"ඔයාගෙ මහත්තයගෙ ජයග්‍රහණය ගැන ඔයාට සතුටුද? ඉතිං සමරමු..., වියර්ස්... මම බොන එක අතහැරියා. දිවුරනවා. ඒත් අවුරුද්දකට සැරයක් රස මතක්වෙන්නත් එක්ක බොනවා. ඔයාව මතක්වෙනවා. හැමදාම මතක්වෙනවා. ගොඩක් මතක්වෙනවා.."

සිනමාව කියන්නේ අපි දකින්න ආස සමහරවිට අපිට දරාගන්න බැරි හීන, ඩිජිටල් තිරයකට ගෙන්න පුළුවන් පුදුමාකාර ෆැන්ටසි මාධ්‍යක්. අද කාලෙ මිනිස්සු දේවල් අහුලගන්නෙ, ගොඩක් වෙලාවට අහන දකින තමන් නිර්මාණ ඇතුලෙන්. හැබැයි මල් වත්තකට සමනල්ලු රංචු පිටින් නාවට කුණු ගොඩකට නිලමැස්සො අහුරු ගණන් එනවා වගේ, සුබවාදීත්වයට වඩා අසුබවාදී නිර්මාණ වලට හොඳ මාකට් එකක් සහ ප්‍රේක්ෂකාගරයක් හැදිලා තියනවා.
ඒ හින්දම "96" "Me Before You'' වගේ ආදරණීය සිනමා කෘති ඔය කියන අසුබවාදී ප්‍රේක්ෂකාගාර ඇතුළෙ සබන් බෝල වගේ මතු වෙලා පිපිරිලා යනවා. 96 බලපු ඒ ප්‍රේක්ෂකාගරය රාමචන්ද්‍රන් වගේ පෙම්වතෙක්, ජානු වගේ පෙම්වතියක්ව කියවන්නෙ විකාරයක් විදිහට. "ඒ ගෑණිට බැඳලා ළමයෙකුත් ඉන්නවා, මේ යකා මෙතන තනියම විඳවනවා, මොනව උනත් ඒ ගෑනිට ඉන්න තිබ්බා" වගේ කියවීම් තමයි ඒ ප්‍රේක්ෂකාගරයෙන් එළියට එන්නෙ. හැබැයි ඒ කතාව ඇතුළෙ ප්‍රේමය සුබවාදීව කියවගත්තු මිනිස්සු බලාගෙන ඉන්නෙ ජානු ආපහු රට නොයා රාම් ළඟ නවතිනකල් නෙමෙයි. ජානු යන්න කලින් ආයෙම එකම එක වතාවක් හැරිලා බලයිද කියලා විතරමයි.
සිපගැනීමක්වත් නැතුව ඇස් දිහා බලාගෙන ඉඳලා සදහටම සමුගත්ත පෙම්වතුන් පෙම්වතියන් මේ ලෝකෙ කොච්චර නම් ඉන්නවා ඇතිද. පොඩිම තරහක්, කහටක් හිතේ නැතුව ආපහු හැරෙන්න තරම්, හැරිලා ඉස්සරහට තමන්ගෙ ගමන යන්න තරම් ඒ මිනිස්සු කොච්චර ආදරණීය වෙන්න ඕනද? මිනිස්සුන්ට සාප කරන්න, වෛර කරන්න, පළිගන්න උගන්නන ලෝකෙම තමයි ඒ මිනිස්සුන්ටම, ආදරය කියන්නෙ පරිත්‍යාගයක්, ජීවිතේ කියන්නෙ හැම මොහොතකම නිරවුල් මානසික සුවයකින්‌තමන්ව හොයාගෙන ඉස්සරහට යෑමක් වගේ සුබවාදී දේවලුත් උගන්වන්නෙ.
