Skip to content

සොක්කන් ලොක්කන් වූ වගයි.

මම මේ හෙඩිම ගත්තේ කුමාරි ජයවර්ධන මහත්මියගේ කෘතියක් ඇසුරින්. ඒ ගැන කෙටි විචාරයක් ළගදීම ගෙන එන්නම්. මෙන්න මේ උපුටා ගැනීම විතරක් ගන්නම් ලිපියට මූලාරම්භයක් විදිහට​.

"ලාංකීය ධනේශ්වරයේ නැඟීම සම්බන්ධව ලියවුණු හොඳම පර්යේෂණ ග්‍රන්ථය ලෙස විද්වතුන් ඇතුළු බොහෝදෙනා පිළිගන්නේ කුමාරි ජයවර්ධන ලියූ "Nobodies to somebodies/ සොක්කන් ලොක්කන් වූ වගයි" කෘතියයි. බ්‍රිතාන්‍යය යටත්විජිත පාලනයට යටත්ව තිබූ සමයේ ක්‍රමයෙන් ඉස්මතු ව නිදහස් ලංකා රාජ්‍යය ස්ථාපිත වන විට දේශපාලන සහ වාණිජ බලය තහවුරැ කරගත් ‍දේශිය ධනේශ්වරය පිළිබඳ තුලනාත්මක අධ්‍යයනයකි කුමාරි ජයවර්ධනගේ මෙම කෘතිය."

හරි එහෙමනම් අපි යමු කතාවට​.

ලංකාව නිදහස ලබලා මේ වෙද්දී අවුරුදු කීයක් වෙනව ද​? අවුරුදු හැත්තෑ පහක් නේද​? හැත්ත පස් වන නිදහසත් සමරලා මාස කිහිපයක් ගියාට පස්සේ අපේ ඉතිහාසය ගැන යටගිය කථාවක් උඩට ගන්න එක හොඳයි කියල හිතුණ​. එහෙමනම් අපි හැරෙමු මාතෘකාව වෙතට​..

අපි අද කියන කතාව මොකක් ද​? දේශපාලනය ඈඳ ගෙන බැලුවම නම් කියන්නේ අපේ රට අවුරුදු හැත්තෑ ගානක් තිස්සේ පාලනය කරපු මේ වලව්කාරයො ටික රට විනාශ කලා කියන එක නේද​? දේශපාලන වේදිකා වල අපි දකින දෙයක් තමයි සේනානායකලට සහ බණ්ඩාරනායකලට පලු යන්න බනින එක​. කොතලාවල​, ජයවර්ධන වගේ නමුත් ඒ අස්සෙම අපට ඇහෙනවා. "මේ රදළයො ටික අපේ රට කෑව​." ඉහත කියමන ඔබත් ජීවිතේ එක පාරක් හරි අහල ඇති. මොවුන් කරපු විනාශය අඩු වැඩි වශයෙන්, සාපේක්‍ෂව ඒ ඒ කාල සීමාවන් වල පැවති දේශපාලන පසුබිම පදනම් කරගෙන අපි වෙනත් දවසක කතා කරමු. මන් අර කලින් කිව්වනේ රදළයො ගැන කතාවක්. අද අපි ලිහාගන්න හදන්නේ මේ කිසිවෙක් රදළයො නෙවෙයි කියන එක​. සේනානායක​, බණ්ඩාරනායක​, කොතලාවල සහ ජයවර්ධන​. මේ එක කොට්ඨාසයක් වත් රදළයො නෙවෙයි. තව විදිහකට කිව්වොත් ජෙනුයින් වලව්කාරයො නෙවෙයි.

එතකොට මේ සෙට් එක කවුද​?

