Satand-up Comedy airt නැතිනම් නැගී සිටීමේ ප්‍රහසන කලාවේ රජු ලෙස සලකන, ප්‍රතිසංස්කෘතික විකට නළුවන්ගේ පීඨයේ පීඨාධිපති වශයෙන් ලෝකයේ ගෞරවාදරයට පාත්‍ර වූ ජෝර්ජ් ඩෙනිස් ෆැට්‍රික් කාර්ලින් නැතිනම් වඩාත් ජනප්‍රිය ලෙස පවසන්නේ නම් ජෝර්ජ් කාර්ලින් පිළිබඳව මීට පෙර getpeakonline අප ඉතා දීර්ඝ ලිපියක් ඔස්සේ කරුණු සාකච්ඡා කරන ලදී.


එලෙස සාකච්ඡා කරන ලද මෙම අසම සම මිනිසා පිළිබඳව කියැවෙන සෑම අවස්ථාවකදීම අංක එකට කියැවෙන එක් කරුණක් වන්නේ Seven dirty words නැතිනම් අපිරිසිදු වචන හත වන අතර මින් පෙර ලිපියේදී කාර්ලින් පිළිබඳව සාකච්ඡා කිරීම මූලික අරමුණ වූ බැවින් seven dirty words පිළිබඳව වැඩි දුරටත් කරුණු සොයා බැලීමට අපට අවස්ථාවක් නොවීය. නමුත් එම අවස්ථාව පසුව හෝ උදාකර ගැනීමට අපට සිත් විය.
කාර්ලින් පවසන්නේ satand-up comedian කෙනෙකුගේ මූලික කාර්යභාරය වන්නේ " රේකාව ඇඳ ඇත්තේ කොතනදැයි සොයා බලා එය සිතා මතාම තරණය කිරීම වන බවය " ඒ අනුව Seven dirty words අපට ගත හැක්කේ එසේ සිතා මතා රේකාව තරණය කරන ලද අවස්ථාවක් ලෙසට වන අතර එපමණක් නොව කාර්ලින් සිය ප්‍රහසන කලාව 1970 දශකයෙන් පසුව රැඩිකල් වෙනසකට භාජනය කිරීමේ කූඨප්‍රාප්තිය ලෙසට ද අපිරිසිදු වචන හත ගත හැකිය.

කෙසේ නමුත් 1970 දශකයෙන් පසුව කාර්ලින්ගේ රැඩිකල් වෙනස දරා ගැනීමට නොහැකි වූ සමහර රසිකයින් ඔහුගේ කලාවෙන් ඈත් වීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේත් සහ පසු කාලයේ විශේෂයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ගුවන් විදුලියේ සහ රූපවාහිනියේ අදහස් ප්‍රකාශ කිරීමේ සීමාවන් මොට කිරීමට ද එක් සාධකයක් ලෙස බලපා ඇත්තේත් කාර්ලින්ගේ මෙම Seven dirty words ය යනුවෙන් මූලාශ්‍ර පිරික්සීමේදී පෙනී යයි.
මේ ආකාරයකට අපිරිසිදු වචන හත ඉතිහාසයේ දැවැන්ත කතිකාවතක් නිර්මාණය වූ, නැගී සිටීමේ ප්‍රහසන කලාවට මහත් බලපෑමක් එල්ල වූ, නැගී සිටීමේ ප්‍රහසන ශිල්පීන් අදට ද සාකච්ඡා කරණු ලබන, යම් යම් කාරණා සම්බන්ධයෙන් උදාහරණයට ගනු ලබන දැවැන්ත මාතෘකාවක් ලෙස හඳුනාගත හැකිය. එහිදී ශ්‍රී ලංකාවේ මෙම කලාවේ කැපී පෙනෙන ශිල්පියෙකු වන හසලක තුෂාර ද නැතිනම් හසා ද යම් යම් අවස්ථාවලදී Seven dirty words පිළිබඳව පවසනු ඔබ කොතැනක හෝ අසා ඇතැයි සිතමි.

