Skip to content

කොඩිගහයට සල්ලි සල්ලි

(ගීතයකින් දර්ශනය කියවමු.)

- හල්ගම්පිටියේ සුමනකිත්ති හිමි

ජගත් ජයවර්ධන පද රචනය කළ, සරිත් හා සුරිත් ජයවර්ධන දෙපල ඇතුළු කණ්ඩායම ගීතවත් කළ “සල්ලි සල්ලි“ ගීතය වත්මනෙහි ජනප්‍රිය ශානරය තුළ ප්‍රචලිත ගීතයක් වන අතර ජගත් මනුවර්ණ අධ්‍යක්ෂණය කරන “කොඩිගහයට“ නාට්‍යය ද ප්‍රේක්ෂක අවධානය දිනාගත් ජනප්‍රිය නාට්‍යයක් බවට පත්ව අවසන් ය. මෙකී නාට්‍යය තුළ එක් ජවනිකාවක උක්ත ගීතය ප්‍රචාරයවීමත් සමඟ ජන ආශක්ත ගීතයක් බවට පත් වූ අතර ගීතය නිසා අදාළ ජවනිකාව ජනප්‍රිය වී ද, නැතහොත් අදාළ නාට්‍ය ජවනිකාව නිසා ගීතය ජනප්‍රිය වී ද යනු සිතා බැලිය යුත්තකි. එය වෙනම ම මනෝවිද්‍යාත්මක අධ්‍යයනයකින් සාකච්ඡාවට බඳුන් කළ යුතු කරුණකි. එනමුදු මෙකී ලිපිය තුළ අපේක්ෂා කරනුයේ ගීත විචාරයක යෙදීමට හෝ නාට්‍ය විචාරයක යෙදීමට හෝ නොව ගීතය තුළ මතු කෙරෙන දාර්ශනික කාරණාවන් කිහිපයක් සැකෙවින් සාකච්ඡාවට බඳුන් කිරීම ය. මේ ලිපියේ, කොඩිගහයට නාට්‍යයේ නිරූපිත ඇතැම් චරිත උකහා ගැනීම දාර්ශනික හරයන් තේරුම් ගැනීමේ පහසුව පිණිස පමණක් ම වේ.

ගීතයක්, නාට්‍යයක්, කවියක්, කෙටිකතාවක්, නවකතාවක් ආදි ඕනෑම කලා කෘතියක යථාර්ථ නිරූපණය හා ජීවන දෘෂ්ටිය යනුවෙන් විමසිය යුතු අංග දෙකක් අන්තර්ගත වෙයි. මෙහිදී මතක තබා ගත යුතු තවත් වැදගත් කරුණක් වන්නේ කලාකෘතියක විදහා දැක්වෙන යථාර්ථ නිරූපණය හා ජීවන දෘෂ්ටිය එකී නිර්මාණ පසුබිම අනුව සර්ව කාලීන වැදගත්කමකින් යුතු විය හැකි අතර ඇතැම් අවස්ථාවන්හි නිශ්චිත කාලසීමාවකට පමණක් අදාළ විය හැකි බව ය. එමෙන්ම යථාර්ථ නිරූපණය පූර්ණ යථාර්ථය යැයි සමාජය විසින් පිළිගන්නා ඒකමතික සත්‍යය ම විය යුතු යැයි රීතියක් නොමැති බැව් ද ඒ තුළ පැනෙන ජීවන දෘෂ්ටිය ඇගයීම ද, නිශ්චිත නොවන බැව් ද වටහා ගැනීම වටී.

