Skip to content

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ශ්‍රේණිගතකිරීම් සටහනේ ඉදිරියට

පසුගියදා ජයග්‍රාහිව අවසන් වූ අයර්ලන්ත හා සමග පැවැති ටෙස්ට් තරගාවලියේ දි දැක් වූ දස්කම් හේතුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ශ්‍රෙණිගත කිරීම් සටහනේ වෙනස්කම් රැසක් කරමින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කීපදෙනෙක්ම සමත්ව සිටිති.

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ අඩුම කරග ගණනකින් කඩුළු 50ක් දවා ගත් දඟ පන්දු යවන්නා ලෙස වාර්තාවක් තැබූ ප්‍රභාත් ජයසූරිය පළමු වතාවට ලොව හොඳම පන්දු යවන්නන් විසි දෙනා අතරට එක්ව සිටියි. ශ්‍රේණිගත කිරීම් සටහනේ ස්ථාන 13ක් පසු කරමින් ප්‍රභාත් 19වැනි තැනට පත්ව සිටියි. එසේම දෙවැනි ටෙස්ට් තරගයේදි අයර්ලන්ත දෙවැනි ඉනිමේ කඩුළු 5ක් දවාගත් රමේෂ් මෙන්ඩිස් ස්ථාන 3ක් පසු කරමින් ශ්‍රේණිගත කිරීම් සටහනේ 32වැනි තැන රැඳී සිටියි.

එසේම මද වේග පන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු ස්ථාන 4ක් පසු කරමින් 59 වැනි තැන රැඳී සිටින අතර අසිත ප්‍රනාන්දු ස්ථාන 2ක් පසුබෑමකට ලක්ව 54වැන්නා බවට පත්ව සිටී.

පිතික⁣රුවන් අතරින් නායක දිමුත් කරුණාරත්න ලොව හොඳම පිතිකරුවන් දස දෙනා අතරේ තවදුරටත් රැඳී සිටින්නේ ඉන්දිය පිතිකරු රිෂ්බා පෑන්ට් දසවැනි තැනට තල්ලු කරමින් ශ්‍රේණිගත කිරීම්වල නවවැන්නා ලෙසයි. එසේම පසුගිය තරගාවලි පුරාම පිත්තෙන් දස්කම් දැක් වූ දිනේෂ් චන්දිමාල් ශ්‍රේණිගත කිරීම්වල තව දුරටත් ඉහළට පැමිනෙන්නේ ස්ථාන 4ක් පසු කරමින් 14 වැන්නා බවට පත්වෙමිනි. සිය මංගල ද්විත්ව ශතකය වාර්තා කළ කුසල් මෙන්ඩිස් ශ්‍රේණිගත කිරීම් සටහනේ ස්ථාන 9ක් පසු කරමින් 42වැනි තැනට පැමිණ සිටියි.

කෙසේ නමුත් පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල 22 වැනි තැන සිටි ඇන්ජලෝ මැතිව්ස් එක් ස්ථානයක් පසුපසට යමින් 23 තැනටද, ධනංජය ද සිල්වා ස්ථාන 2ක් පසුබෑමට ලක්වෙන්නේ 38වැනි තැනට පත්වෙමිනි.

Latest