Skip to content

සිග්මන්ඩ් ප්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණවාදය

1856 මැයි මස 6 වන දින චෙකොස්ලෝවැකියාවේ උපත ලද සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මනෝවිශ්ලේෂණවාදී මනෝවිද්‍යා ගුරුකුලයේ නිර්මාපකයා වන අතර නූතන මනෝවිද්‍යාවේ පියා වශයෙන් ද සැළකේ. ඔහුගේ මනෝවිශ්ලේෂණවාදය විස්තරකරමින් මහාචාර්ය රොනල්ඩ් අබේපාල මහතා විසින් රචනා කරන ලද " සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණවාදය " නම් ග්‍රන්ථය ලාංකීය සමාජය තුළ ඉතා විශේෂ ග්‍රන්ථයක් වශයෙන් හඳුනාගත හැකිය . එයට හේතුව වන්නේ අපට  හුරුපුරුදු භාෂාව තුළින් මනෝවිශ්ලේෂණවාදය සරලව තේරුම් ගැනීම සඳහා ග්‍රන්ථය වඩාත් හොඳ මූලාශ්‍රයක් වන බැවින් සහ සරල සිංහල බසින් එතරම් ගැඹුරු සංකල්පයක් විවරණය කරණු ලබන වෙනත් ග්‍රන්ථ නොමැති තරම් වීමත් ය.

ISBN 978-955-584-563-2 දරණ ග්‍රන්ථය මුල් වරට මුද්‍රණය වී ඇත්තේ 2008 වර්ෂයේදී වන අතර පසුව 2011 සහ 2018 යන වර්ෂවලදී මෙහි දෙවන සහ තෙවන මුද්‍රණයන් සිදු වී ඇත. ග්‍රන්ථය පිළිබඳව සාකච්ඡා කිරීමට මත්තෙන් එහි දෙවන මුද්‍රණයේ හැඳින්වීමෙහි සඳහන් කරුණු කිහිපයක් උපුටා දැක්වීම වටී.

" සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ " මනෝවිශ්ලේෂණවාදී " ප්‍රවේශය තරම් සංවාදයට ලක් වූ, එමෙන්ම සංවාදයට ලක්වන්නට එහි හරවත්කම වඩාත් පිළිගැණුනු න්‍යායක් වර්තමාන මනෝවිද්‍යා ක්ෂේත්‍රයේ නොමැති තරම් ය. මනසේ ක්‍රියාකාරීත්වය, පෞරුෂයේ සංවිධානය සහ චර්යාවේ ප්‍රේරණ බලවේග ගැඹුරින් අධ්‍යයනය කළ මෙවන් ප්‍රවේශයක් මනෝවිද්‍යා ක්ෂේත්‍රය තුළ තවම බිහි වී නොමැත. තවත් බොහෝ කල් ගතවනතුරු මනෝවිශ්ලේෂණවාදයෙන් බැහැර වූ මනෝවිද්‍යාවක් ද නොපවතිනු ඇතැයි විශ්වාස කැරේ.

මහාචාර්ය රොනල්ඩ් අබේපාල විසින් රචිත " සිග්මන්ඩ් ප්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණවාදය " නමැති මනෝවිද්‍යා කෘතිය, මනෝවිශ්ලේෂණවාදී ප්‍රවේශය ඉතා සරල බසින් එහෙත් ගැඹුරින් පැහැදිලි කරනු ලබන සිංහල බසින් ලියැවුණු විශිෂ්ඨ කෘතියක් යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. "

මෙම ග්‍රන්ථය සාහිත්‍ය ග්‍රන්ථයක් නොවන බැවින් සාහිත්‍යයේ සඳහන් මූලධර්මයන්ට අනුව ග්‍රන්ථය පිළිබඳව විචාර සැපයීමට කිසිදු අවස්ථාවක් නැත. සැබවින්ම මෙය අධ්‍යාපන ග්‍රන්ථයකි. මහාචාර්ය රොනල්ඩ් අබේපාල මහතා ග්‍රන්ථය හරහා සිදුකරණුයේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණවාදය ඉතා සරල බසින් අපට කියා දීමය. විශේෂයෙන් මනෝ විද්‍යාව පිළිබඳව හදාරණු ලබන විශ්වවිද්‍යාල විද්‍යාර්ථයීන් හටත් වෙනත් ඕනෑම අයකු හටත් ග්‍රන්ථය ඉතා වටිනා මූලාශ්‍රයක් බවද සඳහන් කළ යුතුය. ග්‍රන්ථය තුළ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණවාදී න්‍යාය මනසේ ස්ථර, පෞරුෂ ව්‍යුහය, සංරක්ෂණ ප්‍රයෝග, මනෝලිංගික සංවර්ධන අවධි සහ මනෝප්‍රතිකාර වශයෙන් ප්‍රධාන සංකල්ප පහක් ඔස්සේ පැහැදිලි කර ඇත. මෙම සංකල්ප පහ පිළිබඳව කෙටියෙන් විමසා බැලීම මගින් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණවාදය පිළිබඳ යම් අදහසක් ලබාගත හැකිය.