ප්‍රකාශනයේදී නළුවකුනම් සිය ප්‍රකාශනය සඳහා සතර අභිනයම භාවිත කරයි. ගායකයකු නම් නාද සහ හඬ භාවිත කරයි. සිත්තරෙකු නම් වර්ණ සහ හැඩතල භාවිත කරයි. ඉදිං ප්‍රකාශනයේදී නැගී සිටීමේ ප්‍රහසන ශිල්පියෙකුනම් භාවිත කරන්නේ වචනය. ඔහුට ප්‍රධාන ලෙස ඇත්තේ වචන පමණි. එබැවින් නැගී සිටීමේ ප්‍රහසන ශිල්පියෙකු හට වචන යනු ඉමහත් සම්පතකි.
නමුත් මේ වචන භාවිතය නිසාම ප්‍රහසන ශිල්පියෙකු හට මුහුණ දීමට සිදුවන අභියෝගනම් සුළු පටු නොවන බවට ද දිය හැකි හොඳම උදාහරණය වන්නේ කාර්ලින්ගේ Seven dirty words ය. කෙසේ නමුත් වචනයක ගැඹුර, අදහස තීරණය වන්නේ තම තමන්ගේ බුද්ධි මට්ටම අනුව සහ තම තමන්ගේ පුරුදු සහ ඇබ්බැහිකම් අනුව වන බව ද ලිපිය අවසානයේ ඔබට වැටහෙණු ඇතැයි සිතමි. එබැවින් වචන සම්බන්ධයෙන් කලබල වීම, වචනවල ඇති වරදක් හෝ එම වචන ප්‍රකාශ කළ පුද්ගලයාගේ වරදක් නොවන බව ද සිහියේ තබා ගනිමින් ඉදිරියට යන්නේ නම්
1970 දශකය වන විට පැහැදිලිවම සළකුණු කර තිබූ වචන හතක් ඇමෙරිකා එසත් ජනපදයේ රූපවාහිනියේ සහ ගුවන් විදුලියේ ප්‍රචාරය කිරීම, භාවිත කිරීම ඉතා නුසුදුසු ලෙස සලකා තහනම්කොට තිබූ අතර, අවශ්‍යම තැනකදී දුර්ලභ අවස්ථාවන් වලදී වුවද එම වචන ප්‍රචාරය කොට ඇත්තේ බීප් නාදය යොදමිනි. කෙසේ නමුත් බීප් නාදය යෙදීම යනු සැබවින්ම එම වචනය ප්‍රචාරය නොකිරීම වන අතර පහත දැක්වෙන්නේ එම වචන හතයි. නමුත් ඒවා සිංහලයට පරිවර්තනය කොට ගැනීම පමණක් ඔබට බාර කරමි.

1972 මැයි මස 27 වන දා ජෝර්ජ් කාර්ලින් සැන්ටා මොනිකා සිවික් ශ්‍රවණාගාරයේ වේදිකාව මතට ගොඩ වන්නේ ප්‍රහසන වැඩසටහනක් සඳහාය. අතුරු සිදුරු නැතුව පිරුණු ප්‍රේක්ෂකාගාරයක් ඉදිරියේ ඔහු වචන පිළිබඳව කතා කිරීමට පටන්නා ගන්නා ලද්දේ සිය ප්‍රහසන ජීවිතයේ මහත් ආන්දෝලනයක් ළඟ ළඟ එන බව නොදැනම නොවන බව ද විචාරකයින්ගේ අදහසයි.
වැඩසටහනේදී කාර්ලින් ඉහත අපිරිසිදු යැයි සමාජය විසින් සම්මතකොට තිබූ වචන හත ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් සැබවින්ම ඔහු සිදු කරන්නට යෙදුනේ මෙම වචන හත විෂ්ලේෂණාත්මකව විග්‍රහ කිරීම පමණක් වන බව ද විචාරකයින්ගේ අදහසයි. එය වචන පිළිබඳව විග්‍රහයක් පමණි. විචාරකයින් තව දුරටත් පවසන්නේ කාර්ලින් හට මෙම ප්‍රහසන ප්‍රසංගයෙන් පසුව නොයෙකුත් බලපෑම් සඳහා මුහුණදීමට සිදුවන බව ඔහු කල්තියා හොඳින් දැන සිටීමට ඇති බවත් නමුත් සිතා මතාම රේකාව තරණය කිරීමට තරම් ඔහු නිර්භීත වූ බවය. එයට හේතුවක් ලෙස ඔවුන් දක්වන්නේ

ඉන් දශකයකට පමණ පෙර කාර්ලින්ගේ සමීපතම මිත්‍රයකු වූ ලෙනී බෲස්ට ඔහුගේ අසභ්‍ය චර්යාවන් හේතුවෙන් එක්සත් ජනපදයේ සමාජ ශාලාවල රඟ දැක්වීම තහනම් කොට තිබූ බව කාර්ලින් හොඳින් දැන සිටි බවය. එම සිද්ධියෙන් පසුව බෲස් විනාශය කරා තල්ලු වූ බවත් සහ 1962 වර්ෂයේ බෲස් අත්අඩංගුවට ගත් බව ද කාර්ලින් හොඳින් දැන සිට ඇත. මන් ද බෲස් අත්අඩංගුවට ගන්නා ලද අවස්ථාවේ එතන ජෝර්ජ් කාර්ලින් ද සිට ඇත. ඉදිං මේ සියළු කාරණා සිහියේ තබා ගනිමින් ඔහු Seven dirty words නිර්භයව ප්‍රකාශ කළ බව විචාරකයින්ගේ පොදු අදහසයි.
කෙසේ නමුත් කාර්ලින්ගේ මෙම ප්‍රසංගයෙන් ටික කලකට පසු එනම් 1973 ඔක්තෝම්බර් 30 වන දා එක්සත් ජනපදයේ WBAI-FM හී එය ගුවන් විදුලි වැඩසටහනක් ලෙස ප්‍රචාරය වන අතර මෙම වැඩසටහනින් අනතුරුව Morality in media නම් නිරීක්ෂණ කණ්ඩායමක සාමාජිකයකු වූ ජෝන් ඩග්ලස් නමැත්තාගේ 15 හැවිරිදි පුත්‍රයා මෙම වැඩසටහනට සවන් දෙමින් සිටිනු දුටු ඔහු වහාම මෙම වැඩසටහනට සහ ජෝර්ජ් කාර්ලින්ට විරුද්ධව ෆෙඩරල් සන්නිවේදන කොමිෂන් සභාවට පැමිණිල්ලක ඉදිරිපත් කර ඇත.