ඒ ගැන හොයන්න කලින් රදළයො කියන්නේ කවුද කියන එක අපි දැනගෙන ඉන්න ඕනනෙ. හොඳට අදහසට ගන්න​. රදළයො කියල හැඳින්වුවෙ උඩරට රාජධානියෙ රජුට ලේ ඥාති සම්බන්ධකම් ඇති පරම්පරා කීපයකට​. මේ පරම්පරා කිහිපය අතරෙ විතරයි රජුගේ ඉහළම තනතුරු එහෙම බෙදිල ගිහින් තිබෙන්නෙ. එකල රාජ සභාවෙ හිටපු සියලුම ඇමතිවරු පාහේ නියෝජනය කලේ රදළ පැලැන්තිය​. ඔයාල දන්නවනේ ඉතිහාසයෙ සඳහන් වෙලා තිබෙන විදිහට නායක්කාර් වංශිකයිනුත් උඩරට රජ උණා කියන්න​. එහෙම උණත් උඩරට රාජ සභාවෙ ඇමතිවරුන් උණේ අර කියපු පිරිසමයි.​ 1815 මාර්තු දෙවෙනි දා අත්සන් කරපු උඩරට ගිවිසුමෙන් පස්සේ ඉංග්‍රීසීන්ට උඩරට රාජධානිය පාවාදීම සිදුවෙනවා. ඉංග්‍රීසීනුත් මොකද කළේ.. උඩරට රාජධානිය පරිපාලනය පිණිස මේ රදළයන්ව සම්බන්ධ කරගත්තා. තනතුරු වගේම වරප්‍රසාදත් දුන්නා.

හැබැයි මේ තත්වය තිබුණෙ අවුරුදු දෙකක වගේ කාලයක්. මොණරවිල කැප්පැටිපොළගේ නායකත්වයෙන් යුතුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට එරෙහිව දියත් උණ නිදහස් අරගලය තමයි උඩරට කැරැල්ල විදිහට බොහෝ වෙලාවට හඳුන්වන්නේ. මේකෙන් පස්සේ ඉංග්‍රීසීන් රදළයන් එක්ක විරසක උණා පමණක් නෙවෙයි, ඔවුන්ගේ සියලු තනතුරුත් වරප්‍රසාදත් අහෝසි කරල දැම්මා. සමහර දේපළ ගිනිබත් කරන්නත් රාජ සන්තක කරන්නත් කටයුතු කළා. ඒ වෙද්දී ඉංග්‍රීසීන්ට ඔත්තු සපයපු ඔවුන්ගේ අන්තේවාසිකයන්ට ඒ දේපළ​ පවරල දෙන්නත් කටයුතු කරල තියෙනවා. මේ සිදුවීම් වලින් පස්සේ ව්‍යවහාරික භාෂාවෙන්ම කියනවනම්‍ රදළයන්ට ඇඩ්‍රස් නැති වුණා. ඒකෙන් පස්සේ ඔවුන්ට උරුම වුණේ බොහොම සැගවුණු ජීවිතයක් ගත කරන්න​​.

ඔන්න ඔය අතරෙදි තමයි කොළඹ කේන්ද්‍ර කරගත් සමාජයෙන් වෙනත් පැලැන්තියක නැගී ඒම ආරම්භ වෙන්නේ. මෙයාලව තමයි මුදලි පැලැන්තිය නැත්නම් මුදලි පේරුව කියලා හැඳින්වූවේ. මුදලි පේරුව කට්ටිය අයත් උණා කියන්නේ ගොවිගම කුලයට​. මෙයාලගෙ පැවත ඒම ලන්දේසි කාලෙ වෙනකන් දිව යනවා. ලන්දේසින්ට භාෂා පරිවර්තක වගේ සේවාවන් සපයල​, තවත් පිරිස් ගෘහ සේවකයින් විදිහට හෙම වැඩ කරල තමයි මෙකී මුදලි තනතුරු ලබා ගෙන තිබෙනවා කියන්නේ. කොටින්ම කියනවා නම් ලන්දේසීන්ගේ හිත දිනාගෙන නම්බු නාම සහ වරදාන ලබා ගැනීම​. මේ කියන මුදලි පේරුවේ ඉඳලා තියෙනවා පවුල් 08ක්. මේ පවුල් අට තමයි කොළඹ කේන්ද්‍රීයව කැපී පෙනෙන වරප්‍රසාදිත පිරිස බවට පත් වෙලා තියෙන්නේ. පහළ ඡායාරූප වල දැක්වෙන්නේ ඒ පවුල් අට පිලිබඳව​.

