Skip to content

කට වැරදුනත් පස්සට නොගිය කොතලාවල

සර් ජෝන් කොතලාවලගේ දේශපාලනයේ රස කතා..

මෙරට තුන්වන අගමැතිවරයා ලෙසින් කටයුතු කළ "සර් ජෝන් කොතලාවල" යනු කිසිවෙකුටත් කිසිවිටෙක නොනැමුනු එඩිතර එමෙන්ම ඉතාමත් සැහැල්ලුවෙන් සිය ජීවිතය විදි විනෝදකාමියෙකු වූ බව ප්‍රකට කරුණකි. 1931 වසරේ දි මෙරට බිහිවූ පළමු රාජ්‍ය මන්ත්‍රණ සභාවට කුරුණෑගල මැතිවරණ කොට්ඨාශය නියෝජනය කරමින් තේරී පත්වුණු හේ 1950 දශකය අවසන් වන තුරුම මෙරට දේශපාලන පොර පිටියේ රැඳී සිටියේ ප්‍රතාපවත් චරිතයක් ලෙසිනි. එම කාල සීමාව තුළ දී ලාංකීය ජනී ජනයා අතර අතිශය ප්‍රසිද්ධියටත් ජනප්‍රශාදයටත් පත්වුණු මෙම නායකයාගේ දේශපාලන දිවිය සම්බන්ධ‍යෙන් ලියැවුනු සහ ප්‍රකටවූ කතා රැසකි. ඒවා ත්‍රාෂයෙන් භීතියෙන් මෙන්ම රසයෙන්ද අනූනය. පහත දැක්වෙනූයේ සර් ජොන් ගේ ජීවිතය හා බැදුනු එවන් කතා කිහිපයකි. එම කතා තුළින් අද සහ එදා දේශපාලනයේ ඇති වෙනස කුමක්දැයි ඔබට වැටහෙනු ඇති.

සුද්දන්ව කටින් මට්ටු කිරීම

1931 වසරේදී පැවති මෙරට ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණය සඳහා කුරුණෑගල ආසනයෙන් තරඟ කිරීමට ජෝන් කොතලාවල  ඉදිරිපත් විය. ලාංකීය ජනයාට සිය ජීවිතයේ මුල්මවරට ඡන්ද අයිතිය ලැබුණු මැතිවරණය එය වු බැවින් ඒ වන විටත් ඔවුන්ට මැතිවරණයක් යනු කුමක්දැයි හරිහමන්  අවබෝධයක් තිබුණේ නැත. එසේම එකල එක් එක් අපේක්ෂකයා වෙනුවෙන් වෙන්වූ වෙනමම ඡන්ද රැස්වීම් තිබුනේද නැත. එම නිසා එකල මෙරට බලවත් සංවිධානයක්ව සිටි "ලංකා වැවිලිකරුවන්ගේ සංගමය" දිවයින පුරාම ඡන්ද රැස්වීම් මාලාවක් සංවිධානය කරමින්  මැතිවරණය සඳහා ඉදිරිපත් වුණු අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති පිළිබඳව ඔවුන්ගෙන් විමසමින් සිටියහ. එහි දී ඔවුන්ට වඩාත් ගැලපෙන ප්‍රතිපත්ති ඉදිරිපත් කළ අපේක්ෂකයන්ට සහාය දීමට‍යි වැවිලිකරුවන්ගේ සංගමය තීරණය කර තිබුනේ. එම රැස්වීම් මාලාව යටතේ පැවති එක් රැස්වීමක් පැවැත්වුනේ කුරුණෑගල නගර ශාලාවේ දීය.  එම රැස්වීමට සහභාගිවීම සඳහා ඇරයුම් ලැබුනු ජෝන් කොතලාවල සිය කතා වාරය එළැඹෙන තුරු නිසොල්මනේ
පසෙක වාඩිවී බලා සිටියා.

