පෘථිවියේ දේශගුණික විපර්යාසයන්ට අනුවර්තනය වීම ඉලක්ක කරගනිමින් විද්‍යාඥයින් විසින් අභ්‍යවකාශයේ බීජ වගා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. ශාක ස්වභාවිකවම අභියෝගාත්මක පරිසරයන් තුළ වැඩීම සදහා අනුවර්තනය වේ. ඒ සම්බන්ධ වඩා හොඳ නිදසුනක් මා මීට පෙර ඉදිරිපත් කළ අටකාමා කාන්තාරයට අදාළව කලකට වරක් මලින් පිරී යාමේ ස්වභාවික සංසිද්ධියට සබැඳි ලිපියේ දක්වා ඇත.

ස්වභාවිකව විකෘති නව ගති ලක්ෂණ ඇති කිරීමේ අරමුණින්; උදාහරණ වශයෙන් නියඟයන් වැනි තත්වයන් ට ඔරොත්තු දීම, රෝග කාරකයන්ට ප්‍රතිරෝධය දැක්වීම වැනි ලක්‍ෂණ ශාක තුළම ගොඩනැංවීම හරහා ඒවායේ වර්ධනයට උපකාරී කර ගැනීම විද්‍යාඥයින් ගේ අරමුණයි.
පෘථිවි දේශගුණය, ශාක ස්වභාවිකව ඒ සඳහා අනුවර්තනය වීමට ගන්නා කාලයට වඩා වේගයෙන් වෙනස් වෙමින් පවතින බව මේ වන විට පෙනී යන කරුණකි. එහි මූලික අදහස වශයෙන් ගතහොත් විද්‍යාඥයින් විසින් පෙන්වා දෙන්නේ ආහාර සඳහා මිනිසා යැපෙන බොහෝ ශාක මේ වන විට තර්ජනයට ලක්ව ඇති බවයි.
වෙනස්වන දේශගුණික තත්ත්වයන්ගේ බලපෑම්වලට කෘෂිකර්මාන්තය අතිශයින් අවදානමට ලක්වන අතර උෂ්ණත්වය, වර්ෂාපතන රටා වැනි සාධක හමුවේ ඵලදාව ලබන කාල සීමාවේ වෙනස්වීම් හි සිට එය ශුන්‍ය වීම දක්වා වන තත්වයන්ට වුවද ලක්විය හැක. මෙකී හේතූන් හමුවේ විද්‍යාඥයින් විසඳුම් සඳහා අභ්‍යවකාශ බීජ වගා ව්‍යාපෘති වෙතට යොමු වෙමින් පවතී.
2022 දී, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) ඒකාබද්ධව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (ISS) වෙත බීජ යොමු කරන ලදී. එහි පරමාර්ථය වූයේ විකිරණ තත්ත්වයනට සහ ගුරුත්වාකර්ෂණයෙන් තොර පරිසරයට බීජ නිරාවරණය කිරීමය. එය උග්‍රවන දේශගුණික අර්බුදය හමුවේ එකී තත්වයන්ට ඔරොත්තු දෙමින් බීජ ප්‍රතිස්ථාපනය සඳහා ගනු ලැබූ වෑයමකි.
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුල මාස කිහිපයක් තබා ගැනීමෙන් පසු විශ්ලේෂණය සඳහා මෙම බීජ අප්‍රේල් මාසයේදී නැවත පෘථිවියට ගෙනවිත් තිබේ. මේ වන විට එම විකෘති බීජ වල හිතකර ගති ලක්ෂණ හඳුනා ගැනීමට පිරික්සීම ආරම්භ වී තිබේ. ශාක අභිජනනය සහ ජාන විද්‍යාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධාන ප්‍රධානී Shoba Sivasankar මහත්මිය සඳහන් කර සිටින්නේ ගැමා කිරණ සහ X-කිරණ භාවිතයෙන් පෘථිවිය මත ශාක විකෘති කෘතිමව ඇති කිරීමට විද්‍යාඥයින්ට හැකියාව පවතින බවයි. කෙසේ වෙතත් එය වෙනස් වන්නේ අභ්‍යවකාශ පරිසරය ලබා දෙන පුළුල් විකිරණ, අවම ගුරුත්වය සහ උෂ්ණත්ව උච්චාවචනයන් වැනි අතිරේක අන්තයන් හේතුවෙන් ය.
විකෘති බීජ වලින් වගා කරන ලද පැල තෝරා බේරා බෝ කිරීම මගින් සිවසංකර් සහ ඇයගේ කණ්ඩායම නව බෝග වර්ග නිර්මාණය කිරීමට ද බලාපොරොත්තු වේ.
"පළමුව, අපි ධාන්‍ය සහ අල වැනි භෝග වල අස්වැන්න සහ ඵලදායිතාව වැඩි දියුණු කිරීමට කටයුතු කරමින් සිටින්නෙමු" යි ඇය සිය අදහස් ප්‍රකාශ කළාය. රෝග වැඩිවීමට ප්‍රතිරෝධය, නියඟය හෝ අධික තාපය වැනි දේශගුණික සංසිද්ධිවලට ඔරොත්තු දීම සහ ලුණු ජලය ඇතුල්වීම හෝ වාෂ්පීකරණය හේතුවෙන් පසෙහි ලවණතාව වැඩි වීමට ඔරොත්තු දීම සදහා මෙම ශාක අනුවර්තනයට ලක් කිරීම ඔවුන් ගේ මෙම පරීක්‍ෂණ වල උත්සාහය වී තිබේ.
“තාක්‍ෂණය ඉදිරියට එන නිසා ආහාර සුරක්ෂිතතාවයේ අනාගතය ගැන මට බලාපොරොත්තුවක් දැනෙනවා,” ඇය පවසයි. "නමුත් ආහාර සුරක්‍ෂිතතාවය ජාන විද්‍යාව පමණක් නොවේ. අපට සියලු තාක්‍ෂණයන්ගේ එකතුවක් අවශ්‍ය වන අතර, සෑම කෙනෙකුම එකට එකතු වී එක්ව වැඩ කළ යුතුයි." යනුවෙන් විදෙස් මාධ්‍ය වෙත ඇය සිය අදහස් වැඩිදුරටත් එකතු කළාය.