Skip to content

සොක්‍රටීස් කියා දුන් සාර්ථකත්වයේ මඟ

ක්‍රි.පූ. 470 සිට 399 දක්වා ග්‍රීසියේ ඇතෑන්ස් නුවර වාසය කරන ලද ප්ලේටෝගේ ගුරුවරයා ලෙස අප වඩාත් හොඳින් හඳුන්වන ඒ මහා දාර්ශනිකයා වූයේ සොක්‍රටීස් ය. අත්දැකීමෙන් ලබා ගන්නා දැනුමට වඩා සිත යොමු කිරීමෙන්  ලෝකයෙ තේරුම්ගත හැකිය යන බුද්ධිවාදය ගුරුකොටගත් සොක්‍රටීස් මිනිසා සහ මිනිස් සමාජය පිළිබඳව සත්‍ය ගවේෂණය කිරීමට යෑමේදී තමා කිසිවක් නොදන්නා පුද්ගලයකුය ‍යන මූලික පදනමේ සිට ක්‍රියා කිරීම ඔහුගෙන් ගත හැකි පළමු ආදර්ශය බැවින් එයද මෙහි සටහන්කොට තැබීම වටී යැයි සිතමි. කෙසේ නමුත් නව දෙවිවරුන් හඳුන්වා දීම, පිළිගත් දෙවිවරු ඇදහීම වැළැක්වීම ආදී නොයෙකුත් චෝදනා ගොනු කරමින් පන්සීයක් වූ ජූරි සභාවක් මඟින් මරණ දණ්ඩනය නියම කරන ලද සහ තම මතය වෙනුවෙන් තමා විසින්ම වස පානය කර මියගිය මේ මහා දාර්ශනිකයා හමු වීමට එක් දිනක් තරුණයකු පැමිණෙන්නේ සැබවින්ම ජීවිතයේ සාර්ථකත්වය ළඟා කර ගැනීමට අවශ්‍ය මග සහ ඒ සම්බන්ධයෙන් ඔවදන් ලබා ගැනීමටය.

සොක්‍රටීස් යනු එකල ග්‍රීසියේ විසූ මහා දාර්ශනිකයා බැවින් ඔහු මුණ ගැසීමට දහසකුත් ජනයා පැමිණෙන හෙයින් මෙම සාමාන්‍ය දුගී තරුණයා හට ඉතා පහසුවෙන් සොක්‍රටීස්ව මුණ ගැසීමට අවස්ථාවක් නැත. මන්ද රජවරුන් ඇතුළු දහසකුත් ජනී ජනයා හට අවවාද අනුශාසනා කරණුයේ සොක්‍රටීස් බැවිනි. නමුත් ජීවිතයේ අත් විඳිය හැකි සියළුම දුක් දොම්නස් අත් විඳිමින් සිටි ඔහුට අවශ්‍ය වූයේ ජීවිතයේ සාර්ථකත්වය ළඟා කර ගනිමින් සිය දෙමාපියන් ඇතුළු තමන්ගේ සැපත ළඟා කර ගැනීමට බැවින් සොක්‍රටීස් මුණ ගැසීමේ අවශ්‍යතාව කිසි ලෙසකත් ඔහු පැහැර හරින්නට නොවීය. කෙසේ හෝ තමා සොක්‍රටීස්ගේ නෙත ගැටීමට සැළස්විය යුතු යැයි සිතූ තරුණයා කිහිප වරක් එහා මෙහා යන්නට විය. අවසානයේ ඔහු සාර්ථක විය.

දරුවා ඔබගේ අවශ්‍යතාවය කුමක්දැයි ? සොක්‍රටීස් විමසන්නට විය. ගුරුතුමනි ! මා අනේකවිධ දුෂ්කරතාවන්ට මුහුණ පා ඇති හෙයින් ජීවිතයේ සාර්ථකත්වය ළඟා කර ගැනීම මා හට අවශ්‍ය වී ඇත. නමුත් ඒ සඳහා කුමක් කළ යුතුදැයි මා නොදනිමි. එම මාර්ගය මා නොදනිමි. ඔබගෙන් එය දැන ගැනීමට මට අවශ්‍යව ඇත්තෙමි. ඒ සඳහා ඔබගේ අවවාද අනුශාසනා මට අවැසිය. තරුණයාගේ පිළිතුරු විය. හීවිතයේ සාර්ථකත්වය ළඟා කර ගැනීම එතරම් පහසු දෙයක් නොවන බැවින් සහ ඒ සඳහා මඟ පෙන්වීම ද පහසු කටයුත්තක් නොවන බැවින් සොක්‍රටීස්ගේ පිළිතුර වූයේ පසුදා උදෑසන නැවත පැමිණ තමා හමුවන ලෙසය.

