2021 වසරේ දී කටුනායක සහ නව කැළණි පාලම ජනතා අයිතියට පත්කිරීමෙන් පසු එහි ඉලෙට්‍රික් කේබල්, පැනල් බෝඩි, ඇණ, ඩවුන් පයිප්ප සහ CCTV ගලවාගෙන ගොස් ඇති අතර ඒවායේ වටිනාකම රු. මිලියන 275 ක් පමණ වන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්.වී.එස්.වීරකෝන් මහතා (14) මාධ්‍ය වෙත කරුණු දක්වමින් පැවසුවේය.
කටුනායක අධිවේගී මාර්ගය පමණක් රු.මිලියන 250 ක තඹ කපා ඇති බවයි වීරකෝන් මහතා සඳහන් කළේ.
මෙලෙස දේපළ සොර ගැනීම නිසා අධිවේගී මාර්ගයේ විදුලි සැපයුමට පවා බාධා එල්ල වී තිබෙන බව ඔහු සඳහන් කළේය.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් විසින් මෙලෙස දේපළ සොරාගෙන ඇති බවත් මේ වන විට එම අධිවේගී මාර්ග වෙත පොලිස් ආරක්ෂාව යෙදවීමට කටයුතු කළ බවත් වීරකෝන් මහතා කියාසිටියේය.
ඒ අනුව කැලණි පාලන යට නව පොලිස් මුරපොලක්ද ආරම්භ කිරීමට කටයුතු කර තිබේ.
එයින් තත්ත්වය යම් පාලනයකට නතුකර ගැනීමට හැකිව තිබෙන නමුත් එම අධිවේගී මාර්ග විශේෂ ආරක්ෂක කලාපයක් ලෙස නම් කරන ලෙස ජනාධිපතිවරයාවද දැනුවත් කර ඇති බව වීරකෝන් මහතා ප්‍රකාශ කළේය.
මේවා ජනතාවගේ දේපළ වන හෙයින් යම්කිසි වැරද්දක් දුටුවහොත් 1996ට හා පොලීසියට දැනුම් දෙන ලෙසයි ඔහු ජනතාවගෙන් ද ඉල්ලා සිටියේ.
තවද ආරක්ෂක අමාත්‍යාංශය මගින් විශේෂ ආරක්ෂාවක් ලබා ගැනීමට ද නියමිතයි.
උක්ත සිදුවීම්වලට අදාළව මේ වන විට පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර රු. මිලියන 4.4 වටිනා භාණ්ඩ තොගයක්ද පොලිස් භාරයට ගෙන තිබෙන බව වීරකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදී.