පුරාණ රෝමාණු ස්ටොයික්වරයෙකු වූ සෙනෙකා ක්‍රි.ව. 65 දී ලුසිලියස්ට මෙසේ පවසයි. " අපගේ ඇස්වලින් අතුරුදහන් වන දෑ හුදෙක් ස්වාභාවික ලෝකයේ ගබඩා කර ඇත. ඒවා නැති වී යයි. නමුත් ඒවා විනාශ වන්නේ නැත. නැවත ඒ දවස පැමිණෙනු ඇත ".
එමෙන්ම අප කවුරුත් දන්නා ජර්මන් ජාතික දාර්ශනිකයකු වන හේගල් ද වරක් මෙවැනි ප්‍රකාශයක් කර ඇත. එනම් " ඉතිහාසය නැවත නැවත නැවත සිදු වේ. මන්ද මිනිසුන් ඉතිහාසය ඉගෙන නොගැනීම නිසාවෙනි ".
හෙගල්ගේ මෙම ප්‍රකාශය තව තවත් පෝෂණය කරමින් ඔසවා තබන කාල් මාක්ස් කියන්නේ " ඉතිහාසය නැවත නැවත සිදු වේ. පළමු වතාවේදී එය කේදවාචකයකි. දෙවැනි වතාවේදී එය විහිළුවකි " (history repeat it self first as tragedy. second as farce ).

ඔය අතර පයිතගරස් පවසා ඇත්තේ " සංක්‍යා යනු අවසාන යථාර්තය වන බවත් සෑම දෙයක්ම නැවත නැවත සිදුවනු ඇති බවත් ය ".
එමෙන්ම ඔබ එදිනෙදා යම් යම් කටයුතු කිරීමේදී බොහෝ විට " මේ වගේ සිද්ධියක් කොහේදි හරි වුණා වගේ මට මතකයි. කොහෙදි ද..................... " යනුවෙන් කලපනා කර තිබේද? ඔබට එවැනි අත්දැකීමක් ඇතිද? ඔබට නොමැතිනම් ඔබේ මිතරකු හෝ ඔබ සමග එවැනි දෙයක් ප්‍රකාශ කර ඇතිද?.
එමෙන්ම අර්ථ විරහිත කාර්යයක් සදහටම පුණරුච්චාරණය කිරීමේ දඬුවමට ලක් වූ සිසිෆස් ඔබට සිහි ගන්වා ගත හැකිද ? කන්දක් උඩට ගලක් තල්ලු කිරීමේ එකම අර්ථ විරහිත කාර්යයක නිරත වූ ඒ සිසිෆස්, ඔබට මතක ද?.
ඉදිං මේ මේ විද්වත් කියමන් අතර මීට පෙර අප විශ්වයේ නීති දොළහ පිළිබඳව ද සාකච්ඡා කළ අතර එම නීති දොළහ සමඟත්, එම විද්වත් කියමන් සමඟත් වන මේ සියල්ල සමග එකට සම්බන්ධ වන දාර්ශනික සංකල්පයක් ලෙස අපට සදාකාලික පුනරාවර්තනය ගත හැකිය ( The concept of the eternal recurrence ) මෙම ලිපිය සදාකාලික පුනරාවර්තනය සම්බන්ධයෙනි.

දාර්ශනික සංකල්පයක් වන සදාකාලික පුනරාවර්තනය යන සංකල්පයෙන් සරලවම කියන්නේ විශ්වයේ සෑම සිදුවීමක්ම අසංක්‍යාත වාර ගණනක් නැවත නැවත සිදුවන බවය. එනම් කාලය සහ සිදුවීම මේ විශ්වය පුරා අසීමිත ලෙස නැවත නැවත පුනරාවර්තනය වේ. හරියටම එකම සිදුවීම සදාකාලිකව එකම ආකාරයකින් නැවත නැවතත් සිදුවන බව මෙමගින් අදහස් කරයි.
සදාකාලික පුනරාවර්තනය පිළිබඳව පයිතගරස්, පුරාණ සොක්‍රටික්වරුන් වන ඇනෙක්සිමෙන්ඩර් සහ එම්පෙඩොක්ලීස්, ස්ටොයික්වරුන් ආදී තැන් කිහිපයකම අදහස් දැක්වෙන අතර නමුත් මේ පිළිබඳව වැඩි දුරටත් සහ ජනප්‍රිය ලෙස සාකච්ඡා කර ඇත්තේ වෙබ් අඩවියේ අප බොහෝ වෙලාවට සාකච්ඡා කළ ජර්මන් ජාතික දාර්ශනිකයෙකුවන ෆෙඩ්‍රික් විල්හෙල්ම් නීට්ෂේ ය.
එමෙන්ම සදාකාලික පුනරාවර්තනය පිළිබඳව සොයන සෑම තැනකදීම ප්‍රධාන වශයෙන් පෙරට එන්නේ නීට්ෂේ මේ සම්බන්ධයෙන් දක්වා ඇති අදහස් වන අතර එපමණක් නොව ඔහුගේ ඉතා ජනප්‍රියම ග්‍රන්ථය වන Thus spoke zarathustra හී මෙය ප්‍රධාන සංකල්පයක් ලෙස ද විස්තර කර ඇත.