සිග්මන් ප්‍රොයිඩ් පවසන පරිදි පුද්ගලයකුගේ මනස ස්ථර තුනකින් සමන්විත වේ. එනම් සවිඥනය, උපවිඥනය සහ අවිඥනය ලෙසය. සවිඥනය හෙවත් සම්ප්‍රජානයෙන් යුක්ත උඩු සිත පුද්ගලයාගේ මතකයෙහි අවධානයෙහි හා සංජානනයෙහි පවතින සිතුවිලි සහ තොරතුරුවලින් සමන්විත වේ. උපවිඥනය අපහසුතාවයකින් තොරව මතකයට නැංවිය හැකි සිතුවිලි සහ තොරතුරු වලින් සමන්විත වේ. අවිඥනය ආවේගයන් මුසු සිතුවිලි සහිත පුද්ගලයකුගේ සාමාන්‍ය සම්ප්‍රජානනයෙන් එපිට මනසේ නිදන්ගතව පවතින සිතුවිලි, ආවේග සහ අපේක්ෂාවන්ගෙන් සමන්විත වේ.

ප්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණවාදී න්‍යාය විස්තරකරන දෙවන සංකල්පය වන පෞරුෂ ව්‍යුහය යටතේ Id, Ego, සහ Super Ego වශයෙන් කරුණු තුනක් යටතේ මහාචාර්ය රොනල්ඩ් අබේපාල මහතා විසින් කරුණු දක්වා ඇත.  Id ( ඉඩ් ) යනු උපතේදීම මනසේ පවතින මුල්ම හෙවත් ආරම්භක කොටසයි. එම නිසා Id ස්වාභාවයෙන්ම අපරණිත, ආවේගාත්මක සහ අහේතුවාදී වන මනසේ ශක්ති සංචිතයයි. තමා තුළ ඇතිවන අවශ්‍යතා වහා ඉටුකර ගැනීමෙන් සංතෘප්තිය ළඟා කර ගැනීම Id ගේ අපේක්ෂාවයි. Ego යනු මනස තුළ සංවර්ධනය වන දෙවන කොටසයි. සැලසුම් කිරීම, හේතු සෙවීම, ගැටළු විසඳීම සහ Id පාලනය කිරීම යනාදිය සිදුකරණුයේ Ego ය. මෙහි ප්‍රධාන කාර්යය නම් Id ගේ ආවේග භාහිර පරිසරයට අනුකූලව එළි දැක්වීමේ මාර්ග සැලසීමය. Ego වඩාත් නියෝජනය කරන්නේ සවිඥනය සහ උපවිඥනයයි. මනසේ සංවර්ධනය වන තුන්වන කොටස වන්නේ Super Ego ය. මෙය Ego හි කොටස්කරුවකු ලෙස ක්‍රියා කලත් නියෝජනය කරන්නේ පුද්ගලයාගේ සදාචාර අංශයයි. කුඩා කල දරුවන් සිරිත්, විරිත් ඉගෙනීම ආරම්භ කිරීමත් සමග Super Ego සංවර්ධනය වීම ආරම්භ වන අතර හෘද සාක්ෂිය ද ඇතුලත් වන්නේ මෙම Super Ego කොටසටය.

මනෝවිශ්ලේෂණවාදයේ තෙවන සංකල්පය වන්නේ සංරක්ෂණ ප්‍රයෝගයි. එදිනෙදා ජීවිතයේදී කරදර, තර්ජන සහ හදිසි අනතුරු සහ ඉච්ඡාභංගය ආදිය නිසා පුද්ගලයා තුළ ඇතිවන මානසික ආතතිය  කාංසාව නම් වේ.  සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කාංසාව හඳුන්වන්නේ භාහිර අනතුරකට දක්වන යථාර්තවාදී ප්‍රතිචාරයක් වශයෙනි. මෙවැනි කාංසාකාරී තත්වයන් මඟ හැරීමට හෝ මිදීමට පුද්ගලයා විසින් අනුගමනය කරන ක්‍රියාමාර්ග සංරක්ෂණ ප්‍රයෝග නම් වේ. හිතා මතා නොව පුද්ගල ආත්මය විසින් ගොඩනංවනු ලබන බැවින් සංරක්ෂණ ප්‍රයෝග ක්‍රියාත්මක වන්නේ අවිඥනික වශයෙනි. යම් පුද්ගලයකු සංරක්ෂණ ප්‍රයෝග අනුගමනය කරණුයේ යම් මානසික ඝට්ඨනයකදී අනුගමනය කළ ඍජු ප්‍රවේශ සියල්ල අසාර්ථක වූ විට කාංසාවෙන් මිදීමටත්, පැන නැගෙන ප්‍රතිවිරෝධතා මගහැරීමටත් ය. යථාර්ථවාදී ක්‍රම අනුගමනය කිරීමෙන් කාංසාව ජය ගැනීමට නොහැකි වූ විට ආත්මය විසින් යථාර්ථවාදී නොවන ක්‍රම අනුගමනය කිරීම සඳහා පුද්ගලයා පොළඹවනු ලැබීමේ ප්‍රතිඵලයක් වශයෙන් ද සංරක්ෂණ ප්‍රයෝග දැක්විය හැකිය.