2016 අවුරුද්දෙ නිකුත්වුන "Sanam Teri Kasam" කියන්නෙත් ඒවගේ සුබවාදී නිර්මාණයක්. IMDB හි 7.7ක අගයක් ලබා තිබෙන මෙම සිනමා කෘතියේ රංගන දායකත්වය සපයලා තියෙන්නේ එවකට බොලිවුඩ් සිනමාවට හුරුපුරුදු පිරිසක් නෙවෙයි.මෙහි ප්‍රධාන චරිතය රඟපාන Mawra Hocane පාකිස්තානු නිළියක්. Sanam Teri Kasam කියන්නේ ඇයගේ පළමු බොලිවුඩ් සිනමා පටය. ඒවගේම ප්‍රධාන නළුවා වන Harshvardhan Raneගේත් පළමු හින්දි සිනමාපටය වන්නේ Sanam Teri Kasam. පළමු සිනමා නිර්මාණය වුනාට රංගනය අතින් දෙන්නම මේ නිර්මාණයට කිසිම අඩුවක් කරලා නැහැ. විශේෂයෙන්ම Mawra Hocane හට ඇගේ ඉතා සියුම් අභින මගින් ප්‍රේක්ෂකයාව හදවත් තුල සංවේගය නංවන්න පුළුවන් වෙලා තිබෙනවා. කතාව නරඹන අතරතුර මොවුන් දෙදෙනාගේ සාමුහික රංගනයේ සමහර අවස්ථා නිසා මට Beauty and Beast නිරායාසයෙන් මතකයට අවා.
කතාවේ සාරාංශය දෙසට හැරුනොත් ප්‍රධාන චරිත දෙක වෙන්නේ ඉන්දර් සහ සරස්වතී. ඉන්දර් කියන්නේ හුදකලාවේ ජිවිතේ ගෙවෙන මිනිමරුවෙක් කියල හංවඩු ගැහුණු තරුණයෙක්. ඒවගේම සරස්වතී කියන්නේ අතිශය සාම්ප්‍රදායි භාහ්මණ කුලයක තාත්තා කෙනෙක් ඉන්න චාම් අහිංසක ගැහැණු ළමයෙක්. මේ කට්ටියම ජිවත් වෙන්නේ එකම තට්ටු නිවාසයක මහල් දෙකක. සරස්වතීට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඉක්මනටම තමන්ගේ නංගිව කසාද බන්දල දෙන එක. හැබැයි ඒක කරන්න නම් ඉස්සෙල්ලම තමන් කසාද බැඳලා ඉන්න ඕනේ. මොකද පවුලේ වැඩිමලා සරස්වතී නිසා. මේ නීතිය ගේන්නේ සරස්වතී ගෙ තාත්තා. සරස්වතිගේ නංගිටත් ඕනේ කොහොමහරි ඉක්මනට කසාද බඳින්න. එත් සරස්වතිට කිසිම කොල්ලෙක් කැමති වෙන්නේ නැහැ. මේ ප්‍රශ්නේ නිසා ගොඩක් හිත් වේදනාවෙන් ඉන්න සරස්වතීට දවසක් අහම්බෙන් ඉන්දර්ව මුණ ගැහෙනවා.

නොහිතපු විදිහට සිදුවෙන ඒ මුණගැසීමෙන් පස්සේ සරස්වතී ගෙ මුළු ජිවිතයම නොහිතපු විදිහට උඩු යටිකුරු වෙනවා. ඉන්දර්ව මුණගැහෙන සර්ස්වතිට ඇත්තටම මොකද වෙන්නේ? ෆ්ලැට් එකේ ජිව්වත්වෙන මිනිස්සු කියන විදිහට ඉන්දර් කියන්නේ මිනිමරුවෙක් ද? ඔහු සරස්වතිට උදව් කරයිද? මේ හැමදේම දැනගන්න චිත්‍රපටිය අවසානය වෙනකල් ඉන්න වෙනවා.
ඉන්දියන් රුපියල් මිලියන 560ක box office අදායම් වාර්තා තබපු මෙම සිනමා කෘතිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Radhika Rao සහ Vinay Sapru විසින්. මෙහි තවත් විශේෂයක් වන්නේ මෙම නිර්මාණය රචනා කරලා තියෙන්නෙත් අධක්ෂක වරුන් දෙදෙනා විසින්මයි.
ඔලුව හෙල්ලිලා ගිහින් පපුව අස්සෙ තියන් පැසවන්න ආදරයක් තියන මිනිහෙක්ට වේදනාවක් දැනෙන්න ඇඟ හිල්කරන්, පිහි තුඩක්, වෙඩි උණ්ඩයක් බහින්නම ඕනි නෑ. ප්‍රේමය සහ දරාගැනීමයි කියන්නෙ ජීවිතේ ඇතුළෙ එකිනෙකට සමපාත වෙන්න ඕනි හැඟීම් දෙකක් කියලා දැනගෙන හිටියට ඒ දෙක සමපාත කරන්න ඕනි කොහොමද කියලා හරියටම දැනගන්න ඕනිනම් මේක බලන්න.