01. ඩයස් බණ්ඩාරනායක​
02. ද සේරම්
03. ඔබේසේකර​
04. ඉලංගකෝන්
05. ලිවේරා
06. ද අල්විස්
07. පීරිස්
08. සිරිවර්ධන​

මේ කාටල් එක ඇතුලේ තමයි විවාහයන් සිද්ධ වුණේ, ඊට අමතරව ව්‍යාපාරික කටයුතු එහෙමත් සිද්ධ කෙරුණේ. ඔයාලට තේරෙනව නේද මම කාටල් එක කියන වචනේ භාවිතා කරපු එක වැරදි නැහැ කියලා. මේ සෙට් එක ලන්දේසීන්ගෙ කාලෙ ඔවුන්ට ඩුප්ලිකේට් උනා කීවොත් නිවැරදියි. ලන්දේසි භාෂාව කතා කරන, ඒ විදිහට කන බොන, ලන්දේසි ඇඳුම් පැළඳුම් හඳින පළඳින ඒ සංස්කෘතියටම අනුගත වෙච්ච පිරිසක් විදිහට මේ අය කටයුතු කළා. දැන් ඉංග්‍රීසීන් මුහුදුබඩ ප්‍රදේශ ආක්‍රමණය කරල ඒගොල්ලොන් ගේ ආගමනය පටන් ගත්තට පස්සේ, සුද්දගෙ භාෂාවෙන්ම කියනවනම් මේ පිරිසට තමන් ගෙ "සර්වයිවල් මෝඩ්" එක ඔන් කරන්න සිද්ධ වුණා. ඒ කියන්නේ ඉංග්‍රීසීන්ගේ හිත දිනාගෙන තමන්ගේ වරප්‍රසාදලාභී ජීවිතය ඉදිරියට ගෙනියන එක​. ඉංග්‍රීසීන් ලංකාවට ඇවිල්ලා ලංකාවේ ඉඩම් ටික නිරවද්‍ය ලෙස මැනීම සිද්ධ කරනවා මුඩුබිම් පනත හරහා. ඊට අමතරව දුම්රිය මාර්ග ටික මහාමාර්ග ටික වගේ යටිතල පහසුකම් ටික සංවර්ධනය කරන්නත් පටන් ගන්නවා. මේ කියන ඉදිකිරීම් වලට අවශ්‍ය වෙන​ අමුද්‍රව්‍ය සපයපු පිරිස කවුරු වෙන්න ඇති ද​? ඒ තමයි අර පවුල් අටේ මුදලි පැලැන්තියේ කට්ටිය​.

