Skip to content

සිංහයින් ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගනී

ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ super six වටයේ ඉතා තීරණාත්මක තරඟයක් බුලවායෝහී queens sport club ක්‍රීඩාංගනයේදී  මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලානයට සුදුසුකම් ලබා දෙමිනි.

තරඟාවලියේ ඉතා සුවිශේෂී තරඟයක් වූ ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති මෙම තරඟය කෙරෙහි ක්‍රීඩා ලෝලීන් සියල්ල සිය අවධානය යොමු කරන්නට විය. එයට හේතුව වූයේ කණ්ඩායම් දෙකම තරඟාවලියේ ප්‍රභලම කණ්ඩායම් දෙක වීමත්, සිය අපරාජිතබව තව දුරටත් තහවුරු කර ගැනීමට මෙම තරඟය ජයග්‍රහණය කළ යුතු වීමත් සහ විශේෂයෙන් තරඟය ජය ගන්නා කණ්ඩායම ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමත් යන හේතු සාධක නිසාය.

ඒ අනුව මෙම සියළු බලාපොරොත්තු ඉටු කර ගැනීම සඳහා කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානකගේ ඇරයුමින් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 32 යි පන්දු 2 ක දී සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 165 ක් වැනි ඉතාමත් අඩු ලකුණු සංක්‍යාවකි. විශේෂත්වය වූයේ තරඟාවලිය පුරාවටම මෙතෙක් එකදු කණ්ඩායමකට හෝ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ලකුණු 200 සීමාව පසු කිරීමට නොහැකි වීමය.

එහිදී තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා වන සිම්බාබ්වේ කණ්ඩායමේ ශෝන් විලියම්ස් ලකුණු 56 කින් ද, සිකන්දර් රාසා ලකුණු 31 න් ද සිම්බාබ්වේ ඉනිම ශක්තිමත් කරන ලදී. ඔවුන් දෙදෙනාගේ සම්බන්ධතාවය නොවන්නට සිම්බාබ්වේ කණ්ඩායම මෙයට වඩා ඉතාමත් අඩු ලකුණු සංක්‍යාවකට දැවී යන්නට ද ඉඩ තිබුණි.

තරඟයට පෙර මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ මහීෂ් තීක්ෂණ ප්‍රකාශ කර සිටියේ අප සුදුසුකම් ලැබීමේ තරඟ ක්‍රීඩා කළ යුතු නැති කණ්ඩායමක්ය  යන්න පෙන්වන බවය. ඔහුගේ එම ප්‍රකාශයට සියළු සාධාරණයන් එක් කරමින් මහීෂ් තීක්ෂණ ලකුණු 25 කට කඩුළු හතරක් ද, තරඟයේ ආරම්භයේදීම සිම්බාබ්වේ කණ්ඩායම සුණු විසුණු කළ දිල්ෂාන් මධුශංක ලකුණු 15 කට කඩුළු 3 ක් ද බිඳ හෙලන්නට විය.

පහසු ඉල්ලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 103 ක ඉතා හොඳ ආරම්භක සම්බන්ධතාවයක් සමඟින් ඉතාමත් පහසුවෙන් තරඟය ජයග්‍රහණය කරන්නට වූයේ පන්දුවාර 33 යි පන්දු 1 ක දී කඩුළු 1 ක් පමණක් දැවී ලකුණු 169 ක් ලබා ගනිමින් ජයග්‍රාහී ඉලක්කය පසුකර යෑමෙනි. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිමුත් කරුණාරත්න ලකුණු 30 ක් ද, පැතුම් නිශ්ශංක අගනා ශතයක් ද, කුසල් මෙන්ඩිස් ලකුණු 25 ක් ද ලබා ගන්නා ලදී.

ඒ අනුව මේ වන විට ප්‍රසාද ලකුණු 8 ක් සහ ඉහළ දළ ලකුණු වේගයක් ද සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායම අපරාජිතව ඉන්දියාවේ පැවැත්වෙන 2023 ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබාගෙන අවසන් ය.

Latest