Skip to content

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට තරඟාවලි ජයක් - වාර්තා ගත පිතිකරණ සම්බන්ධ තාවයක්

ICC/Getty Images 

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී  අද (ජූලි 03) පැවති තුන්වන සහ අවසාන  එක්දින ක්‍රිකට් තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 8ක් අතැතිව ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්විය.

තරඟ එක බැගින් ජයගෙන සිටි දෙපිළටම අද තරඟය ඉතාමත් තීරණාත්මක තරඟයක් විය. එහෙයි සිය උපරිම දක්ෂතා දක්වමින් කණ්ඩායම් දෙකම අද තරඟයට ක්‍රීඩා කලේය. එහෙත් අවසානයේ  මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත - ශ්‍රී ලංකා (කාන්තා) එක්දින තරගාවලියේ සිය ජයග්‍රහණය තහවුරු කරගත්තේය.

පිටියේ  ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 31කදී කඩුලු 2ක් දැවී ලකුණු 127ක් රැස්කර සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවිය. එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ Suzie Bates නොදැවී ලකුණු 63ක් රැස්කළේය.

ඒ අනුව  තරගය ජයග්‍රහණය සඳහා ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 29කදී ලකුණු 196ක ඉලක්කයක් හිමිවිය.

ජයග්‍රාහී ඉලක්ක සපුරා ගැනීමට  පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සිය ඉලක්කය පන්දුවාර 26යි පන්දු 5කදී කඩුලු 2ක් පමණක් දැවී  රැස්කර ගැනීමට සමත්විය.

එහිදී ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායක චමරි අතපත්තු නොදැවී ලකුණු 140ක් රැස්කළේය. ඇයගේ ඉනිම සඳහා හයේ පහර 9ක් සහ හතරේ පහර 13ක් ඇතුළත් විය. ඇයට මනා සහයක් ලබා දුන් නිලක්ෂී ද සිල්වා නොදැවී ලකුණු 48ක් රැස් කලේය.

ඔවුන් දෙදෙනා අතර තුන්වන කඩුල්ල සඳහා පැවති ලකුණු 190ක සම්භන්ධතාවය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ හොඳම පිතිකරු සම්භන්ධතාවය ද වෙයි.

මෙහිදී තරඟයේ වීරයා මෙන්ම තරඟාවලියේ වීරයා සම්මානයද චමරී අතපත්තු විසින් දිනා ගත්තේය.

Latest