හතරවන සංකල්පය වන මනෝ ලිංගික සංවර්ධන අවධි යටතේ අවධි කිහිපයක් පිළිබඳව අවධානය යොමුකළ හැකිය. පළවන අවධිය වන්නේ.මුකීය අවධියයි. එනම් උපතේ සිට වයස අවුරුදු 1-2 දක්වා කාලයයි. මෙම අවධිය තුළ දරුවන්ගේ මාජනක කලාපය මුඛය බවට පත් වේ. ඉරීම, සූප්පු කිරීම මගින් ශෘංගාරය ලබන අතර කිරි උරා බීම වැනි ආහාර ගැනීමේ පුරුදු සමග මෙය සම්බන්ධ වේ. එම නිසා නැවත නැවත කිරීමේ ආශාව ඇති වේ. එමෙන්ම මදජනක කලාපය තෘප්තිමත් කිරීමේ ක්‍රියාවලිය හා ආහාර ගැනීම අතර සම්බන්ධය හට ගනී. මෙම අවධියේ ලිංගික ක්‍රියාව හෝ හැසිරීම ජීවිතය සංරක්ෂණය කර ගැනීමේ අවශ්‍යතාවය මත පදනම්වන බව ප්‍රොයිඩ් පෙන්වා දෙයි. එහෙත් ළමයා කෙමෙන් කෙමෙන් වැඩෙන විට ආහාර ලැබීමේ තෘප්තිය ඉවත් වී මුඛ තෘප්තිය වෙනම වින්දනයක් බවට පරිවහනය වේ. විශේෂත්වය වන්නේ මෙම අවධියේදී සතුට ලබන්නේ මුඛය පදනම්කරගෙනය.

දෙවන අවධිය වන්නේ පායු හෙවත් ගුද අවධියයි. මුඛ තෘප්තිය පසුකරමින් එකත් එක හමාරක් පමණ වන විට පායු කලාපය වින්දනයට පත්වන අතර මෙම කාලයද මුඛ චර්යාව මෙන් ශාරීරික ක්‍රියා මත පදනම් වේ. විශේෂයෙන් අධෝමාර්ගයේ එකතුවන මළ , පහ නොකර වැඩි වේලාවක් තබා ගනිමින් දරුවා සංවේද වින්දනයක් ලැබීමට උත්සාහ දරයි. එමෙන්ම තමන්ට අයිති දෙයක් වෙනත් අයකුට නොදී තම සිරුරේ කොටසක් වශයෙන්ම තබා ගැනීමට උත්සාහ දරයි. වැඩිහිටියන්ගේ අවශ්‍යතාවය හෝ ඉල්ලීම මත මළපහ කරන දරුවා කීකරුකම ප්‍රගුණ කරයි. නැතිනම් එසේ නොකිරීමෙන් ප්‍රතික්ෂේපය හෝ මුරණ්ඩු බව පළ කරයි. එමෙන්ම පායු කලාපය අතින් හෝ ඇඟිලි වලින් පිරිමදිමින් හෝ ස්පර්ශ කරමින් ස්වයං ලිංගික තෘප්තියක් ලබයි.

තෙවන අවධිය වන්නේ ලිංග රූපික අවධියයි. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ට අනුව ළමයින්ට ඉතා කුඩා කාලයේ සිටම පොහොසත් ලිංගික පැවැත්මක් පවතී. නමුත් එය වැඩිහිටියන් හඳුන්වන ස්වාභාවික ලිංගික හැසිරීම්වලට බොහෝ සෙයින් වෙනස් ය. ස්ත්‍රී පුරුෂ වශයෙන් ලිංගික අවයන්හී වෙනස ළමයා මුල් අවධියේදී නොදන්නා අතර මෙම දැනුම ළමයා ලබන්නේ ලිංග රූපික අවධියේදීය. තමන්‍ට ඉතාම සමීප ආදරය කරන දෙමාපියන් සහෝදර සහෝදරියන් තුළින් මේ අවබෝධය ලබයි. පුද්ගලයාගේ ස්ත්‍රී පුරුෂ භාවය උපතේදීම තීරණය වූවක් ය, යන ජනප්‍රිය කායික විද්‍යාත්මක මතය ප්‍රතික්ෂේප කළ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් එය වයස අවුරුදු  4 - 6 අතර වන ලිංගරූපික අවධියේදී සිදුවන බව ප්‍රකාශ කරයි.

