Skip to content

හිස ඔසවන සංචාරක කර්මාන්තය

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය මෙම වසරේ වර්ධනයක් පෙන්නුම් කිරීම පිළිබඳව බොහෝ පිරිස් අදහස් දක්වන නමුත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත පිරික්සීමේදී හඳුනාගත හැක්කේ සංචාරක කර්මාන්තය පසුගිය වසර කිහිපයට සාපේක්ෂව මෙම වසරේ වර්ධනයක් පෙන්නුම් කළද සැබවින්ම සිදුව ඇත්තේ යතා තත්වයට පත්වෙමින් පැවතීමක් බවය.  Covid - 19 වසංගත කාල සීමාව තුළ සහ ඉන් පසු රටෙහි පැවති අර්බුදකාරී වාතාවරණය තුළ සංචාරක කර්මාන්තයේ පසු බෑමක් පෙන්නුම් කළ අතර මේ වන විට කෝවිඩ් වසංගතයට පෙර රටෙහි සාමාන්‍ය වාතාවරණ තුළ පැවති සංචාරක කර්මාන්තයේ තත්වයට පත්වෙමින් පවතින බව හඳුනාගත හැකිය.

2022 වසරේ ජනවාරි මස සිට අප්‍රේල් මස දක්වා සංචාරකයින් 348,314 ක් මෙරටට පැමිණ ඇති අතර 2023 ජනවාරි මස සිට අප්‍රේල් මස දක්වා මෙරටට සංචාරකයින්ගේ පැමිණීම 441,177 කි. ඒ අනුව ගිය වසරට සාපේක්ෂව මෙම වසරේ ගත වූ මාස හතර තුළ සංචාරකයින්ගේ වැඩිවීම 92863 කි. විශේෂත්වය වන්නේ වසරේ මුල් මාස හතර තුළ 2022 වසරෙහි සහ 2023 යන දෙවර්ෂයෙහිම සංචාරකයින්ගේ වැඩිම පැමිණීම මාර්තු මස වාර්තා වීමය. එනම් 2022 වසරේ මාර්තු මස සංචාරයින්ගේ පැමිණීම 106,500 ක් වන අතර 2023 වසරේ මාර්තු මස සංචාරකයින්ගේ පැමිණීම 125,495 කි. පවතින තවත් විශේෂත්වයක් වන්නේ වසර දෙකෙහිම සංචාරකයින් අතරින් ඉන්දියාව සහ රුසියාව පෙරමුණ ගැනීමය.

ගත වූ ආසන්න වසර දෙක තුළ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ පවතිනුයේ මෙවැනි තත්වයක් වන අතර ඉන් පෙර වර්ෂයන් සමඟ මෙය සංසංදනය කර බලන්නේ නම්  2021 වසරේ මුල් මාස හතර තුළ සංචාරකයින්ගේ පැමිණීම 13,797 කි. 2020 වර්ෂයේ මුල් මාස හතර තුළ 507,311 කි. 2019 මුල් මාස හතර තුළ 907,575 කි. 2018 මුල් මාස හතර තුළ සංචාරකයින්ගේ පැමිණීම 888,353 කි.

විශේෂයෙන් 2018, 2019 යන වර්ෂ තුළදී පැවති තත්වය හා සංසංදනය කර බලනවිට 2023 අපට දැකගත හැකි වන්නේ සංචාරක කර්මාන්තයේ පසු බෑමක් වන අතර සාමාන්‍යයෙන් 50% ක පසු බෑමක් පෙන්නුම් කරයි. නමුත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත මඟින් පෙන්නුම් කරණුයේ ඉන් පසුව රටේ පැවති අරබුදකාරී වාතාවරණයෙන් පසුව සංචාරක කර්මාන්තය හිස ඔසවමින් සිටින බව සහ යතා තත්වයට පත්වීමට තව බොහෝ කලක් ගතවනු ඇති බවය.

Latest