Sisu යනු මෙම සිනමා පටයේ ආරම්භයේදී දැක්වෙන පරිදි පරිවර්තනය කිරීමෙහි ලා අපහසු ෆින්ලන්ත වචනයකි. එහි අර්ථය අප්‍රතිහත ධෛර්‍යයත් සහ සිතාගැනීමට පවා අපහසු අධිෂ්ඨානයත් යන්න දක්වා සිටී. එම හැදින්වීම සාක්‍ෂාත් කරමින් මෙම සිනමා පටයේ පූරකයා සිය අරමුණ ජය ගැනීම වෙනුවෙන් කරනු ලබන තනි සටන මුලු කාලය පුරාවටම ඔබගේ දෑස් ඒ වෙත ඇද බැඳ තබාගන්නක් වනවාට සැක නැත. මනඃ කල්පිතයක් වූවද මෙම කතාව සම්බන්ධ වනුයේ ද දෙවන ලෝක යුධ සංග්‍රාමයටය.
Jalmari Helander විසින් රචනා කර අධ්‍යක්‍ෂණය කරන ලද Sisu 2022 වසරේදී එළි දක්වන ලද අතර එය ගැණෙනුයේ ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපට ඝනයටය. කතා නායකයා නොහොත් Aatami හිටපු ෆින්ලන්ත කමාන්ඩෝ භටයෙකි. ඔවුන් ඔහුව හැදින්වූවේ එම යුධ ඒකකයේ සිටි වඩාත්ම බිහිසුණු පුද්ගලයෙකු වශයෙනි. රුසියානු හමුදා වල කෘරත්වය හමුවේ තමන් සතු සියල්ල අහිමි වන Aatami අවසනදී රුසියානු සෙබලුන් ඩැහැ ගන්නා තනි ඝාතකයෙකු බවට පත් වේ.
චිත්‍රපටය ආරම්භ වන්නේ පාළුකරයේ ජීවත් වන රන් කැණීම් හි නිරත වන මහලු වියේ පසුවන Aatami Korpi ගේ දර්ශණ හරහාය. ගලායන දිය පහරකින් ගල් ගැරීමේ කටයුත්තේ නිරත වන ඔහුට හමු වන්නේ ඇස් අදහා ගත නොහැකි දෙයකි. එය නම් කුඩා රන් කැබැල්ලකි. රන් නිධිය ඇතැයි අනුමාන කරනු ලබන ස්ථානයේ කැණීමෙන් විශාල දඹ රන් තොගයක් සොයා ගැනීමට ඔහුට හැකි වේ. කතාවේ උද්වේගය ආරම්භ වන්නේ මෙතැන් පටන් ය.
රන් තොගය විකිනීම පිණිස පිටත් වන ගමන පහසු නොවන්නේ; ඇඩොල්ෆ් හිට්ලර්ගේ පුද්ගලික ආරක්‍ෂක ඒකකය ලෙස මුලින් පිහිටුවන ලද පසුව රටවල් ආක්‍රමණය කිරීමේ කටයුත්ත වෙනුවෙන් දායක කර ගත් SS (Schutzstaffel Squad) ප්ලැටූනයක් මොහු සතුව රත්‍රන් තොගයක් ඇති බව පසක් කර ගැනීමත් එය ලබා ගැනීමට ඔහු පසු පසින් හඹා යන මාරාන්තික වූ ගමනත් හේතුවෙන් ය. කතාව පිලිබදව පූර්ණ විස්තරයක් ඉදිරිපත් කලහොත් සැබවින්ම එය ඔබගේ රසවින්දනයට බාධාවක් වන බැවින් එය මෙතෙකින් නිමා කරමි.
කිසිදු අලසකමකින් තොරව ක්‍රියාන්විත ජවනිකා එක පෙළට නැරඹිය හැකි බවට සනාථ කරමින් සිනමා පටයේ අනෙකුත් මූලික කාරණා සම්බන්ධව අවධානය යොමු කල විට විශිෂ්ඨ රංගන දායකත්වයක් Jorma Tommila, Aksel Hennie, Jack Doolan සහ Mimosa Willamo වැනි නලු නිළියන් විසින් සපයනු ලබයි. මිනිසාගේ අධිෂ්ඨානය පිලිබදව වූ පිලිබිඹුව අපූරුවට විදහා දක්වමින් Aatami Korpi යනු SISU යන ෆින්ලන්ත වචනයට ගැලපෙනම කෙතරම් දුෂ්කරතා හමුවේ වුවද තම ඉලක්කය අත් නොහරින පුද්ගලයෙකු බව කියාපායි. IMDB දර්ශක වල Sisu සටහන තබන මොහොත වන විට හිමි කර ගෙන ඇති අගය 6.9/10කි.

පුරුදු පරිදිම, ක්‍රියාන්විත සිනමා පට කෙරේ ඇලුම් කරන ඔබගේ චිත්‍රපට එකතුවට Sisu තවදු එක් ඉහල පෙලේ නිර්මාණයක් වනවාට සැක නැත.