සිව්වන අවධිය වන ගුප්ත හෙවත් නිලීන අවධිය යනු වයස අවුරුදු 6 - 12 දක්වා අතර කාලයයි.මෙකල විශේෂිත වූ මනෝ ලිංගික සංවර්ධනයක් පෙන්නුම් නොකෙරේ. එහෙත් සාමාන්‍ය පෞරුෂ ලක්ෂණ සම්පූර්ණ වීම සිදු වේ. සමාජ සම්බන්ධතා ඇතිකර ගැනීමේ රුචිකත්වය වර්ධනය වේ. අවුරුදු 12 න් පසු එළඹෙන්නේ පස්වන අවධියටයි. එනම් වෘද්ධකාම හෙවත් වැඩිහිටි අවධියයි. නැතිනම් ලිංගික අවධියයි. මේ වන විට ළමයා නව යොවුන් වියට පිවිසෙන අතර ලිංගික පරිණතියක් සිදු වේ. විශේෂයෙන් විරුද්ධ ලිංගිකයන් කෙරෙහි අවධානය යොමුකරන අතර තවද තම ලිංගික සමාජභාවය සංවර්ධනය කර ගනී. ලිංගික චර්යාවන් ඇතිකර ගැනීමටත් ඒ පිළිබඳ විනයක් සහ වගකීමක් ගොඩනගා ගැනීමත් සිදු වේ.

සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණවාදී න්‍යාය විස්තර කරන අවසාන සංකල්පය වන්නේ මනෝ ප්‍රතිකාරය. ප්‍රොයිඩ් ඉදිරිපත් කළ මනෝ විශ්ලේෂණය ගොඩනගාගෙන ඇත්තේ ඊට පෙර පැවති මනෝවිශ්ලේෂණ ක්‍රම ශිල්ප අධ්‍යයනය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි. බෲනර් අනුගමනය කළ " කතා කිරීමේ ක්‍රමය " මෙන්ම වාර්කෝ සහ පියරි ජැනට් විසින් අනුගමනය කළ " විද්‍යාගාර පරීක්ෂණ " ක්‍රම ශිල්පද තමා අධ්‍යයනය කළ බව ප්‍රොයිඩ් දක්වයි. එමෙන්ම එවකට පැවති මෝහන ක්‍රමය මෙන්ම මෝචන ක්‍රමය ද අධ්‍යයනය කළ බව ඔහු දක්වයි.

ඒ අනුව මනෝ ප්‍රතිකාරයේදී රෝගියා තමා විඳින පීඩාව, අසහනය, වේදනාව ආදී වශයෙන් රෝග ලක්ෂණ පමණක් නොව කටට එන සියල්ලම අවංක ලෙස නොසගවා පැවසීම අවශ්‍ය වේ. ඇතැම් කරුණු වැදගත් නැතැයි කෙනෙකුට සිතියහැකි වූවද මනෝ විශ්ලේෂකයාට එවැනි කරුණුද වැදගත් විය හැකිය. මෙසේ පිළිවෙලකට නැති වැදගත් යැයි නොසිතන එහෙත් රෝගියාගේ මුවින් ගලා එන වදන් හෝ ප්‍රකාශන තුළ සවිඥනයට ඔබ්බෙන් වූ අවිඥනයේ ලක්ෂණ එළි පෙහෙළි කර ගත හැකිවනු ඇත. සැබවින්ම මනෝ ප්‍රතිකාර යටතේ සිදුකරණුයේ රෝග නිවාරණය හෝ ප්‍රතිකාර කිරීම නොව රෝගියාගේ අවිඥනය සවිඥන ගත කිරීම වේ.

මේ ආකාරයට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණවාදය නම් ගැඹුරු සංකල්පය පිළිබඳව මහාචාර්ය රොනල්ඩ් අබේපාල මහතාගේ ග්‍රන්ථය හරහා සංකල්ප පහක් ඔස්සේ ඉතා සරලව අවබෝධකරගත හැකි අතර මේ පිළිබඳව වැඩිදුරටත් හැදෑරීම සඳහා ග්‍රන්ථය වඩාත් හොඳ මූලාශ්‍රයක් වශයෙන් භාවිත කළ හැකි බවද අවසාන වශයෙන් සඳහන් කළ යුතුය.

Latest