අඩුවැඩි වශයෙන් ඕනෑම නිර්මාණයක අන්තර්ගත වන මෙම ලක්ෂණයන් කෙරෙහි තත්කාලීන ජනවිඥානය පොදු සාධකයක් ලෙස බලපෑම් කරනු ලබයි. තත්කාලීන ජනවිඥානය සැකසෙන්නේ, එකී නිර්මාණය සිදු කරනු ලබන කාලසීමාව තුළ ජීවත්වන මිනිසුන්ගේ ස්වභාවය, සිතුම්පැතුම්, චර්යා රටාවන්, ආකල්ප, විශ්වාස ආදි කරුණු රාශියක් අතීතානාගත ප්‍රත්‍ය සමූහනයෙනි. මෙම සමූහනය සඳහා තත්කාලීන දේශපාලනය, ආර්ථිකය, සංස්කෘතිය ආදි කරුණු හේතු වන අතර පොදු සාධකය වන ජනවිඥානය විමසන්නේ නම් දර්ශන විෂයට උපයෝගීතාමය වටිනාකමක් හිමි වේ. ජනවිඥානය ගොඩනැගෙන්නේ සත්‍යය පිළිබඳ දැනුම පදනම් කර ගෙන වන බැවින් සත්‍යය හා විශ්වාසය අතර ඇති අවියෝජනීය සබඳතාව විමසීම පිණිස දර්ශනය විෂයට අත්‍යන්තයෙන් අවධානය යොමු කළ යුතු වේ. (මෙහිදී දර්ශනය යනු කුමක් දැයි අර්ථවිවරණයට අවධානය යොමු නොකෙරේ.)

මානව චර්යාව සැකසීම පිණිස සත්‍යය හා විශ්වාසය පිළිබඳ දැනුම ඉවහල් වන අතර මෙකී දැනුම ගොඩනැගීම සඳහා හේතු වන්නේ කවරක් ද? නැතහොත් මානවයා දැනුම ලබා ගන්නේ කෙසේ ද? හෝ දැනුම ලබා ගන්නා ප්‍රභවයන් කවරේ ද? යනු දර්ශන විෂයේ අවධානයට පාත්‍රවන පුළුල් විෂය සන්ධාරයකි. උක්ත ගීතය තුළින් මෙකී සන්ධාරය විමසිය හැකි ද යනු මෙම ලිපියේ ප්‍රස්තුතය වේ.

උක්ත ගීතය තුළින් පැනෙන දාර්ශනික ප්‍රශ්න ගණනාවක් ඇති අතර ඒ සියල්ල කෙරෙහිම අවධානය යොමු කළ හැකි නොවේ. මෙම ගීතය තුළ විස්තාරිත මානව චර්යාව නැතහොත් ජීවන දෘෂ්ටිය ප්‍රධාන දහරාවන් දෙකක් අනුව හඳුනාගැනීමට සීමා වෙන අතර එම දහරාවන් ද්විත්වය පහත අයුරින් දක්වාලිය හැකි වේ.

1.    සදාචාර නිශේධනවාදි ජීවන දෘෂ්ටිය

“මසුරන්ට පොදි බැන්ද රන්කාසි තිබුනාට

ගුණධර්ම අදුනන්නේ නෑ“

සදාචාරය හෝ ගුණධර්ම පිළිබඳ තැකීමකින් තොරව ධනෝපායනයේ දී හා ධනය පරිහරණයේ දී මෙන්ම ජීවනයේ දී කටයුතු කරන්නවුන් මින් හැඟ වේ.

2. සදාචාරවාදී ජීවන දෘෂ්ටිය

“සල්ලි තිබුනාට ගුනධර්ම රකිනා එවුන්

හුස්ම ගියදාට සුරලෝකේ වැජබෙයි යෙහෙන්“

ධනෝපායනයේ දී හා ධනය පරිහරණය දී සදාචාරය හා ගුණධර්ම පිළිබඳ අවධානය යොමු කරමින් ජීවත් වන්නවුන් මින් හැඟ වේ.

සමස්ත ගීතය තුළින් මෙකී භාවිතයන් ද්විත්වයෙන් සදාචාර නිශේධනවාදී ජීවන දෘෂ්ටිය පිළිකෙව් කෙරෙන අතර කර්ම සිද්ධාන්තය තුළින් එකී නිදර්ශය සාධාරණීකරණය කෙරේ. මෙය කොතෙක් සත්‍ය නිරූපණයක් ද? මේ පිළිබඳ කථනයට මත්තෙන් මෙකී ජීවන දෘෂ්ටීන් ප්‍රභවය සඳහා බලපෑ ඥාන මාර්ගය විමසීම වැදගත් වේ. එනම් දෘෂ්ටිය සැකසීම කෙරෙහි බලපෑ දැනුම ප්‍රභවය වූයේ කෙසේ ද?