එදා කොතලාවලට පෙර කතා වාරය ලැබී තිබුණේ කුරුණෑගල අසුනටම තරඟ කල සිංහල නොතාරිස්වරයෙකුටය.  එම නොතාරිස්වරයා සිය කතාව ඇරඹීමට පෙර ඒ වන විටත් ශාලාවේ අසුන් ගෙන සිටි එක් එක් සුද්දා ඉදිරියට ගොස් වැඳවැටී නමස්කාර කළා. ඉන් පසුව ඔහු වේදිකාවට ගොඩවී බැගෑපත් හඬින් සිය කතාව ඇරඹුවා. එහිදී ඔහු කියා සිටියේ තමා කුරුණෑගල මන්ත්‍රීවරයා ලෙස තේරී පත්වුවහොත් “සුදු මහත්තුරුන් කියන විදිහටම වැඩකිරීමට කැමති” බව යි.
“සිංහලයන්ට වැරදී ඇත්තේ සුදු මහත්වරුන් කියන විදිහට වැඩ නොකිරීමෙන්” බවත් “සිංහලයන් කවදා හෝ දියුණු වෙනවා නම් දියුණු වෙන්නේ සුදු මහත්වරුන් කියන හැටියට වැඩ කිරීමෙන්” බවත් ඔහු ඔහුගේ කතාවෙන් පුන පුනා කියා සිටියා.  අනතුරුව නැවතත් සුද්දන්ට වැඳවැටී නමස්කාර කළ එම නොතාරිස් වරයා වේදිකාවෙන් බැසගිය පසු පැමිණියේ කොතලාවලගේ වාරය යි.
මෙම උත්සවය සඳහා කොතලාවල තමාගේ කතාවක් පෙර සූදානම් කරගෙන පැමිණියත්, නොතාරිස්වරයා තම ජාතිය පහත හෙලමින් කළ කතාව නිසා ඔහුගේ රතු කට්ට පැන තිබුණා. එම නිසා සර් ජොන් කොතලාවල තමා සූදානමින් සිටි කතාව පසෙකලා වෙනත් කතාවක් සිදුකළා.

කිසිදු පැකිළීමකින් තොරව වේදිකාවට ගොඩවූ කොතලාවල පෙර කී නොතාරිස්වරයාට සහ සුදු ජාතිකයන්ට ද ඇසෙන සේ දරුණු වාග් ප්‍රහාරයක් එල්ල කළා.

“මට කලින් කතා කළ සිංහල මහතා ජාතියටම නින්දාවක් කළා. ඒ විදියේ සිංහල බල්ලන් මන්ත්‍රණ සභාවට යැව්වොත් අපේ රට නම් විනාශ වෙන එක විනාශ වෙනවාම යි. දැන් අපට පැවරිල තියෙන්නෙ වැදගත් කටයුත්තක්. අපට මෙවර යන්න වෙලා තියෙන්නෙ ජාතියට නිදහස දිනාගැනීමේ සටනකට යි. මම කොහොම වුණත් මේ පාර කුරුණෑගල ආසනය දිනල, මන්ත්‍රණ සභාවට යන එක යනවාම යි. හැබැයි ඒ යන්නෙ මට කලින් කතා කරපු කැණහිලා කියපු දේවල් කරන්න නෙවෙයි. එංගලන්තෙ ඉඳල ආපු උඹල මේ රටින් එලවල දාන්න යි. ශීලාචාර විදිහට බැරිනම්, ගුටි ගහල පෙති ගහල හරි තොපි එළවල දාන්න යි!”