විශේෂයෙන් මෙම සිද්ධිය සමග සමපාත කරගත හැකි ශ්‍රී ලංකාවේ ඇතැම් ඇතැම් සිද්ධීන් සම්බන්ධයෙන් ඉතාමත් ආකර්ෂණීය විග්‍රහයක් හසලක තුෂාර ඔහුගේ ප්‍රහසන වැඩසටහනක් අතරතුර ඉදිරිපත් කලා මතකෙට එන බැවින් මේත් සමග එය ද නැරඹීමට ආරාධනා කරණුයේ මේ සම්බන්ධයෙන් වඩාත් පෘතුල අවබෝධයක් එවිට ලබාගත හැකි බැවිනි. එහි සබැඳිය ලිපිය අවසානයේ දක්වා ඇත.

කෙසේ නමුත් Seven dirty words සම්බන්ධ ණඩුව අධිකරණයේ දිගින් දිගටම කැඳවන අතර 1975 පෙබරවාරි මාසයේදී ෆෙඩරල් සන්නිවේදන කොමිෂන් සභාව විසින් ප්‍රකාශන නියෝගයක් නිකුත් කරන ලදී. එමගින් ගුවන් විදුලිය සඳහා යම් යම් සම්භාධක පැවරුණු අතර නමුත් මෙම තීන්දුව අභියෝගයට ලක් කරමින් කොලොම්බියා දිස්ත්‍රික් එක්සත් ජනපද අභියාචනාධිකරණය ගුවන් විදුලි විකාශන ආයතනයට පක්ෂව තීන්දුව ලබා දෙමින් ණඩුව ශේෂ්ඨාධිකරණය වෙත පමුණුවන ලදී.

නමුත් ශේෂ්ඨාධිකරණය 1978 ජූලි මස 03 වන දා විකාශනයේදී ගුවන් විදුලියට නියාමනයක් අවශ්‍ය බව සඳහන් කරමින් ණඩුව සමතයකට පත් කෙරූ අතර ඉන් ජෝර්ජ් කාර්ලින් සහ අදාළ ගුවන් විදුලිය ද නිදහස් කරන ලදී. කාර්ලින් ප්‍රකාශ කරන ලද අපිරිසිදු වචන හත ගුවන් විදුලි වාරණ ණඩුවක කොටසක් බවට ද පත් වන්නේ ඒ අයුරිනි.
Seven dirty words ණඩුව සම්බන්ධයෙන් සංෂිප්ත කෙරූ කතාන්දරය මෙය වන අතර සැබවින්ම මෙහිදී අපට වැදගත්ම කොටස වන්නේ වචන සම්බන්ධයෙන් කාර්ලින් දක්වන අදහසයි. නැතිනම් වචන සම්බන්ධයෙන් ජෝර්ජ් කාර්ලින් කියන්නේ කුමක් ද? අපට වැදගත්ම වන්නේ එයයි.
මම වචනවලට ආදරෙයි. මගේ වචන ඇසීම ගැන මම ඔබට ස්තූතිවන්ත වෙනවා. කාර්ලින් මූලිකවම පවසන්නේ ඒ අයුරිනි. ඔහු තව දුරටත් පවසන්නේ අපට දහසකුත් සිතුවිලි සිතට නැගුණ ද ඒ සිතුවිලි සියල්ල දියාරු වන බවය. මන් ද සිතුවිලි ප්‍රකාශ වීමටනම් වචන අවශ්‍ය වන බැවිනි. ඒ අතින් බලන විට අපට ඇත්තේ වචන පමණය. එපමණක් නොව සිතුවිල්ලකට ආදාළ වූ වචනය සමග අප සෑම විටම සිර වී සිටින බැවින් වචනවලින් ප්‍රවේශම් විය යුතු බව ද කාර්ලින් කියයි.