දැනුම යනු සත්‍යය හා විශ්වාසය පිළිබඳ මානවයාගේ පිළිබිඹුව වේ. මෙකී දැනුම පාදක කර ගනිමින්, මානවයාගේ ආකල්ප හා චරණය සැකසෙන බැව් සරල හා ප්‍රකට හඳුනාගැනීම වේ. මෙම දැනුම ප්‍රභවය වීම සඳහා උපයෝගී කර ගන්නා ප්‍රධාන ඥාන මාර්ගයන් තුනක් දර්ශන විෂයේ දී සම්මුඛ වේ. එනම්,

1.    අධිකාරය (පෙරදිග දර්ශනය තුළ සම්ප්‍රදාය හා ශ්‍රැතිය ලෙස ද හඳුන්වන අතර අපරදිග දර්ශනය තුළ විවිධ නාමයන් භාවිතවන අතර ප්‍රකට ව Authority හා Testimony ආදී වදන් දැක ගත හැකි ය.)

2.    තර්කය (බුද්ධිවාදය ලෙස ද හැඳින්වේ.)

3.    ප්‍රත්‍යක්ෂය හා අනුමානය (අනුභූතිය ලෙස ද හැඳින්වේ.)

මෙහිදී මතක තබා ගත යුතු ප්‍රධාන කරුණක් නම් මෙකී ඥාන මාර්ගයන් මානවයා කෙරෙහි වෙන්වෙන් වශයෙන් හෝ එකලාව හෝ ක්‍රියාත්මක නොවන බව යි. එනම් එකිනෙකට බද්ධ ව ක්‍රියාත්මක වන අතර වඩාත් ප්‍රබලව පැනෙන හෝ ග්‍රහණය කර ගන්නා ඥාන මාර්ගය දැනුම කෙරෙහි නිශ්චය වන බව යි. මින් මතු විමසෙන කරුණු තුළ ඥාන මාර්ගය ලෙස ගැනෙන්නේ එලෙස වඩාත් ප්‍රබලව නිශ්චය කෙරී ඇති දැනුම් මාර්ගය බව සැළකිය යුතු මනා ය.