සොක්‍රටීස් පැවසූ පරිදි පෙරළා පසු දින ඔහුව මුණ ගැසීමට පැමිණෙන මෙම තරුණයා හට සාර්ථකත්වයේ මාර්ගය කියා දීමට සොක්‍රටීස් කලබල වන්නේ නැත. ඔහු සන්සුන් ය. තරුණයා පිළිබඳව ද කිසිදු තැකීමක් නැත. තමා පසු පස පැමිණෙන ලෙසින් පමණක් අණ කරමින් සොක්‍රටීස් දිගු ගමනක් යෑමට සූදානම් වේ. උද්‍යාන, කඳු හෙල් සහ ඝණ කැලෑ පසු කරමින් සොක්‍රටීස් කිසිවක් නොකියා ගමන් කරයි. ආරම්භයේදීම තමා පිළිබඳව කිසිදු තැකීමක් නොකළ හෙයින් තරුණයා ද නොසන්සුන් ය. ඔහුට කිසිවක් නොතේරේ. සාර්ථකතවයේ මාර්ගය තවදු තමන්ට දැන ගැනීමට අවස්ථාවක් ලැබී නැත. සොක්‍රටීස් පසු පස යෑම අනුවණ ක්‍රියාවක් බව ටිකෙන් ටික වැටහී ගියද තරුණයා ඔහු පසු පස ගමන් කරයි.

අවසානයේ දෙදෙනාම ගං තෙරකට පැමිණේ. සොක්‍රටීස් තවදු කිසිවක් ප්‍රකාශ නොකරයි. උදෑසන අධික සීතල වූව ද සොක්‍රටීස් ගඟ හරහ හෙමිහිට ගමන් කිරීම ආරම්භ කරයි. ඔහු පසු පසවත් බලන්නේ නැත. තරුණයා ද ඔහුට පසු ගමන් යන අතර ටික දුරක් ගිය විට ඔහු වහා නවතී. තරුණයාට තවදු දුර යා නොහැකි අතර මේ වන විට මෙම ගමන ඔහුට නීරස වී ඇත. එපමණක් නොව තව අඩියක් හෝ ඉදිරියට යන්නේ නම් ඔහු දියේ ගිලීමට ද ඉඩ ඇත. ජීවිතයේ සාර්ථකත්වය සොයා පැමිණි ඔහුට ජීවිතය පූජා කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නැති හෙයින් සහ සොක්‍රටීස් තමා හට බොරුවක් කල බව තීරණය කළ ඔහු ආපසු හැරී යාමට සැරසේ. එය දුටු මෙතෙක් වේලා නිහඬව සිටි සොක්‍රටීස් වහා ක්‍රියාත්මක වී තරුණයාගේ උරහිසින් අල්ලා ජලය යට ඔහු ඔබා සිටින්නට විය.

දියේ ගිලී සිටින තරුණයා හට හුස්ම ගැනීමට කිසිදු අවස්ථාවක් නොමැත. සොක්‍රටීස් ද ඔහුට වඩා ඉතා ශක්තිවන්තයෙකි. නමුත් ජීවිතය බේරා ගැනීමටනම් කුමක් හෝ කළ යුතු හෙයින් සිය උපරිම ශක්ති ප්‍රමාණය යොදවමින් සොක්‍රටීස් තල්ලු කරන ලද තරුණයා වේගයෙන් ඉවුර දෙසට දුවන්නට විය. නමුත් නැවතත් සොක්‍රටීස් නිහඬය. සන්සුන් ය. කිසිවක් නොවූ වා සේ ඔහු තරුණයා පසු කරමින් නැවතත් ඉදිරියට ගමන් කරන්නට විය. සිය ඉවසීමේ සීමාව උපරිමයටම පැමිණ සිටි තරුණයා සිය හඬ අවදි කරන්නට වූ අතර ගුරුතුමනි! මා ඉතා දුප්පත් තරුණයෙකි. කිසිදු අස්වැසිල්ලක් නොමැති මා ඔබ ළඟට පැමිණියේ අස්වැසිල්ලක් බලාපොරොත්තුවෙනි. ඔබතුමාත් මා හට මෙසේ කරන්නේ මන්ද ? තරුණයාගේ ඍජු ප්‍රශ්නය එය විය. සිය හඬ අවදි කළ සොක්‍රටීස් පිළිතුර නම් තරුණයා, මා ඔබට කිසිවක් නොකළෙමි. ඔබගේ අවශ්‍යතාවය පරිදි සාර්ථකත්වයේ මග කියාදීමයි මා ඒ කලේ. ඔබගේ ජීවිතයට දිය හැකි වටිනාම ඔවදන මා මේ වන විට ඔබට ලබා දී ඇත.

ඔබ දියේ ගිලී සිටින විටදී ඔබට අවශ්‍ය වූ එකම දෙය වූයේ වාතයයි. ඔබගේ ප්‍රධාන අවශ්‍යතාවය වූයේ එයයි. ඒ වෙනුවෙන් ඔබට වඩා ඉතා ශක්තිවන්තයකු වූ මා තල්ලු කර දැමීමට තරම් බලයක් ඔබට ලැබුණේ කොයින් ද, ඔබ ඒ අවශ්‍යතාවය වෙනුවෙන් ඔබගේ සියළු ශක්තිය යෙදවූයේ කෙසේ ද ? ඔබට අවශ්‍ය කුමක්දැයි ඔබ තීරණය කරන්න. ඔබගේ අවශ්‍යතාව හඳුනාගන්න. ඒ වෙනුවෙන් ඔබට බොහෝ දුරක් යෑමට සිදුවිය හැකි නමුත් මඟ නොනැවතී ඉදිරියටම යන්න. අවශ්‍ය තැනදී ඔබගේ ඕනෑම ඉලක්කයක් වෙනුවෙන් ඔබගේ උපරිම ශක්ති ප්‍රමාණය යොදවන්න. එය සාර්ථකතවයේ මාර්ගයයි.

Latest