දූෂණ චෝදනා එල්ල වී ඇති තමිල්නාඩුවේ අමාත්‍ය මණ්ඩලයෙහි කාර්යභාරයක් නොමැති ඇමති ලෙස කටයුතු කළ සෙන්තිල් බාලාජි එම ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳ ආණ්ඩුකාර ආර්. එන්. රවී සහ මහ ඇමති එම්. කේ. ස්ටාලින් අතර මතභේදයක් ඇතිව තිබේ.
සෙන්තිල් බාලාජි ඇමති ධුරයෙන් ඉවත් කරනු ලබන බව ආණ්ඩුකාරවරයා ජූනි 29 වනදා නිවේදනය කළේ ය. එහෙත් ආණ්ඩුකාරවරයකුට ස්වකීය අභිමතය පරිදි අමාත්‍යවරුන් ඉවත් කිරීමට හෝ පත්කිරීමට හෝ හැකියාවක් නොමැති බව සාමාන්‍ය නෛතික පිළිගැනීම ය. ආණ්ඩුකාරවයා මධ්‍යම ආණ්ඩුව විසින් පත් කෙරෙන අයකු වන අතර මහජන ඡන්දයෙන් තේරී පත්වන මහ ඇමතිවරයා විසින් නිර්දේශ කෙරෙන අමාත්‍ය මණ්ඩලය ඔහු විසින් පත් කිරීම සිදුවේ.
මුදල් විශුද්ධිකරණය සහ මූල්‍ය වංචා පිළිබඳ චෝදනා මත ජූනි 14 වනදා බාලාජි මධ්‍යම ආණ්ඩුවෙහි පාලනය යටතේ පවතින මූල්‍ය වංචා පිළිබඳ නීතිය ක්‍රියාවට නැගීමේ ආයතනය (Enforcement Directorate) විසින් අත්අඩංගුවට අත් අඩංගුවට ගන්නා ලද නමුත් ඔහුව දිගටම අමාත්‍ය මණ්ඩලයෙහි තබාගැනීමට ස්ටාලින් කටයුතු කළේ ය. කෙසේ වෙතත් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේ දූෂණ වැළෙක්වීමේ පනත සහ දණ්ඩ නීති සංග්‍රහය උල්ලංඝණය කිරීමේ ඇතැම් චෝදනා පිළිබඳ පරීක්ෂණ පවත්වන්නේ ප්‍රාන්ත පොලිසිය බැවින්, බාලාජි සිය අමාත්‍ය ධුරය උපයෝගී කරගෙන එම චෝදනා පිළිබඳ පරීක්ෂණයන්ට බලපෑම් කිරීමට ඉඩ ඇති බවයි. එහෙයින් ඔහු අමාත්‍ය ධුරයෙහි රැඳී සිටීම මගින් නිසි නෛතික පටිපාටිය ක්‍රියාවට නැගීම සිදු නොවීමට ඉඩ තිබෙන බවත් එමගින් ප්‍රාන්තයේ ව්‍යවස්ථානුකූල පාලනය අවුල් විය හැකි බවත් ආර්. එන්. රවී තවදුරටත් කියා සිටියේ ය.

නමුත් මහ ඇමතිවරයා මෙම ක්‍රියාව පිළිබඳ සිය අදහස් දක්වමින් සඳහන් කළේ ආණ්ඩුකාරවරයා සිය බලය අතික්‍රමණය කර ඇති බවත් තමන් ඊට එරෙහිව නෛතික මාර්ගයෙන් කටයුතු කරන බවත් ය.
ස්ටාලින්ගේ විරෝධයෙන් අනතුරුව ආණ්ඩුකාරවරයා සිය නියෝගය තාවකාලිකව අත් හිටවූ බවත් ඒ පිළිබඳ නෛතික මතය විමසීමට කටයුතු කරන බව සඳහන් කර ඇති බවත් ජූනි 30 වනදා උදෑසන ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියේ ය.
වර්තමාන තමිල්නාඩු ආණ්ඩුකාරවරයා සහ ප්‍රාන්ත ආණ්ඩුව අතර ගැටුම් ඇතිවීම අලුත් අත්දැකීමක් නොවේ. මෙම වසර මුලදී, තමිල්නාඩු ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රාන්ත සභාව හමුවේ කියවීම සිදුවූ අවස්ථාවේදී ද දෙපාර්ශවය අතර බරපතල ගැටුමක් හටගත්තේ ය. ඊට හේතු වූයේ එම ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි සඳහන් වූ කරුණු කිහිපයක්, තමන්ට ලබාදුන් කතාවෙන් වෙනස් ආකාරයකින් ආණ්ඩුකාරවරයා විසින් කියවනු ලැබීම ය.

2022 ඔක්තෝබරයේදී යාබද කේරළ ප්‍රාන්තයේ ආණ්ඩුකාර අරීෆ් මොහොමඩ් ඛාන් එහි ප්‍රාන්ත ආණ්ඩුව සමග තමිල්නාඩු ආණ්ඩුකාරවරයා මෙවර ඇතිකරගත් ගැටුමට තරමක් සමාන ගැටුමක් ඇතිකර ගත්තේ ය. ප්‍රාන්ත මුදල් ඇමති කේ. එන් බාලගෝපාල් අමාත්‍ය මණ්ඩලයෙහි සේවය කිරීම පිළිබඳ තමා තවදුරටත් සතුටට පත් නොවන බව අරීෆ් මොහොමඩ් ඛාන් මහ ඇමති පිනරායි විජයන් වෙත දන්වා යැවීය. ඔහු එමගින් අදහස් කළේ බාලගෝපාල් ධුරයෙන් ඉවත් කළ යුතු බව ය. කෙසේ වෙතත්, ආණ්ඩුකාරවරයාට ඔහුගේ නොසතුට දැක්විය හැකි නමුත්, බාලගෝපාල්ව ම නැවත එම ධුරයට පත් කළ ද එයට එරෙහි වීමේ ව්‍යවස්ථානුකූල අයිතියක් නොවන බව නීති විශාරදයෝ මත පළ කළ හ. මහ ඇමති විජයන්, අමාත්‍ය මණ්ඩලය පත්කිරීම සඳහා තමාට ඇති ව්‍යවස්ථානුකූල බලය පෙන්වා දෙමින් ආණ්ඩුකාරවරයාගේ මතය නොසළකා හැරියේ ය.
මධ්‍යම ආණ්ඩුව විසින් පත් කරනු ලබන ආණ්ඩුකාරවරුන් පාලක භාරතීය ජනතා පක්ෂයට විරුද්ධ දේශපාලන පක්ෂවල පාලනය යටතේ පවතින ප්‍රාන්ත ආණ්ඩු සමග ගැටුම් ඇතිකරගැනීම පසුගිය සමයෙහි ඉන්දීය දේශපාලනය තුළ නිතර සිදුවූවකි. දේශපාලන විශ්ලේෂකයන් සමහරෙක්ගේ මතය වන්නේ භාරතීය ජනතා පක්ෂය ආණ්ඩුකාරවරුන් යොදාගෙන එම ප්‍රාන්ත ආණ්ඩු අපහසුතාවයට පත්කිරීමේ උත්සාහයක නිරත වන බව ය.