සදාචාර නිශේධනවාදී ජීවන දෘෂ්ටිය කෙරෙහි වඩාත් නිශ්චය වන දැනුම් මාර්ගය කුමක් ද? අනුභූතිය හෙවත් ප්‍රත්‍යක්ෂය හා අනුමානය වේ. මෙහිදී සප්‍රමාණ ඉන්ද්‍රිය ගෝචරය අනුව සත්‍යය හා විශ්වාසය පිළිබඳ දැනුම ගොඩ නගා ගැනීම සිදුවේ. ක්‍රි.පූ. 06 හා 07 වැනි සියවස්වල ඉන්දියාවේ විසූ  චාර්වාකවාදීන් නම් අනුභූතිවාදී චින්තකයන්ගේ ඉගැන්වීම් අනුව සරලව අපගේ ප්‍රස්තුතය විමසා බලමු. චාර්වාකවාදීන් (නූතනය තුළ භෞතිකවාදීන් ලෙස හඳුන්වනු ලබයි.) ප්‍රත්‍යක්ෂයෙන් පරලොව, ස්වර්ගය වැනි සංකල්ප දැක ගත නොහැකි නිසා එවැනි සංකල්පයන් විශ්වාස නොකළ අතර එවැනි සංකල්ප ප්‍රලාප හෙවත් අර්ථ විරහිත සංකල්ප ලෙස බැහැර කරන ලදී. පාළිය තුළ එය විස්තර වන්නේ “අහමේතං න ජානාමි, අහමේතං න පස්සාමි, තස්මා තං නත්ථි“ (මම එය නොදනිමි, මම එය නොදකිමි, එහෙයින් එය නොමැත) යනුවෙනි. මේ අදහස දැක්ම හෙවත් දෘෂ්ටිය වන්නේ නම් ඊට අනුරූප ව ආකල්ප හා චරණය සකස් වේ. මෙම විධිය සදාචාර නිශේධනයක් වන්නේ කෙලෙස ද? එනම් මේ දැක්ම (දැනුම) තුළ මරණින් සියල්ල අවසන් වේ යන විශ්වාසයක් ඇති වේ. එම විශ්වාසය පදනම් ව හොඳ හා නරක පිළිබඳ ආකල්පය නිශේධනය වන අතර කර්මය පිළිබඳ විශ්වාසය ද නැති වී යයි. එය අකිරියවාදය ලෙස දර්ශනය තුළ ප්‍රකට වේ. මෙම විමසීමට අනුව කොඩිගහයට නාට්‍යයේ “මහේෂ්“ (කොඩිගහයට නාට්‍යයේ මහේෂ්ගේ දැනුම් මාර්ගය අනුභූතිය ලෙස පිරික්සිය හැකි ප්‍රබල සංකේත කිහිපයක් නාට්‍යය තුළ වේ. මහේෂ්ගේ තාත්තා, අම්මා, බිරිඳ නම් චරිත විමසීම පුළුල් දාර්ශනික සංවාදයක් පිණිස ඉවහල් විය හැකි නමුදු මෙකී ලිපිය තුළ නොවේ.) යනු භෞතිකවාදියෙක් ලෙස යමෙකුට අර්ථකථනය කළ හැක. එය පූර්ණ සත්‍යයක් ද? නාට්‍යයට අනුව “මහේෂ්“ එක් තැනක දෛවය පිළිබඳ සංවාදයක් මතු කරයි. දෛවය සිය පැවැත්ම තහවුරු කිරීම පිණිස භාවිත කරයි. මෙහිදී දෛවය යනු කුමක් ද? ගීතය තුළ පුනපුනා මතුකෙරෙන සංකල්පයක් නම් සංසාරය පිළිබඳ විශ්වාසය යි. සංසාරය ඇසුරින් දෛවය අර්ථ කථනය කරන්නේ නම්, දෛවය යනු සංසාර නියතියකි. නැතහොත් සංසාර ශුද්ධියකි. නියතව ඇදෙන නිශ්චිත දිනයක අවසන් වන්නේ යැයි සිතෙන සංසාරය පිළිබඳ විශ්වාසයකි. මේ තුළ ද අකිරියවාදයක් හා සදාචාර නිශේධනවාදයක් පැනවෙන අතර පුද්ගල ස්වච්ඡන්දතාව හා නිදහස් චින්තනය ඇවරී යයි. කර්මය ඇසුරින් දෛවය අර්ථ කථනය කරන්නේ නම් දෛවය යනු කර්ම නියතියකි. මේ තුළ ද පුද්ගල ස්වච්ඡන්දතාවට හා නිදහස් චින්තනයට ඉඩ ඇවරී යයි. මේ අනුව මහේෂ් යනු පූර්ණ භෞතිකවාදියෙක් ලෙස දැක්විය හැකි ද?

(මෙහිදී කොඩිගහයට නාට්‍යයේ මහේෂ් යනු සමාජ පිළිබිඹුවක් වන අතර නාට්‍යයේ මෙතෙක් විකාශිත කොටස් අනුව කෙරෙන දළ විමසීමක් පමණි. නාට්‍ය අවසානයේ චරිත නිරූපණය වෙනත් මානයක් දක්වා විහිදිය හැකි වුව ද මෙකී සමස්ත සංවාදය තුළ කියවෙන කරුණු තුළ ම පරිවර්තනය වීම නොවනුමාන ය.)

