Skip to content
Generated using midjourney V5

ශබ්ද, අපිට විවිධ අයුරින් බලපෑම් කරනවා. සමහර සෞම්‍ය හඩවලට අපේ හදවත් උණු කරන්න පුලුවන් වගේම අමිහිරි හඩවලින් හදවත කම්පාවට, කලබලයට පත් කරන්න පුලුවන්. මෙතෙන්දි නැගෙන ප්‍රශ්නය, ඇත්තටම ශබ්දය අපිට බලපාන්නේ කොහොමද? අපි හොදයි, නරකයි කියන ශබ්ද ඇත්තටම අපිට බලපෑමක් කරනවද? අපි හිතනවාට වඩා ශබ්දයෙන් අපේ ජීවිතයට බලපෑම් එල්ලවෙනවා. මේ ලිපියෙන් ඒ ශබ්ද ගැන හැංගුණු, රසවත් කරුණු දැනගන්නට පුලුවන් වේවි..

අපි ගොඩක් වෙලාවට හිතන්නෙ, ශබ්දය අපිට බලපෑම් කරන්නේ ඒවා කන ගැටුනට පස්සෙ ඇතිවන සිතුවිලි මගින් විතරයි කියලා. කෙටියෙන් කිව්වොත් මානසිකව ඇතිවන බලපෑමක් විදිහටයි අපි ශබ්දය දකින්නෙ. හැබැයි අපේ ශරීරයට භෞතික වශයෙන් බලපෑම් කරන්න ශබ්දවලට හැකියාව තියනවා.

මේකට හොදම උදාහරණය විදිහට, මෑතකදී පියයුරු පිළිකාවලට ශබ්දයෙන් වෙන බලපෑම ගැන කරපු පර්යේෂණය ගන්න පුලුවන්. [1] මේ පර්යේෂණයේදී ශබ්ද යොදාගෙන පිළිකා සෛල වල හැසිරීම, හෝමෝනවල ක්‍රියාකාරීත්වය වගේ දේවල් වෙනස් කරන්න පුලුවන්වෙලා තියනවා. ශබ්දය, සිතුවිලි විදිහට පරිවර්තනය වෙලා ඒ දේ වෙන්න කිසිම හැකියාවක් නැහැ. මොකද පිළිකා සෛල වලට ශබ්දය process කරන්න පුලුවන්කමක් නැහැ. ඒකනිසා අපිට එතනින් පැහැදිලි වෙනවා ශබ්ද වලින් අපිට භෞතික බලපෑමක් එල්ලවෙන්න පුලුවන් කියලා.

මේකට තවත් හොද උදාහරණයක් විදිහට අධෝධ්වනිය හදුන්වාදෙන්න පුලුවන්.

අධෝධ්වනියේ බලපෑම

මිනිස්සු වෙන අපිට අහන්න පුලුවන්කම තියෙන්නෙ 20Hz - 20 000Hz අතර පරාසය කියන එක අපි පොඩි කාලෙ ඉදන්ම දන්න දෙයක්. අධෝධ්වනිය කියන්නේ 20Hz ට පහළින් තියන ශබ්ද වලට.

ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විදිහට මේ අධෝධ්වනිය නිසා අපිට කිසිම මානසික බලපෑමක් ඇති වෙන්නෙ නැහැ.

"There is no reliable evidence that infrasounds below the hearing threshold produce physiological or psychological effects"
                   - World Health Organization

මේ කතාව හරිද?

12Hz ශබ්ද සංඛ්‍යාතයේදී මිනිස් මොළයේ ක්‍රියාකාරී වෙන කොටස් ටික ඔයාලට පහළින් බලාගන්න පුලුවන්. [2]

මෙතනින් සමහර කොටස් ශබ්දය process කරන්න හැඩගැහුණු කොටස්. අනෙක් ඒවා හැගීම් පාලනය සහ ස්වයංසාධක ස්නායු පද්ධතියට අයිති කොටස්. ඒවා ක්‍රියාකාරී වෙලා තියෙන්නෙ 12Hz වගේ අධෝධ්වනි පරාසයක. ඒකනිසා මේ scan එකෙන් WHO එක කරපු ප්‍රකාශයට යම් බලපෑමක් එල්ලවෙනවා.

ඒවගේම අධෝධ්වනි හා සම්බන්ධව, සතුන් පාවිච්චි කරල කරපු පර්යේෂණ ගණනාවක් තියනවා. කාටූන් වල දකිනවා වගේ මේ ගොඩක් පර්යේෂණ වලට යොදාගන්නෙ මීයන්ව. අධෝධ්වනිය සම්බන්ධව මීයන් යොදාගෙන කරපු සමහර පර්යේෂණ කෙළවර වෙලා තියෙන්නෙ මීයන්ගෙ ඉගෙනීමට ඇති හැකියාව, ප්‍රෝටීන් නිපදවීම වගේ ක්‍රියාවන් දුර්වල වෙලා[3]. ඒවගේම සැලකිය යුතු මට්ටමකින් මීයන්ගේ ටෙස්ටොස්ටෙරෝන් සහ ලිංගිකව හැසිරීමට ඇති කැමැත්ත (libito)[4] අඩු වෙලා තියනවා. හැබැයි මේ හැමදේකටම වඩා මේ පර්යේෂණවලින් දැක්ක දරුණුම ප්‍රතිඵලය වුණේ මීයන්ගේ ධමනි බිත්ති ආසාමාන්‍ය විදිහට ඝනවීම. [5] (Vascular Fibrosis) මේ දේවල් මිනිසුන්ගෙත් ඒ විදිහටම සිද්ධ වෙන්න හැකියාවක් තියනවා. ඒ නිසා විවිධ රටවල් අධෝධ්වනියෙන් ආරක්ෂා වෙන්න විවිධ පියවර අරන් තියනවා.