එම අවස්ථාවේ ශාලාවේ ඉදිරි පෙළ අසුන්වල සිට එම කතාවට සවන් දුන් වතු අධිකාරීවරුන් දැඩිලෙස කෝපයෙන් දැවෙන්නට වුනා. පිරිස අතර සිට ඉදිරියට පැමිණි "ඩයිසන්" නම් ප්‍රධාන වතු අධිකාරිවරයා, “මගෙ දෑසට නොපෙනී මෙතනින් පලයන්!” කියා කොතලාවලව එළවාගත්තත්, එදා කොතලාවල කළ  එම ප්‍රකාශය ප්‍රදේශයේ ජනතාව අතර කටින් කට ප්‍රචාරය වන්නට වුණා. ඒ නිසාම එම මැතිවරණයෙන් වැඩි ඡන්ද 9045කින් කුරුණෑගල ආසනය ජයග්‍රහණය කිරීමට සර් ජෝන් කොතලාවලට හැකිවුනා.

පක්ෂයේ ප්‍රබලයෙකු සමග යළි මිතුරු වුණු හැටි

1947 වසරේ දී බලයට පත්වුණු එක්සත් ජාතික පක්ෂ රජයේ ගමනාගමන සහ ප්‍රසිද්ධ වැඩ අමාත්‍යධුරය හිමි වුණේ ජෝන් කොතලාවලට යි. එකල එම පක්ෂයේම තවත් ප්‍රබලයෙකු වු සිරිල් ද සොයිසා එහිදී සෙනෙට් සභාව නියෝජනය කළේය. දිනක් යම් කිසි සිදුවීමක් දුරදිග යාම නිසා කොතලාවල සහ සොයිසා යන දෙදෙනා අමනාප වුණා. එකල මෙරට අගමැතිවරයා ලෙසින් කටයුතු කළේ ඩී. ඇස්. සේනානායක මහතායි. මේ අමනාපය ගැන දැනගත් අගමැති වරයා මැදිහත්ව ඔවුන් දෙදෙනාව සමගි කරවීමට කෙතරම් උත්සාහ කළද එය  අසාර්ථක විය. එලෙස ඔවුන් දෙදෙනා සමගි නොවීමට ප්‍රධානතම හේතුව වුණේ එකෙකුට එකෙක් හිස නැමීමට ඔවුන් දෙදෙනාම අකැමැති වීම යි.

කෙසේ නමුත් මේ ආරවුල විසදීමට කොතලාවල සහ සොයිසා යන දෙදෙනාගේම සමීපතම හිත මිතුරන් කිහිපදෙනෙකු එකතු වී මේ දෙදෙනාටම කරුණු කාරණා පැහැදිලි කරදුන්නා. ඉන්පසුව කඳවල වලව්වට ගොස් කොතලාවලව හමුවීමට සොයිසා යාන්තම් සිය එකඟතාවය පළකලා. ඉන් අනතුරුව මිතුරන් කිහිපදෙනෙකු සමග කඳවල වලව්වට ගිය සොයිසා ඔහුගේ තාවකාලික සතුරෙකු වුණු කොතලාවල ඔහු අසලට පැමිණෙන තුරු බලා සිටියා. එම අවස්ථාවේ දී සොයිසා හමුවට පැමිණි කොතලාවල සොයිසාගේ උරහිසට අත තබමින් “කොහොමද යකෝ” යැයි අසා සිටි බව කියැවෙනවා. එවිට සොයිසා ද කොතලාවලගේ ඇඟට අත තබා “හොදින් ඉන්නව යකෝ” යනුවෙන් පිළිතුරු දුන්නාලු. එම සිදුවීමෙන් පසුව දෙදෙනාටම සිනා ගිය නිසා එතෙක් දෙදෙනා අතර පැවති ආරවුල සමථයකට පත්වුණා. අනතුරුව සොයිසා කඳවල වලව්වෙන්ම එදින උදෑසන ආහාරය ගෙන ආපසු ගියේ ජෝන් කොතලාවලගේ හොඳ මිතුරෙකු බවට පත්වීමෙන් පසුව යි.