මේ වැඩේට අමතරව එකතු උණ අය විදිහට ජයවර්ධනලාවත් සලකන්න පුලුවන් කියලා විෂය ප්‍රවීණයන් කියල තියෙනවා. අද කාලෙට සාපේක්‍ෂව අපට නිශ්චය කරන්න අමාරු උණත් මේ අමුද්‍රව්‍ය සැපයීම හරහා මේගොල්ලන් විශාල ධනස්කන්ධයක හිමිකරුවො වෙනවා. කොළඹ නගරයෙම තියෙන ඉංග්‍රීසීන් හදපු ගොඩනැගිලි ටික ගැන විතරක් ඔයාල පොඩ්ඩක් හිතල බලන්න​. ඒ වගේ ඉදිකිරීම් වලට අමුද්‍රව්‍ය සපයන එකෙන්ම හිතාගන්න පුලුවන්නෙ උපයාගන්න ඇති ධනස්කන්ධය පිළිබඳව​​​. මේකත් එක්ක විශාල පැලැන්තියක් විදිහට මේ පිරිස වර්ධනය වෙනවා. ඉතාම සැපපහසු,  අතපය දිග හැර වියදම් කරන බොහොම ජේත්තුකාර ජීවිතයක් තමයි මෙයාල ගත කලේ. දැන් ලන්දේසීන් ඉන්න කාලෙ කරා වගේම ඉංග්‍රීසි සංස්කෘතියටත් මේ පිරිස අනුගත වුණා. කෑම බීම​, අඳින පළඳින විදිහ සහ ඉංග්‍රීසි භාෂාව කතා කරන එක වගේ දේවල් මේ අය කරන්න පටන් ගත්තා. දරුවො එංගලන්තෙට යවල ඉගැන්නුවා. (කාවහරි මතක් උණා ද​? හිටපු..) අපේ රටේ මිනිස්සු ඒ කාලෙ ඉඳන්ම හුරුවෙලා හිටියෙ රාජාණ්ඩු ක්‍රමයකට​. ඒ තත්වය මේ නූතන සමාජ පද්ධතීන් ඇතුලේවත් වෙනස් වෙලා නෑ කියන එක තමයි මගේ නම් අදහස​. ඉදින් අපේ ලංකාවෙ මිනිස්සු ඒ කාලෙ ඉඳන්ම අර අපි කලින් කතා කරපු රදළයන්ට ඔලුව නමාගෙන තමයි ඉඳල තියෙන්නේ. දැන් මේ මුදලිලා සෙට් එකට කොපමණ ධනයක් තිබුණත් මේ කියන පිළිගැනීම ලැබුණේ නැහැ. ඉදින් මේ පිරිස තමන් රදළයන් වගේ පෙනී ඉන්න කරපු උත්සාහය අනුව තමයි අර වලව් පන්නයට තමන්ගෙ ගෙවල් දොරවල් හදා ගත්තෙ. කරපු අනිත් දේ තමයි පුලුවන් තරම් ඉඩම් මිලට ගැනීම​.

රජ්ජුරුවන්ගේ නින්ද ගම් විදිහට එහෙම ලැබුණු විශාල ඉඩම් ප්‍රමාණයක් උඩරට රදළයන් සතුව ඒ කාලෙ තිබිල තියෙනවා. ඉතින් මුදලි පේරුව හිතපු දේ තමයි ඉඩකඩම් රැස් කරගත්තම රටේ මිනිස්සු තමනුත් රදළයන්ව වගේ පිළිගනියි කියලා. ලන්දේසීන්ගෙ කාලෙත් සමහර ඉඩම් මේ මුදලිලාට ලැබිල තියෙනවා. මේවට කිව්වේ Accomadation Lands කියලා. විශේෂත්වය තමයි ආණ්ඩුවෙන් ලැබුණ මේ ඉඩම් වලට බද්දක් ගෙවන්න එයාලට සිද්ධ වුණේ නැහැ. මුදලිලා තමන්ගෙ වරප්‍රසාද පාවිච්චි කරල කරපු අනිත් හපන්කම තමයි අහිංසක ගම්වැසියන්ගෙන් නොමිලේ වැඩ ගත්ත එක​. මේ මිනිසුන් ලවා තමන්ගෙ ගෙවල් වලට වලව් කියවගන්නත් මේ උදවිය අමතක කලේ නැහැ. ඒ ගෙවල් වලට කාරණාවකට යනවනම් යන්න උණේ පස්ස දොරින්.

අන්න එහෙම තමයි බෝතලේ වලව්ව උණේ.. හොරගොල්ල වලව්ව උණේ.. සේදවත්ත වලව්ව උණේ.. මේව එකක්වත් ඔරිජිනල් වලව් නෙවෙයි.

