සිය දෙනා අතර ජෝජ් කාර්ලින්ට දෙවන ස්ථානය හිමි කර දී ඇති අතර එහි පළමු ස්ථානය හිමිව ඇත්තේ Richard Pryor හටය. කාර්ලින්ගේ මරණින් පසුව ඔහුගේ චරිතාපදානය නිකුත් කළ අතර එය අන්තිම වචන හත ලෙස නම්කරන ලදී.  කතා කිරීමේ නිදහසේ නිම් වලලු පුළුල් කරණුයේ සැබවින්ම නැගී සිටීමේ ප්‍රහසන ශිල්පීන් වන අතර  එම කාර්යයෙහි සක්‍රීය භූමිකාවක් රඟ දැක් වූ සහ නැගී සිටීමේ ප්‍රහසන ශිල්පීන් රැසකට පෙරගමන්කරුවා වූ  කාර්ලින්ගේ අදහසක් අවසානයේදී මෙහි උපුටා දැක්වීම වටී යැයි සිතමි. සමහරවිට එය ඔබගේ ජීවිතයට ඉතා වැදගත්වන්නට ඉඩ ඇති අතර එය පිළි ගැනීම හෝ පිළි නොගැනීම තම තම නැණ පමණ අනුව තීරණය වන්නකි. එය ඔබට බාර කරමි.

" පාසලේදී ඔවුන් ඔබට උගන්වන සියළුම ගොන් කතා කපා දැමූ පසු ජීවිතය ඇත්තෙන්ම සරල වේ "

Stand-up-comedy පිළිබඳව පෙර ලිපි:

නැගී සිටීමේ ප්‍රහසන කලාව ( stand - up comedy )

‌‌

Latest