මෙරට අතින් ක්‍රියාත්මක කරන එකම සෝපානය වශයෙන් සැලකෙන මහනුවර ජාතික රෝහලේ භික්ෂු වාට්ටුවේ ඇති ඉපැරණි සෝපානය ක්‍රියාත්මක කිරීම සඳහා භාවිතා කරන විශේෂ කඹය දිරාපත් වීම හේතුවෙන් එම සෝපානය වසරක පමණ කාලයක් අක්‍රීයව පවතින බව මාධ්‍ය මගින් හෙළි කිරීම මත මල්වතු මහා නා හිමියන්ගේ මැදිහත්වී මෙන් ඒ සඳහා අවශ්‍ය කඹය ලබාදීමට පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි පියවර ගෙන තිබේ.
සුදු ජාතිකයන් විසින් මෙරට පාලනය කරන අවධියේ හන්තාන තේ වතු සමාගමට අයත් භූමියක මෙම භික්ෂු වාට්ටු ගොඩනැගිල්ල ස්ථාපිත කොට ඇති අතර මෙම සෝපානය වසර සියයකට ආසන්න පැරණි එකක් බව සඳහන් වේ.
එම සෝපානය විදුලි භාවිතයකින් තොරව කඹයක ආධාරයෙන් රෝහල් කාර්යමණ්ඩලය විසින් ක්‍රියාත්මක කළ අතර මේ වන විට එම කඹය දිරායාම හා මීයන් කෑම හේතුවෙන් සෝපානයේ ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්ත්වයක පවතී.

මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මහනුවර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා එම ස්ථානයට ගිය අතර ස්ථාන පරීක්ෂාවෙන් අනතුරුව මන්ත්‍රීවරයා කියා සිටියේ මෙම සෝපානය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කඹය නාවික හමුදාවෙන් ලබා ගැනීම සඳහා ඉල්ලීමක් කරන බවත් එසේ නොමැති වුවහොත් විදේශ රටකින් හෝ ලබා ගැනීමට පියවර ගන්නා බවදය.
මෙම පුවත මාධ්‍යයෙන් දුටු මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියෝද එම කඹය ලබාදීම සම්බන්ධයෙන් උනන්දුවක් දැක් වූ අතර මහා නාහිමියන්ගේ මැදිහත්වීම මත එම කඹය ලබාගැනීම සඳහා අවශ්‍ය වූ මුළු මුදල වූ රුපියල් එක් ලක්ෂ හැත්තෑ එක් දහසක මුදල ලබාදීමට පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන පියවර ගත්හ.
මල්වතු මහා විහාරයේදී එම මුදල සහිත චෙක් පත මහනුවර ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉනෝකා වීරසිංහ මහත්මිය වෙත ලබාදීමට සීලරතන හිමියෝ පියවර ගත් අතර එම අවස්ථාවට රෝහල් සංවර්ධන කමිටු විධායක සභික දීඝායු අබේනායක මහතා ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.