තව දුරටත් පැහැදිලි කරගත හැකි පරිදි සදාකාලික පුනරාවර්තනය යනු කාලයෙහි අනන්ත ස්වාභාවය අනුව සිදු වූ හෝ සිදුවනු ඇති සෑම සිදුවීමක්ම නැවත නැවතත් සිදුවනු බවට කියන දාර්ශනික සංකල්පයකි. ෆෙඩ්‍රික් නීට්ෂේට අනුවනම් සදාකාලික පුනරාවර්තනයට ඇඟවුම් කිහිපයක් ඇත. පළමුව ඕනෑම දෙයක් නිමක් නොමැතිව පුනරාවර්තනය වන බැවින් සෑම මොහොතක්ම අසීමිත ලෙස ඕනෑම අයෙකුට වැදගත් වේ.
එම නිසා අප කරනා සෑම ක්‍රියාවක්ම, ගන්නා සෑම තීරණයක්ම අපගේ ජීවිතයට සහ අප අවට ලෝකයට සදාකාලික බලපෑමක් ඇති කරණු ඇත. දෙවනුව එය යෝජනා කරන්නේ අප ජීවිතය සම්පූර්ණයෙන්ම සහ වෙන් කිරීමකින් තොරව වැළඳගත යුතු බවයි. මන්ද අපට එය නැවත නැවත පණ ගැන්වීමට බල කරන බැවිනි. අවසාන වශයෙන් එයින් ඇඟවෙන්නේ අප අපගේම ජීවිතයේ නිර්මාපකයන් වන බැවින් අපගේ ඉරණමට අවසානයේ වගකිව යුත්තේ අප බවයි.
සදාකාලික පුනරාවර්තනය පිළිබඳ අදහස තුළින් මරණින් මතු ජීවිතයක් ඇතැයි කියා යෝජනා නොකරන අතර සදාකාලික පුනරාවර්තනය යනු ඕනෑම නිරපේක්ෂ ආරම්භයක්, ඕනෑම මැවිල්ලක් සහ ඕනෑම දෙවියකු ප්‍රතික්ෂේප කිරිමය. එම නිසා එකල ඔගස්ටින් වැනි ක්‍රිස්තියානි කතුවරුන් විසින් සදාකාලික පුනරාවර්තනය දැඩි ලෙස ප්‍රතික්ෂේප කළ බවද ඉතිහාසය කියයි.

කෙසේ නමුත් ඇතැම් පිරිසක් තර්ක කරන්නේ ෆෙඩ්‍රික් විල්හෙල්ම් නීට්ෂේ විසින් සදාකාලික පුනරාවර්තනය පාරභෞතික සත්‍යයක් ලෙස ස්ථානගත කරන බව වන අතර එසේම ඔහු හෙරක්ලිටියානු මතයන් වෙනත් ආකාරයකින් කියා සිටින බව ද ඔවුන් කියයි. මෙහිදී ඔබට එක් ගැටළුවක් පැන නැගී ඇත. එනම් හෙරක්ලිටියානු මතයන් කියන්නේ මොනවාද ?. එයට පිළිතුරක් දෙන්නේ නම් හෙරක්ලිටියානු මතයන්ගෙන් සරලවම කියන්නේ ඔබට එකම ගඟකට දෙවරක් පා තැබිය නොහැකි බවයි.
ඉතිහාසය සදාකාලික පුනරාවර්තනය පිළිබඳව පුළුල්ව සාකච්ඡා කර ඇති සහ සෑම තැනකම දක්නට ඇති අදහස්වල හිමි කරුවා, නීට්ෂේගේ සදාකාලික පුනරාවර්තනය පිළිබඳ අදහස් තව දුරටත් විමසා බලන්නේ නම් ඔහු පවසන්නේ මිනිසා රික්තකයකින් වට වී ඇති බවය. මිනිසුන් ජීවත් වන්නේ හිස්, තේරුමක් නොමැති විශ්වයක වන අතර නීට්ෂේ සදාකාලික පුනරාවර්තනය භාවිත කර ඇත්තේ පුද්ගලයකු යථාර්තවාදී ජීවිතයක් ගත කරන්නේ ද, නැද්ද යන්න මැන බැලීම සඳහා මාර්ගයක් ලෙසටය.
ඔහු පවසන ආකාරයට ජීවිතය එක්තරා ආකාරයකට සිසිෆස්ගේ පුනරාවර්තනය සිහි ගන්වයි. ඇල්බෙයා කැමූ ඔහුගේ myth of sisyphus ( 1942 ) හී මනුෂ්‍ය තත්වය සංසංදනය කරන්නේ සිසිෆස්ගේ දුක්කිත තත්වයට වන අතර කන්දක් උඩට ගලක් තල්ලු කිරීමේ එකම අර්ථ විරහිත කාර්යය සදහටම පුණරුච්චාරණය කිරීමේ දඬුවමට ලක්වූ සිසිෆස් සම්පූර්ණයෙන්ම බලාපොරොත්තු රහිත තත්වයක සිටිය ද සිසිෆස්ට තවමත් සතුට විය හැකියැයි ඔහු කියන අතර එපමණක් නොව ඔහු තව දුරටත් කියන්නේ විනාශ වූවන් සඳහා ඇති එකම බලාපොරොත්තුව කිසිසේත්ම බලාපොරොත්තුවක් නොවේ. යනුවෙනි.