සිරිල් ද සොයිසා

බැංඩුන් වීරයා

ජෝන් කොතලාවල මෙරට අගමැතිවරයා ලෙසින් කටයුතු කළ අවධියේ දී බැන්ඩුන් නගරයේ පැවති ආසියානු සමුළුවකට සහභාගි වන්නට සිදු වුනා. එම සමුළුව සඳහා අප අසල්වැසි ඉන්දියාව නියෝජනය කරමින් සහභාගි වුණු දූත පිරිසේ නායකයා ලෙසින් කටයුතු කළේ ශ්‍රී ජවහර්ලාල් නේරු ය. එම සමුළුවේ දී කොතලාවලට කතාව පැවැත්වීමට අවස්ථාව හිමිවුණේ අගමැති නේරුගේ කතාවෙන් පසුව යි.

අවස්ථාව පැමිණි විට සිය අදහස් දැක්වීම ආරම්භ කල කොතලාවල කියා සිටියේ,
“අද ආසියාවෙන් අධිරාජ්‍යවාදය නැතිවී ගොස් යටත්විජිත ප්‍රමාණය අඩු වී යාම ඉතාමත් හොඳ දෙයක්. දැන් බටහිර යටත්විජිත වාදය පිළිබඳව ආසියාවේ අපට බියක් දැනුනේ නැතත්, මාක්ස්වාදය පිළිබඳව නම් බිය විය යුතුමයි” කියාය. එම නිසා ඉන් ආරක්ෂා වීමට යම් පියවරක් ඉදිරියේ දී ගත යුතු බවද කොතලාවල එහිදී අවසන් වශයෙන් අවධාරණය කර සිටියා.

කොතලාවලගේ එම කතාවේ දී ඔහු මාක්ස්වාදයට තදින් පහර ගැසීම නිසා නේරු කලබලයට පත්වුණා. එම නිසා කතාව නිමා කිරීමෙන් පසුව සිය අසුනට පැමිණ වාඩි වුණු කොතලාවලව ඇමතූ නේරු ඔහුගෙන් මෙසේ අසා සිටියා.

“මොනවද අයිසෙ අර කිව්වෙ? ඇයි ඒ කතාව කරන්න ඉස්සෙල්ල මට පෙන්නුවෙ නැත්තෙ?”

බලාපොරොත්තු නොවුණු අවස්ථාවක අසල්වැසි රටේ අගමැති වරයා තමන්ට පැවසූ දෙය අසා කොතලාවල දැඩි ලෙස කෝපයට පත්වුණා. සාමාන්‍යයෙන් කෝපයට පත්වුණු අවස්ථාවල බුද්ධියට වඩා හදවතින් කටයුතු කරන කොතලාවල “මගේ කතාව මං තමුසෙට පෙන්නන්නෙ මොකට ද? ඇයි තමුසෙ කතාව කරන්න කලින් මට ඒක පෙන්නුවා ද?” යි කොතලාවල නේරුගෙන් ඇසූයේ වාවාගත නොහැකි තරම් කෝපයකිනි.

එදා මෙරට සිටි ජන නායකයින් අප අසල්වැසි මහා බලවතාට වුව කිසි බියකින් නොසිටි බව මෙම උදාහරණයෙන් පැහැදිලි වෙනවා. එදා කොතලාවලගේ කතාවට බොහෝ ආසියානු රටවල පුවත්පත් මඟින් අති විශාල ප්‍රචාරයක් ලබා දී තිබුණා.

අගමැති කොතලාවල සමුළුව අවසන් කර ලංකාවට පැමිණි පසු එක්සත් ජාතික පාක්ෂිකයන් ඔහුව “බැංඩුන් වීරයා” ලෙසින් හඳුන්වනු ලැබුවත්, සමසමාජ සහ කොමියුනිස්ට් පාක්ෂිකයන් ඔහුව හඳුන්වනු ලැබුවේ “බැංඩුන් බූරුවා” ලෙස යි.

