Skip to content

හැත්තෑවස් පිරුණු පිළියන්දල අභිමානවත් සළකුණ . .!!

අභිමානවත් පිළියන්දල ඔරලෝසු කණුව 

රටේ විවිධ නගර වල අනන්‍යතාවයන් තහවුරු කරමින් ඒ ඒ නගරයන් සඳහා වෙන්වූ විවිධ ස්ථානයන් හෝ සලකුණු පිහිටා තිබෙනු දැකිය හැකිවේ. එවන් නගර අතුරින් එකක් වන බස්නාහිර පළාතේ,  කොළඹ දිස්ත්‍රික්කයේ, පිළියන්දල නගරයේ ද නගරයට අනන්‍ය වූ සලකුණක්  ඇත. ඒ නගර මධ්‍යයේ පිහිටි ඔරලෝසු කණුව යි

මෙය නගරයේ ජනප්‍රියම සළකුණකි.  අයෙකුට තමන් සොයා ගැනීමට පහසු සලකුණක් ලෙස සඳහන් කරනුයේ මෙම ස්ථානයට පැමිණෙන ලෙසය. "මම ඔරලෝසු කණුව ලඟ ඉන්නම්. එතනට එන්න". එසේම තවත් අයෙකුට එය ව්‍යාපාරික සලකුණකි. "මගේ කඩේ තියෙන්නේ ඔරලෝසු කණුව ඉස්සරහා" එය එතරම්ම පිළියන්දල සිටින  සහ පිළියන්දල නගරයට පැමිණෙන ජනතාවට සමීපය.

ජනතාවට පමණක්ම නොව පරෙවියන්ගේද රජ දහනක් වූ මේ ඔරලෝසු කණුව ඒ හේතුව නිසාම කිසිදා තීන්ත ආලේප කර පිරිසිදුව නම් තබා ගත නොහැකි වූ ස්ථානයකි. කුරුල්ලන් ගේ වසුරු බිත්තිපුරා විසිරී තිබීම නම්  මේ ප්‍රතාපවත්, තේජස් සලකුණට එක් කර ඇත්තේ යම් ආකාරයක අසුභවාදී දැක්මකි.

ඉතිහාසය

වර්ශ 1952 , සැප්තැම්බර් මස 11 වන දින එවක පළාත් පාලන අමාත්‍යව සිටි සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නංගර මහතා විසින් මුල් ගල් තැබූ මෙහි ඉදිකිරීම් 1953 වසරේ අප්‍රේල් 30වනදා වනවිට නිමකර ජනතා අයිතියට පත් කර ඇත. එනම් මාස හතක් වැනි කාලයකින් මෙය තනවා නිමකර ඇත. පිළියන්දල වෑවල ග්‍රාමයේ දිවි ගෙවූ එවකට ප්‍රදේශයේ ප්‍රකට ධානපතියෙකු වූ දිවංගත ඩී. සයිමන් සමරකෝන් මහතාගේ දායකත්වයෙන් ඔරලෝසු කණුව  ඉදිකර ඇත්තේ ඔහුගේ දෙමාපියන් වන කොරනේලිස් විජේවික්‍රම සමරකෝන්  සහ ඔහුගේ බිරිඳ සිහි වීම සඳහාය.

උසින් මීටර 23.8 (අඩි 78) කින්ද , වටප්‍රමාණය මීටර  4.9 ( අඩි16) කින්ද සමන්විත මෙම ඔරලෝසු කණුව පුරාවිද්‍යා වටිනාකමකින්ද යුත් මෙරට පිහිටි උසම ඔරලෝසු කණු අතරින් එකකි.

විශේෂත්වයන්

සිමෙන්ති බදාමයෙන් සහ ගඩොලින් ඉදිකර ඇති  මේ ඔරලෝසු කණුව මහල් තුනකින් සමන්විතය. ඉහලම මහලවෙත යකඩ පඩිපෙළකින් නැග ලඟාවූ විට එහි කොන්ක්‍රීට් යොදා සාදන ලද තට්ටුවකි. පඩිපෙළ මුදුනේ ඔරලෝසු කණුවේ ක්‍රියාකාරීත්වය සහිත යන්ත්‍ර තුනක් ඇති පෙට්ටිකි.  සිව් දෙසටම විහිදී ඇති ඔරලෝසුවේ එකක මුහුණත පළල මීටර  1.52කි එනම් අඩි 5කි. එහි ඇති මිනිත්තු කටුවේ දිග අඩි 2.5ක් වන අතරම පැය කටුව අඩි 2කි. සෑම පැයකට වරක් නාදවන මෙය නාද තුනකින් සමන්විතය.

වර්තමාන තත්ත්වය

මෙම ප්‍රතාපවත් සලකුණ මෙරට ජන්දයක් පැවැත්වෙන සමයේදී ජන්ද අපේක්ෂකයින්ට සම්පතකි.  ඇතැමුන්ගේ ජන්ද පත්‍රිකා තුලද වැජඹෙන්නට මේ ඔරලෝසු කණුව සමත්‍ ය. තවත් අයෙකුගේ මැතිවරණ රැලි පවත්වන  අට්ටාල ඉදිවනුයේද මෙය පාමුලට වන්නය. එපමණක්ද නොව විවිධ ගැටලු මුල්කර ගනිමින්  ජනතා උද්ඝෝෂණයන් පැවැත්වෙනුයේද මේ සලකුණ අභියෙසමය. එහෙත්  පරම්පරා ගණනාවක , ජනතා මෙහෙවරකට ඈඳී සිටින මේ ප්‍රතාපවත් තේජස් සලකුණට ප්‍රදේශයේ ජනතාවගේ ඇත්තේ නම් අපිරිමිත ආදරයකි, දයාවකි.

(මූලාශ්‍ර - අන්තර් ජාලය , ප්‍රදේශවාසීන්, තතු දත් අය)

(චායාරූපය - වරුණ හර්ෂණ )

Latest