වචන සම්බන්ධයෙන් කාර්ලින්ගේ විග්‍රහය තුළින් අපට පැහැදිලි වන මූලිකම කාරණය වන්නේ වචන සම්බන්ධයෙන් යම් යම් අවස්ථාවලදී අප කලබල වන්නේ, කෝපයට පත් වන්නේ එම වචනය දෙස අප බලන කෝණය අනුව වන බවය. උදාහරණ ලෙස කාර්ලින් කියන්නේ ඔබව රිදවන වචන වලින්ම ඔබව සුවපත් කිරීමට ද හැකි යැයි සිතීමට ඔහු කැමති වන බවය. අවශ්‍යනම් ඉහත වචන හත වෙනත් වෙනත් තැන් වලද වෙනස් වෙනස් අදහස් සඳහා ද යෙදිය හැකි බව ඔහු කියයි.
එනම්, මෙම අපිරිසිදු යැයි සම්මත වචන හතෙන් අපට යම්කිසි කෙනෙකුට ආමන්ත්‍රණය කළ හැකිය. ඒ අනුව එය ආදරණීය ආමන්ත්‍රණයක් සඳහා යොදන වචනයක් ලෙසට අපට පරිවර්තනය කරගත හැකිය. කාර්ලින් පවසන්නේ අපිරිසිදු වචන හතේ සමහර වචන ඔහුට අන්වර්ත නාමයන් සේ පෙනෙන බවය. එම වචන අපට කෑමක් හැඳින්වීම සඳහා යෙදිය හැකිය. පීට්සා, බීම, බයිට්ස් ආදියෙ මුලට එම වචන යොදා අපට රසවත් කෑමක් සඳහා නමක් යෝජනා කළ හැකිය. ඒ අනුව යම්කිසි වචනයක් සභ්‍ය හෝ අසභ්‍ය වන්නේ මිනිසුන් වන අපගේ පාලනය තුළින් බව කාර්ලින්ගේ අදහස් අනුව පැහැදිලි කරගත හැකිය.

කාර්ලින් තව දුරටත් දක්වන්නේ අපිරිසිදු වචන හතේ සඳහන් එක් චනයක් ඉතා වැදගත් වචනයක් වන බවය. එය කිසියම් පුද්ගලයකුගේ ජීවිතයේ ආරම්භය සඳහා යෙදිය හැකි වචනයක් වූවත් මිනිසුන් බොහෝ විට එම වචනය භාවිත කරන්නේ තවකෙකු රිදවීමටය. ඒ අනුව වැරැද්ද ඇත්තේ වචනයෙහි නොව මිනිසුන්ගේ වන බව අපට සිතිය හැකිය.
වචනවලින් පැහැදිලිවම නිශ්චිතවම යමක් අදහස් නොකරන බව ද කියන කාර්ලින් සමහර වචන උච්චාරණය කිරීම නුසුදුසු නම් එම වචන පවතින්නේ ඇයිද යැයි ප්‍රශ්න කරයි. සැබවින්ම එම ප්‍රශ්න කිරීම සාධාරණ වන බව ද මාගේ පුද්ගලික අදහසයි. ඉංග්‍රීසි භාෂාවේ වචන 400000 ක් පමණ ඇති අතර ඉන් 7 ක් උච්චාරණය කිරීම පාපයක් ලෙස සලකන අතර එම අනුපාතය පිළිබඳව ද කාර්ලින් සිය විශ්මය පල කරයි. ඉදිං මෙහිදී කාර්ලින් පවසන්නේ 400000 ක් තරම් මෙතරම් විශාල කණ්ඩායමකින් ඉවත්කොට තැබීම සම්බන්ධයෙන් සැබවින්ම එම වචන හත දැඩි ලෙස කෝප විය යුතු බවය.
වචන සම්බන්ධයෙන් කාර්ලින්ගේ මෙම අදහස් සියල්ලේ සමස්ථ සාරය එකට කැටිකොට ඔහු පවසන්නේ නරක සිතුවිලි, නරක චේතනා ඇති නමුත් මේ ලෝකයේ නරකයි කියා වචන නොමැති බවය.

අපිරිසිදු වචන හත පිළිබඳව අප දැන සිටිය යුතු කරුණු ප්‍රමාණය මෙපමණකැයි සිතූ අතර නමුත් Seven dirty words සම්බන්ධයෙන් පමණක් නොව වචන සම්බන්ධයෙන් මින් එහා ගිය වැඩි අවබෝධයක් ලබා ගැනීම සඳහා සහ වෙනත් අදහසක් ලබා ගැනීම සඳහා ලිපියේ අවසානයේ මූලාශ්‍ර කිහිපයක් ද දක්වමි. හැකිනම් ඒවා සොයා කියවා, නැරඹීමට ද ආරාධනා කර සිටිමි. එය ඔබට වැදගත් වේ යැයි සිතමි.