Skip to content

වැවිලි සමාගම් කිහිපයක් සේවකයින්ට EPF ගෙවලා නෑ

වතු ක්ෂේත්‍රයේ වැවිලි සමාගම් කිහිපයක් EPF ගෙවීම පැහැර හැර ඇති බවත් හිග මුදල් විශාල ප්‍රමාණයක් සේවක අර්ථසාධක අරමුදලට ගෙවීමට ඇති බවත් විදේශ රැකියා සහ ශ්‍රමය පිලිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය වී තිබේ.

වතු ක්ෂේත්‍රයේ සමාගම් ගෙවන ලද මුදල් රුපියල් මිලියන 700 ක පමණ ප්‍රමාණයක් පිළිබඳ ලබාදී ඇති තොරතුරුවල පරස්පරතා හේතුවෙන් ගිණුම්ගත කිරීමට නොහැකි වී ඇති බවත් කාරක සභාව හමුවේ හෙළි විය.

සේවක අර්ථසාධක අරමුදලට ගෙවීමට ඇති හිග මුදල් සහ වර්තමාන මාසික ගෙවීම් කටයුතු ක්‍රමානුකුලව සිදු කරගෙන යාමට කටයුතු කරන ලෙස කාරක සභාවේ සභාපති හෙක්ටර් අප්පුහාමි මහතා වැවිලි සමාගම් නියෝජිතයන්ට උපදෙස් දෙන ලදී.

එමෙන්ම ජාතික හැඳුනුම්පත් අංකයට අනුව ගිණුම් ආරම්භ කිරීම මගින් එකම පුද්ගලයෙකුට ගිණුම් කිහිපයක් තිබීමේ ගැටළු මගහරවා ගැනීමට හැකි බවත් ඒ සඳහා අවධානය යොමු කර ක්‍රියා කරන ලෙසත් කාරක සභාව නිලධාරීන්වෙත උපදෙස් දුන්නේය.

විදේශ රැකියා සහ ශ්‍රමය පිලිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව හෙක්ටර් අප්පුහාමි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස් වී තිබූ අතර කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ ලේකම්වරයා, කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන්, මහබැංකුවේ සේවක අර්ථසාධක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ වතු ක්ෂේත්‍රයේ වැවිලි සමාගම්වල නියෝජිතයින්ද මෙම රැස්වීමට සහභාගී විය.

Latest