Skip to content

හින්දු බැතිමතුන් වෙනුවෙන් නල්ලුර් කෝවිල ඉදි කල සිංහල රජු


හිංදු භක්තිකයින්ගේ ප‍්‍රධානතම කෝවිල වන නල්ලූර් කෝවිල මෙරට සුප‍්‍රසිද්ධතම කෝවිලකි. මෙම අද්විතිය ආගමික ස්ථානය හිංදු භක්තිකයින් වෙනුවෙන් ඉදි කර දීමේ ගෞරවය හිමිවන්නේ කෝට්ටේ යුගයේ මෙරට පාලනය කළ හයවන පරාක‍්‍රමභාහු රජතුමාටයි.
ඒ අනුව හය වන පරාක‍්‍රමභාහු රජුගේ අනුග‍්‍රහයෙන් එවකට යාපනය ප‍්‍රදේශය පරිපාලනය කළ සපුමල් කුමරු විසින් නල්ලූර් කෝවිල හිංදු භක්තිකයින් වෙනුවෙන් සිය ආගමික වතාවත් සිදු කිරීම සදහා ඉදි කර තිබෙන බව යාපනය පිලිබද කියවෙන යාල්පානම් වෛපවමාලේ නැමති දමිළ ඉතිහාස ග‍්‍රන්ථයේ සදහන්ව පවතී.
යාපනය දිස්ත්‍රික්කයේ නල්ලූර් ප‍්‍රදේශය එවකට යාපනය ප‍්‍රදේශය පාලනය කළ ප‍්‍රාදේශිය රජවරුන් වාසය කළ ප‍්‍රදේශයක් වන අතර නල්ලූර් කෝවිලට යාබදව අදටත් එම ප‍්‍රාදේශිය පාලකයින් සිය පාලන කටයුතු රැගෙන ගිය මාලිගාවේ නටබුන් දක්නට ලැබේ.
මෙම ඉපැරණි කෝවිල බලකොටුවක් ලෙස ඉදි කර ඇති අතර පෘතුගීසි පාලන සමයේ එය යම් විනාශයකට ලක්ව තිබේ. එමෙන්ම ඉකුත් යුධ සමයේ යාපනය ප‍්‍රදේශයේ ඇතිවු යුධ ගැටුම් හේතුවෙන්ද නල්ලූර් කෝවිලට හානි සිදුව තිබේ.


මෙම කෝවිලේ ස්වර්ණමය යුගය එහි 07 වන භාරකරු වු ආරුමුග මාපාන මුදලි සමය බව එම කෝවිල් වත්මන් භාරකාර පුජකවරුන් පෙන්වා දෙන අතර ඊට අනුව 1899 දී නල්ලූර් කෝවිලේ පළමු ඝන්ඨාර කුළුණ ඔහුගේ මුලිකත්වය යටතේ ඉදි කර තිබේ.

එහි වාර්ෂික පුජාව දින 25 ක් ක්‍රියාත්මක වන අතර එය නල්ලූර් කෝවිල භාර මුදලි වංශයට අයත් පවුලක සාමාජිකයෙකු විසින් සාම්ප‍්‍රදායික කප් සිටුවිමෙන් අනතුරුව සෑම වසරකම වාර්ෂික පුජාව ආරම්භ කරණු ලබයි.
මෙම කෝවිල හිංදු භක්තිකයින් අතර ඉමහත් භක්තියට පාත‍්‍ර වන කෝවිලක් වන අතර එය මෙරට පිහිටි වැදගත්ම හිංදු කෝවිලයි. මෙහි ඉකුත් යුධ සමයේ පවා කුමණ තත්වයන් යටතේ වුවද එහි පුජකවරුන් අදාල වතාවත් හා පුජාවන් නිසි පරිදි සිදුකළ අතර මුරුගන් හෙවත් කතරගම දෙවින් උදෙසා මෙය ඉදි කොට තිබේ.
වාසල් දොරටු හතරක් සහිත කෝවිල හිංදු භකිත්කයින් වෙනුවෙන් මෙරට පාලනය කළ හයවන පරාක‍්‍රමභාහු රජු හා යාපනය පාලනය කල සපුමල් කුමරු ඉදි කළ විශ්මිත නිමැවුමකි. අදට ද දෙස් විදෙස් හිංදු භක්තිකයින්ගේ වන්දනාවට පාත‍්‍ර වන මෙම කෝවිල මෙරට පවතින ජාතික සම්පතකි.

Latest