ඩේවිඩ් හ්‍යුම්, ජෝන් ලොක් වැනි බටහිර අනුභූතිවාදී චින්තකයින් ව්‍යවහාරික සමාජ සංස්ථිතීන්ගේ හේතුඵල සම්බන්ධය මත දැනුම ගොඩ නැගෙන බව පවසන අතර මහේෂ්ගේ දැනුම හා විශ්වාසයන් සඳහා ද අවියෝජනීය හේතුඵල සබඳතාව පාදක වේ. කොඩිගහයට නාට්‍යයේ ම නීතීඥ රොහාන්ගේ චරිතය ඇසුරින් මෙය විමසමු. රොහාන් යනු ධනය, බලය වෙනුවෙන් ඕනෑම මජර වැඩක් කරන්නෙකි. නමුත් ධනය, බලය නිසාවෙන් ඔහු සැපවත් දිවියක් ගත කරන්නෙකි. ධනය හා බලය නිසාවෙන් සමාජයේ හොඳ නමක් පවතින අතර පන්සලේ, ආගමික සමාජය තුළ ද මනා පිළිගැනීමක් ඇත්තෙකි. මහේෂ් යනු මෙහි විරුද්ධ පැතිකඩ යි. මහේෂ්ට ධනය නැත. ධනය නැති නිසා බලය ද නැත. සැපවත් ජීවිතයක් ද නැත. සමාජ පිළිගැනීම කෙසේ වෙතත් සිය පවුල තුළ ද නිසි පිළිගැනීමක් ඇගයීමක් නැත. (රට යාම සඳහා නැගණියගේ සැමියා හමුවීම හා සබැඳි ජවනිකාව අධ්‍යයනය කරන්න.)  සන්සන්දනාත්මක ව මෙය දකින්නෙකුට ධනය නිසා බලය ඇතිවන බව ත්, ධනය හා බලය ඇති නිසා සැපවත් ජීවිතයක් ගත කළ හැකි බව ත්, කෙසේ හෝ ධනය ඉපදවිය යුතු බව ත් යන විශ්වාසය ඇති විය හැකි ය. ඒ ප්‍රත්‍යක්ෂයෙන් හෙවත් අනුභූතියෙන් ඇති කර ගන්නා දැනුමක් බව වටහා ගත හැකි ය. රොහාන්ගේ  හා මහේෂ්ගේ චරිත එක් ශානරයක එකිනෙකට විරුද්ධ සමාජ නිදර්ශනයක් වන අතර යථාර්ථ නිරූපණයක් ද වේ. මේ ජීවන දෘෂ්ටිය සදාචාර නිෂේධනයක් වෙනුවෙන් ආකල්ප හා චරණයන් සැකසීම කෙරෙහි පෙළඹවීමක් ඇති කරනු ලබයි. එමෙන් ම මේ විවරණය මහේෂ්ට හෝ රොහාන්ට පමණක් පොදු සාධකයක් නොවේ. සමස්ත සමාජය තුළ ම අඩු වැඩි වශයෙන් අභ්‍යන්තරිකව හා බාහිරව ප්‍රකට වන්නකි. මෙහිදී අවධානය යොමු කළ යුතු තවත් කරුණක් නම් අනුභූතිවාදි බටහිර දාර්ශනිකයන්ගෙන් කොටසක් ආත්මය පිළිබඳ අදහස පිළිගන්නා බව ත්, තවත් කොටසක් ආත්ම සංකල්පය බැහැර කරන බවත් ය. මේ අනුව, ආත්මවාදී සංකල්ප ඇති හා නැති සදාචාර නිෂේධනවාදි ජීවන දෘෂ්ටිය සංකීර්ණ බව වැටහිය යුතු අතර අනුසන්ධානවාදය, අනුරූප්‍යතාවාදය වැනි තවත් බටහිර දාර්ශනික සංකල්ප සමග විග්‍රහ කිරීමේ දී තවදුරටත් සංකීර්ණ වීම නොවැළැක්විය හැකි වේ.