උඩරට රදළයින් ගත්තහම මේ කාල සීමාව වෙද්දී සමාජයෙන් මුලුගැන්වුණු පිරිසක් බවට පත් වෙලයි තිබුණේ. ඉතින් ඒකත් එක්තරා හේතුවක් උණා මුදලි පේරුවේ මේ කියන නැගී ඒමට​. ඉංග්‍රීසි වංශවත් නයිට්වරුන් වගේ හැන්ඳා පැළැන්ඳා උනත් මේ මුදලි පේරුව ඉංග්‍රීසීන් ඉදිරියේ හැසිරුණේ නම් බොහොම නිවට නියාලු විදිහට​. ඒකට බොහොම හොඳ උදාහරණයක් ලංකාවේ පළවෙනි ආණ්ඩුකාරයා උණ ෆ්‍රෙඩ්රික් නෝත් විසින් මෙන්න මේ විදිහට ලියලා තිබෙනවා.

දිනය - 1798-10-21
Fredrick North to Welsley
උපුටා ගැනීම​.

"...මහ මුදලි හැමවිටම පදිංචි වී සිටින්නේ ආණ්ඩුකාරයා සමීපයේය​. ඔහු මා සමග සිටින විට කිසි විටෙක හිඳ නොගන්නේය​. පා වැසුම් නොපළඳින්නේය​. එහෙත් ඔහු ඇත්ත වශයෙන්ම ලංකාවේ මහා අමාත්‍යවරයාය. ඔහු මා දෙන සෑම නියෝගයක්ම වහාම ක්‍රියාත්මක කරන අතර රටේ සිදුවන දෑ වහාම මට දන්වා සිටියි. ඔහු හා ඔහුට පහත් මුදලිවරු ආණ්ඩුවෙන් බලාපොරොත්තු වන එකම ගෙවීම වන්නේ සුලු ඇකොමඩේසන් ඉඩම් දීමනාවක් පමණකි. ඔවුන්ගේ එකම පරමාර්ථය වන්නේ කඩු, රන් මාල​, මෙඩල් ආදී තෑගි ලබාගැනීමයි. ඒවාට ඔවුන් විශාල කෑදරකමක් දක්වන අතර ඒවා මගින් ඔවුන්ගේ අවනතභාවය දිනා ගන්නා ආකාරය ලන්දේසීහු හොඳින් දැන සිටියහ​.."

දැන් ඔබට හිතාගන්න පුලුවනි නේද​? මහමුදලිගේ හැසිරීම එලෙස නම් පහළින් ඉන්න පිරිස ගැන කවර කතාද කියා..

දේශපාලනය ගැන විග්‍රහයන් ඉදිරිපත් කරන බොහෝ දෙනා වැරදි විදිහට අර්ථ දක්වන ලංකාව පාලනය කරපු රදළ පරම්පරාව ගැන පාඨක ඔයාලට යම් පැහැදිලි කර ගැනීමක් මේ ලිපියෙන් ලැබෙන්න ඇති කියා මම හිතනවා. ආයෙමත් කියන්න තියෙන්නේ මේ එක්කෙනෙක්වත් රදළයො නෙවෙයි. තවත් වැදගත් කාරණාවක්. නිදහසෙන් පස්සේ ලංකාව පාලනය කරපු ඩී එස් සේනානායක​, ඩඩ්ලි සේනානායක, එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක​, සිරිමාවෝ බණ්ඩාරනායක සහ ජේ ආර් ජයවර්ධන කියන අයගෙන් රදළ කියල හඳුන්වන්න පුලුවන් එකම කෙනෙක් පමණයි ඉඳලා තියෙන්නේ. ඒ තමයි සිරිමාවෝ බණ්ඩාරනායක. ඇය බලන්ගොඩ මහවලතැන්න වලව්වේ රත්වත්තේ පරම්පරාවේ දියණියක් නිසා එසේ වන බව තමයි තතු දත්ත වුන් සඳහන් කරලා තියෙන්නේ. අනිත් ඔක්කොම මුදලි පේරුවේ නොහොත් ඩුප්ලිකේට් රදළයො.

එහෙමනම් නැවත ලිපියකින් හමුවෙමු! සුභ දවසක්!

Latest