( සදාකාලික පුනරාවර්තනය පිළිබඳ සංකල්පයේදී සිසිෆස් පිළිබඳව පුළුල් වශයෙන් මෙහිදී සඳහන් වූ අතර සමහරවිට ඔබ සිසිෆස්ගේ කතාන්දරය කොතැනක හෝ අසා තිබෙන්නට පුළුවන. එසේ නොමැති වූවත් සදාකාලික පුනරාවර්තනය වටහා ගැනීම සඳහා සිසිෆස්ගේ කතාන්දරය සම්බන්ධයෙන් මෙහි සඳහන් වූ කරුණු ප්‍රමාණවත් වේ යැයි සිතමි. නමුත් සිසිෆස් පිළිබඳව ද අපි දවසක සාකච්ඡා කරමු. )
නීට්ෂේගේ දර්ශනවාදය ගත් විට ඔහු මූලික වශයෙන් නිදහස, ක්‍රියාව සහ කැමැත්ත පිළිබඳව සැලකිලිමත් වන අතර එම දර්ශනයෙන් පවසන තවත් එක් මූලික දෙයක් වන්නේ ලෝකය යනු ගතික බලවේගයන්ගේ සදාකාලික නාට්‍යයක් බවයි. ලෝකය නැවත නැවතත් සිදුවන චක්‍රයකි. ලෝකය පුනරාවර්තනය වේ. ඔහුගේ zarathustra හී මූලික මූලධර්මය වන්නේ ද ලෝකය නැවත පැමිණේ යන්නය.

Thus spoke zarathustra හී නීට්ෂේ මෙසේ කියයි. " ඔබට තවත් වරක් ගණන් කළ නොහැකි වාර ගණනක් ජීවත් වීමට සිදුවනු ඇත. එය අලුත් දෙයක් නොවනු ඇත. නමුත් සෑම වේදනාවක්ම, සෑම සතුටක්ම, සෑම සිතුවිල්ලක්ම, සෑම සුසුම්ලෑමක්ම ඔබේ ජීවිතයේ කිව නොහැකි තරම් කුඩා හෝ විශාල සෑම දෙයක්ම එකම අනුප්‍රාප්තියකින් සහ අනුපිළිවෙලකින් ඔබ වෙත නැවත පැමිණෙනු ඇත ".
සදාකාලික පුනරාවර්තනය පිළිබඳ සංකල්පය වඩාත් හොඳින් වටහාගත හැක්කේ සාම්ප්‍රදායික බටහිර පාරභෞතික විද්‍යාව ( metaphysics ) නීට්ෂේ විසින් ප්‍රතික්ෂේප කිරීමේ සන්දර්භය තුළය. සදාකාලික , නොවෙනස්වන සහ පරිපූර්ණ යථාර්තයක් පිළිබඳ අදහස මිනිසුන්ට තම ජීවිතය සම්පූර්ණයෙන් වැළඳ ගැනීමට බාධා කරන මුලාවක් බව නීට්ෂේ විසින් විශ්වාස කරන ලදී.
එපමණක් නොව එය සිසිෆස්ගේ පුනරාවර්තනය හා සමාන වන බව ද ඔහු කියයි.

කෙටියෙන්ම සදාකාලික පුනරාවර්තනය පිළිබඳව නීට්ෂේ කියන්නේ, සදාකාලික පුනරාවර්තනය පිළිබඳ සංකල්පය ජීවිතයට අර්ථය සහ වටිනකාම නැවත ලබාදෙන බවය. එය ජීවිතය පිළි ගැනීමට පදනම සපයයි. නීට්ෂේගේ බලයට ඇති කැමැත්ත සහ සුපිරි මිනිසා සදාකාලික පුනරාවර්තනයේ ප්‍රතිවිපාක ලෙස තව දුරටත් සැලකිය හැකිය. ( බලයට ඇති කැමැත්ත සහ සුපිරි මිනිසා පිළිබඳ සංකල්ප පහතින් )


ශක්තිය සහ පදාර්ථ කාලයත් සමග පරිණාමය වන විට පැවැත්ම අසීමිත චක්‍රයක් තුළ පුනරාවර්තනය වන අතර සදාකාලික පුනරාවර්තනය ප්‍රීතිමත් සත්‍යයක් බව ද විශේෂයෙන් නීට්ෂේ අදහන ලදී. එය ජීවිතයේ උපරිමයෙන් ජීවත්වන පුද්ගලයකු විසින් වැළඳගත යුතු අතර පුනරාවර්තනය යනු අකාලික වීම, එනම් සෑම මොහොතකම තම ජීවිතය වර්තමාන සම්පූර්ණත්වය ලෙස අත් විඳීමයි.