දෙවනුව, ගීතයෙන් විස්තාරිත සදාචාරවාදී ජීවන දෘෂ්ටිය ප්‍රභවය වී ඇත්තේ කෙසේ ද? ඒ සඳහා වඩාත් නිශ්චය වන දැනුම් මාර්ගය කුමක් ද? ප්‍රත්‍යක්ෂය හෙවත් අනුභූතිය ද? බොහෝ දෙනෙක් එකඟ නොවුණ ද, සදාචාරවාදී ජීවන දෘෂ්ටිය සඳහා වඩාත් නිශ්චය වන දැනුම් මාර්ගය වන්නේ අධිකාරය යි. පෙරදිග දාර්ශනික වචනයෙන් නම් සම්ප්‍රදාය හෙවත් ශ්‍රැතිය යි. බහුතරයක්දෙනා සියයට ගණනින් නම් 75% කට වැඩි පිරිසක් තම විශ්වාසය ගොඩ නගා ගෙන ඇත්තේ ප්‍රත්‍යක්ෂයෙන් දැක නොවේ. අධිකාරයෙනි. සම්ප්‍රදායෙනි. ශ්‍රැතියෙනි. මෙම අධිකාරය සඳහා ආගම සම්බන්ධ වීම අනිවාර්ය සාධකයක් වේ. මෙකී ජීවන දෘෂ්ටිය සඳහා ආගමික ඉගැන්වීම් බලපෑම් සහගත වේ. ආගමික අධිකාරය බලපෑම් සහගත වේ. ඒ අනුව අධිකාරය යනු කුමක් ද? අධිකාරය යනු, තම ශාස්තෘෘවරයා කී පමණින්, පොතපතෙහි සඳහන් වී ඇති පමණින්, විශ්වාස කටයුතු පුද්ගලයෙක් කී පමණින්, පාරම්පරික සිරිත්-විරිත් හා විශ්වාසයන්ට ගැළපෙන පමණින්, සම්ප්‍රදායට හෝ සංස්කෘතියට එකඟ වූ පමණින් ගොඩ නගා ගන්නා දැනුම හා විශ්වාසයන් වේ.  බොහෝදෙනෙක් තම ආගමික ග්‍රන්ථ අධිකාරයක් සේ සළකති. මෙකී විවරණය තුළ පාඨකයනට කාලාම සූත්‍රය සිහිපත් වනු නොවනුමාන ය. කාලාම සූත්‍රයේ සඳහන් මුල් කරුණු 06 මීට අදාළ වේ. පුද්ගලාරෝපණය, පුද්ගල විරෝධය, සම්ප්‍රේෂණ දර්ශනය ආදි විවිධ න්‍යායන්ගෙන් බටහිර දාර්ශනික සන්දර්භය තුළ ද පෙරදිග වේදාන්ත දර්ශනයන් තුළ ද සාධනීය හා නිශේධනීය වශයෙන් අධිකාරය පිළිබඳ විවිධ වශයෙන් විස්තාරිත ව ඇත්තේ ය. ඒ සියල්ල විමසුමට අවකාශය නොවේ. (ලිපිය දීර්ඝ වන බැවිනි)

මෙම සදාචාරවාදී ජීවන දෘෂ්ටිය තුළ ස්වර්ගය හා පරලොව පිළිබඳ විශ්වාසයන් ගොඩ නැගී ඇත්තේ ප්‍රත්‍යක්ෂයෙන් හෝ අනුභූතියෙන් හෝ දැක නොවේ. මෙකී විශ්වාසය තුළ ආකල්ප හා චරණයන් සැකසී ඇත්තේ අධිකාරය පදනම් වීමෙනි. මේ තුළ ද කර්ම නියතියක් ඇතිවීම බොහෝවිට සිදුවන්නකි. ප්‍රස්තුත ගීතයේ පහත ගී ඛණ්ඩයන් කෙරෙහි අවධානය යොමු කරන්න.

