Skip to content

ශ්‍රී ලංකාවට ඉනිමක ජයක්!

අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවැති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ඉනිමක සහ ලකුණු 10ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දුන් අයර්ලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී යද්දි ලකුණු පුවරුව ලකුණු 492 ක දැවැන්ත එකක් විය. කර්ටිස් කෑම්පර් සහ පෝල් ස්ටර්ලිංගේ ශතකවලින් වර්ණවත් වූ අයර්ලන්ත පළමු ඉනිම ඔවුන්ගේ කෙටි ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමක වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාවයි. දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය අයර්ලන්ත ඉනිමේ කඩුළු 10ක් බිඳ හෙලීමට සමත් විය.

පිළිතුරු ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිම අත්හිටුවා නැවත පන්දුවට පහර දීමට අයර්ලන්ත කණ්ඩායමට ආරාධනා කරන්නේ කඩුළු 3ක් දැවී ලකුණු 704ක් ලබාගෙන සිටියදිය. ශ්‍රී ලංකා පළමු ඉනිම කුසල් මෙන්ඩිස් සහ නිශාන් මධුශ්කගේ ද්විත්ව ශතකවලින් සහ දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්ගේ ශතක දෙකෙන් වර්ණවත් විය.

පළමු ඉනිමේ දැවැන්ත ලකුණු පුවරුවකට හිමිකම් කීවද දෙවැනි ඉනිමේදි අයර්ලන්ත ක්‍රීඩකයින් සියල්ලන්ම ලකුණු 202කට දැවී යාම හේතුවෙන් ඉනිමක පරාජයක් අමිහිරි අත්දැකීම විඳ ගැනීමට ඔවුන්ට සිදුවිය. තරගයේ පරාජයෙන් බේරීමට දැඩි උත්සාහයක යෙදුණු හැරි ටෙක්ටර් ලකුණු 85ක් ලබාගත් අතර රමේෂ් මෙන්ඩිස් අයර්ලන්ත ඉනිමේ කඩුළු 5ක් බිඳ හෙලීමට සමත් විය.

තරගාවලියේ පළමු තරගයද ශ්‍රී ලංකාව ජයගත් අතර ඒ අනුව 2-0 ලෙස තරගාවලි ජයග්‍රහණය ශ්‍රී ලංකාව සතු විය.

තරගයේ වීරයා - ප්‍රභාත් ජයසූරිය

 - Waruna Sudantha Herath

Latest