නේරු සහ කොතලාවල

මැතිවරණ වේදිකාවේ දී නම් මාරු වීම

1956 වසරේ මහා මැතිවරණය පැවැත්වුනේ එම වසරේ අප්‍රේල් මාසයේ දීය. මැතිවරණය කැඳවූ අවස්ථාව වන විට එවකට බලයේ සිටි එක්සත් ජාතික පක්ෂයට රටතුල වාසිදායක තත්ත්වයක් තිබුණත් ටික දිනක් ගත වෙත්ම එම වාසිය බණ්ඩාරනායක ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ දෙසට නැඹුරු වුණා.
එවර මැතිවරණයේ දී බද්දේගම ආසනය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් හෙන්රි අමරසූරිය තරග කරන විට මහජන එක්සත් පෙරමුණෙන් තරග කළේ හෙන්රි අබේවික්‍රම යි.

මැතිවරණ දිනය ක්‍රමයෙන් ආසන්න වන විට රට පුරාම පැවති රැස්වීම්වලට සහභාගි වුණු කොතලාවල, බද්දේගම ආසනයේ පැවති එක්සත් ජාතික පක්ෂ රැස්වීමටත් සහභාගි වුණා. ඒ වන විටත් ලබන්නට යන පරාජය පිළිබඳව යම් ඉඟියක් ලැබී තිබුණු නිසාදෝ කොතලාවල පසුවුණේ එතරම් සතුටකින් නම් නොවේ.  තරමක කණගාටුවෙන් වුවත් බද්දේගම රැළියට සහභාගි වුණු කොතලාවල, රැළියේ දී සිය කතාව කරමින් සිටි අවස්ථාවේ සභාව දෙසින් තරුණයන් කිහිපදෙනෙකු හූ හඬක් නගනු ඇසුනා. ඒ සමගම කෝපයට පත්වුණු කොතලාවල මඳ වේලාවකින් සිය කතාව අවසන් කලේ " කොහොම වුනත් කමක් නෑ මෙවර මැතිවරණයේ දී හෙන්රි අබේවික්‍රමට ඔබගේ වටිනා මනාපය ලබාදෙන්න" යැයි කියමිනි. මුලින් සභාවෙන් ලාවට ඇසුනු හූ හඩ ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන්නට විය. කොතලාවට සිදුවූ අත් වැරැද්ද තේරුනේ මද වේලාවක් ගිය පසුය. ඔහුට තම පක්ශයේ අපේක්ශකයාවූ හෙන්රි අමරසූරියගේ නම වෙනුවට කේන්තිය නිසා කියවී තිබුනේ විරුද්ද පකශයේ අපේක්ශකයා වූ හෙන්රි අබේවික්‍රමගේ නමය.

සිදුවුණු අත්වැරැදීම නිසා කලබලයට පත්වුණු හෙන්රි අමරසූරිය වහාම කොතලාවල ළඟට ගොස් ආයාචනය කර සිටියේ සිදුවුණු වැරැද්ද නිවැරදි කරන ලෙස යි. ඒ වන විටත් රැස්වීමට සහභාගි වී සිටි ජනතාව නොනවත්වාම තැබූ හූ හඬ නිසා තවත් කෝපයට පත්ව සිටි කොතලාවල සිය සගයාට පවසා සිටියේ,
“වැරදුනා නම් වැරදුනාවෙ. කියපු දෙයක් මං වෙනස් කරන්න නැහැ” යනුවෙනි.

හෙන්රි අබේවික්‍රම

කොතලාවලගේ මේ මුරණ්ඩු ක්‍රියාව නිසා, මැතිවරණ දිනයේ දී බද්දේගම ආසනයේ බොහෝ දෙනෙකු මහජන එක්සත් පෙරමුණු අපේක්ෂක හෙන්රි අබේවික්‍රමගේ නම ඉදිරියේ සිය ඡන්දය ප්‍රකාශ කර තිබුණා. එම නිසා ඔහු එක්සත් ජාතික පක්ශයේ අපේක්ෂකයා පරදවා වැඩි ඡන්ද 7752කින් බද්දේගම ආසනය ජයගත්තා.

Latest