“ භව සංසාරේ පව් පින් ලෙසේ

දුක සැප එන්නේ මේ ජිවිතේ “

මෙම සදාචාරවාදී ජීවන දෘෂ්ටිය ඇත්තෝ ද දෛවය පිළිබඳ විශ්වාස කරන අතර දෛවය සංසාරය ලෙසින් ද, දෛවය කර්මය ලෙසින් ද පිළිගනු ලබති. මෙකී සන්දර්භය තුළ මෙම ජීවන දෘෂ්ටි ඇත්තෝ ද සිය ස්වච්ඡන්දතාව හා නිදහස් චින්තනය අවුරා ගනිති. එය නිවැරදි ජීවන දෘෂ්ටියක් ඇති කර ගැනීමට ත් නිවැරදි ආකල්ප හා චරණයන් ඇති කර ගැනීමට ත් බාධාවක් වේ.

ප්‍රස්තුත ගීතය සදාචාරවාදී ජීවන දෘෂ්ටිය යහපත් හා නිවැරදි ලෙස සාධරණීකරණය කළ ද, එසේ පිළිගැනීම දර්ශනයට අනුව කෙතරම් යුක්ති යුක්ත ද යනු පාඨකයා විසින් තීරණය කළ යුත්තකි. (මෙයින් සදාචාර නිශේධනවාදී ජීවන දෘෂ්ටිය නිවැරදි යැයි තහවුරු කිරීමක් නොවේ.) තම නිගමනය සඳහා පහත සඳහන් කරුණු කිහිපය කෙරෙහි අවධානය යොමු කිරීම මැනවි.

සදාචාරය යනු කුමක් ද? ගුණධර්ම යනු මොනවා ද? යන ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දීමේ දී ඒ ඒ සමාජයන් තුළ සංස්කෘතීන් තුළ ඒකත්වයක් දැක ගත හැකි ද? යනු අවධානය යොමු කළ යුත්තකි. ඇතැම් සංස්කෘතියක පැණෙන සදාචාරයක් හෝ ගුණධර්මයක් තවත් සමාජයක දුරාචාරයක් හෝ දුර්ගුණයක් විය නොහැකි ද? සදාචාරය සම්බන්ධ ව සියලු ආගම්, සංස්කෘතීන් සමාන ය යන මිත්‍යාවේ සිටින්නවුන් ද, සිය ආගම හා සංස්කෘතිය සියල්ලටම වඩා ශ්‍රේෂ්ඨයි යන මිත්‍යාවේ සිටින්නවුන් ද සදාචාරය හා ගුණධර්මයන් සන්සන්දනයෙන් ලබා දෙන පිළිතුරු කවරේ දැයි නිශ්චය කර ගත යුතු ය. ඒ තුළ ඇති විශ්වසනීයත්වය ඇගයිය යුතු ය. සිය පැවැත්මට අභියෝගයක් වන තැන්හි සදාචාරයට හා ගුණධර්මයට ලබා දෙන වලංගුභාවය මැන ගත යුතු ය. සදාචාරය හා ගුණධර්ම තුළ ඇති සාපේක්ෂ ප්‍රාමාණික බව විමසිය යුතු ය. පොහොයට නිති පන්සල් යන්නවුන්, පල්ලියට කෝවිලට නිති යන්නවුන් හා සදාචාරය හා ගුණධර්ම නිති අගයන්නවුන් සිය අධිකාරයට හෝ විශ්වාසයට හෝ අභියෝගයක් වන තැන්හි අවි අමෝරා යුදයට යයි නම් එතැන්හි ඇති සදාචාරය හා ගුණධර්ම පිළිබඳ ඇගයිය යුතු ය.

ඒ පමණක් නොව, පූර්ණ නිගමනයකට පැමිණෙන්නට නම් පැවැත්ම නම් සංකල්පය පිළිබඳ වටහා ගැනීම අත්‍යන්තයෙන් සිදු කළ යුත්තකි. ඉහතින් දැක්වූ ජීවන දෘෂ්ටීන් ද්විත්වය හා බැඳි දැනුමෙහි කේන්ද්‍රය බවට පත්වන්නේ පැවැත්ම යි. ඒ ඒ විශ්වාසයන් සබැඳිව පැවැත්ම පිළිබඳව ගොඩනගා ගන්නා ව්‍යූහය, විශ්වාසයන්හි ස්වභාවය මත සදාචාර නිශේධනවාදී හෝ සදාචාරවාදී හෝ විය හැකි ය. එය කෙතෙක් සත්‍යය ද යනු සාපේක්ෂ නියතියක් වන අතර අනන්‍ය ද වේ.