එයින් එකක් විදිහට, සුළං මෝල් ආසන්නයේ ජීවත්වෙන මිනිස්සුන්ගේ සෞඛ්‍ය තත්වය පරික්ෂා කරන්න විවිධ සංවිධාන ඉදිරිපත් වෙලා තියනවා. ඒකට හේතුවෙලා තියෙන්නෙ සුළං මෝල්වල ටර්බයින් යන්ත්‍රවලින් නිකුත්වන අධෝධ්වනි තරංගයි. මේ ගැන වැඩිදුර තොරතුරු windfarmstudy.com හරහා දැනගන්න පුලුවන්.

ඉතින් මේ විදිහට අධෝධ්වනිය සෞඛ්‍යයට අහිතකර බව ඔප්පු කරන්න මේ වෙනකොට සාක්ෂි බොහොමයක් තියනවා. ඒවගේම මේ වෙනකොටත් මේ ගැන පර්යේෂණ ගණනාවක් සිද්ධවෙනවා. ඒ හැම එකකින්ම WHO විසින් කරපු ප්‍රකාශය සාවද්‍ය බවත් ඔප්පු වෙනවා.

අමතර කතාවක් විදිහට, හොල්මන් චිත්‍රපට වල සුලබ දර්ශනයක් විදිහට හොල්මන් බෙරිහන්දෙද්දි කන් දෙකට දරාගන්න බැරුව කන් වහගන්නවා දැකලා ඇති. මේ සිද්ධිය වෙන්නෙත් හොල්මන් විසින් නිකුත් කරන අධෝධ්වනි තරංග නිසාවෙන් කියලා හොල්මන් විශ්වාස කරන සමහරුන් කියනවා. ඒවගේම අධෝධ්වනි තරංගවල බලපෑමෙන් හොල්මන් පේන විදිහ ගැන විස්තර කරපු ලිපියක් Wikipedia එකෙන් හොයාගන්න පුලුවන් වුණා. මෙතනින් කියවන්න [6]

සින්දු අහද්දි පිරිමිකම නැතිවෙනවද?

පර්යේෂණයකින් හොයාගෙන තියනවා, සින්දු අහද්දි පිරිමින්ගෙ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම තාවකාලිකව පහළ බහිනවා කියලා. හැබැයි ගැහැණු අය සින්දු අහද්දි ටෙස්ටොස්ටෙරෝන් මට්ටම ඉහළ යනවා. (ගැහැණු අයගෙත් ටෙස්ටොස්රෝන් කුඩා ප්‍රමාණවලින් තියනවා) මේක හැම genre එකකටම අදාළයි.[7] පහළ charts හොදින් අධ්‍යනය කරන්න.

ස්ත්‍රී, පුරුෂ charts දෙකම බැලුවනම් ටෙස්ටොස්ටෙරෝන් මට්ටමේ අඩුව වෙනසක් කරල තියෙන්නෙ Gregorio නැත්නම් Gregorian Chants කියන music genre එක කියල පැහැදිලිව පේනවා. ඒක ගොඩක් පරණ religious music වර්ගයක්. ආධ්‍යාත්මික හා ආගමික පැත්තට බර සංගීතය, ලෝකෙ තියන සෞඛ්‍ය සම්පන්නම music genre එකක් කියල හදුවන්න හේතු වෙන්නෙත් ඒ නිසාමයි. බහුතරයකගෙ එහෙම වුණත් මේක පුද්ගලයාගෙන් පුද්ගලයාට තියන සංගීත රසය අනුව වෙනස් වෙන්න පුලුවන් දෙයක්. හැබැයි ලංකාවේ මල් සින්දු වලට ඇබ්බැහි වුණොත් ටෙස්ටොස්ටෙරෝන් වල විශාල අපගමනයක් අපේක්ෂා කරන්න පුලුවන්.

Music සම්බන්ධ තවත් පර්යේෂණවලින් හොයාගෙන තියනවා 432Hz සංඛ්‍යාතයෙන් සංගීතයට සවන්දුන්නොත් ගොඩක් හොද ප්‍රතිඵල ලබාගන්න පුලුවන් කියලා. 432Hz සංගීතය මගින් හෘදස්පන්දනය, රුධිර සංසරණය [8,9] වගේම පීඩාකාරී බව [10] (stress) සමතයකට පත්කරනවා වගේම ඒ සංඛ්‍යාතයේ සින්දුවලට සවන්දෙන අතරෙ නින්දට ගියොත් සුව නින්දක් ලබාගන්නත් පුලුවන්කම ලැබෙනවා.[11]

තවත් ශබ්දය ගැන දැනගන්න ගොඩක් දේවල් තියනවා. ඒ ගැන ලිපියේ මීළග කොටසින් අරන් එන්නම් !

Resources :

[1] Infrasound & Brain Changes
[2] Discomfort From 17 Hz Concert
[3] Infrasound & Cognition in Rats
[4] Infrasound & Testosterone in Rats
[5] Infrasound & Fibrosis in Rats
[6] Infrasound & Ghost Sightings
[7] Music and Testosterone
[8] Double-Blinded Study on 440 vs. 432 Hz
[9] 432 Hz & Heart Rate
[10] Double-Blinded Study on 440 vs. 432 Hz
[11] 432 Hz & Sleep Quality

Latest