මෙකී දෘෂ්ටීන් හා බැඳි සාංදෘෂ්ටික ප්‍රවණතාවන් අධ්‍යයනය ද අවශ්‍යයෙන් කළ යුත්තකි. සදාචාර නිශේධනවාදි ජීවන දෘෂ්ටිය හා සදාචාරවාදි ජීවන දෘෂ්ටිය තුළ මානවයා කේන්ද්‍ර කිරීම එකලාව කළ හැකි ද යනු අවධානය යොමු විය යුත්තකි. එනම් නූතන මානවයාගේ සාංදෘශ්ටික චරණය තුළ මේ දෘෂ්ටීන් එකලාව දැක ගත හැකි ද? නූතන මානවයාගේ චරණය මේ දෘෂ්ටීන් තුළ බෙදා දැක්වෙන නිශ්චිත බෙදුම් රේඛාව කොතැන්හි ද? එය නිශ්චය කෙරෙන මූලධර්මය කුමක් ද? යනු ද අවධානය යොමු කළ යුත්තකි.

උක්ත ගීතය තුළ විද්‍යමානිත ජීවන දෘෂ්ටීන් වන සදාචාර නිශේධනවාදි ජීවන දෘෂ්ටිය ත්, සදාචාරවාදී ජීවන දෘෂ්ටිය ත් අන්තයන් ද්විත්වයක් නියෝජනය කෙරෙන අතර එකම කාසියක දෙපැත්තක් බැව් ද වටහා ගැනීම පහසු වනු ඇති. මෙකී අන්තවාදීත්වය තුළ මානවයාට මුහුණ දෙන්නට වන ගැටලු කවරේ ද? නිදහස, සාධාරණත්වය, සමානාත්මතාව වැනි යහසංකල්පයන් කෙරෙහි වන බලපෑම කවරේ ද? මෙම බලපෑමෙහි එක් පැතිකඩක් එක් නිදසුනකින් දැක්විය හැකි වේ. එය සරල කියවීමක් පමණක් වන අතර විමර්ශනාතාක්මක අධ්‍යයනය පාඨකයා සතු කාර්යයකි. ඓතිහාසික නිදර්ශනයන්ට අනුව ඉතිහාසය යනු මානව රුධිරය මතින් ගොඩ නැගුණකි. මෙකී රුධිර වහනයන් සඳහා උක්තයෙන් සඳහන් ජීවන දෘෂ්ටීන් ද්විත්වය ම එකලෙස හේතු වී ඇති බැව් පැවසීම උදක් අතිශයෝක්තියක් හෝ මනෝ ප්‍රබන්ධයක් නොවන බැව් වටහා ගැනීම උචිත ය.  එය ද අවධානය යොමු කළ යුත්තකි.

මෙකී සන්දර්භය තුළ යම් ජීවන දෘෂ්ටියක් හොඳ හෝ නරක යැයි ඇගයීම පහසු නොවන්නක් බැව් වටහා ගත හැකි වන අතර නිරන්තරයෙන් හොඳ හෝ නරක තුළ දෝලනය වන මානව භාවිතාව වාච්‍යාර්ථයෙන් මතු කිරීම ප්‍රාමාණික නොවේ. ගීතය තුළ ඇත්තේ ප්‍රාමාණික වාච්‍යාර්ථ විවරණයක් වන අතර සමස්ත ජන සමාජයේ දැනුමෙහි සීමාව ප්‍රත්‍යාවර්තනයට කදිම නිදර්ශනයක් වී ඇති බැව් පමණක් අවසන පවසමි.

Latest