Skip to content

රෝසිගේ ජනාධිපති හයිය මෙන්න!

ජනාධිපතිවරයාගේ බලයෙන් කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය නීති විරෝධී ලෙස තවමත් නිල නිවසේ රැඳී සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසුවේය.

ඒ, (26) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

තවදුරටත් ජනතා බදු මුදලින් ඇයව නඩත්තු කිරීම නීති විරෝධී බවයි රහුමාන් මහතා පැවසුවේ.

පසුගිය මාස දෙකට පමණක් නිල නිවසේ විදුලි බිල රු.ලක්ෂ 08 පමණ වී ඇති අතර එය නගර සභාව විසින් ගෙවා ඇත්නම් එය ජනතා බදු මුදල්වලට සිදුකරන ආසාධාරණයක් බවද හෙතෙම අවධාරණය කළේය.

''තවම බදු මුදල්වලින් එතුමියව නඩත්තු කිරීම නීති විරෝධීයි. කොළඹ නගරයේ බදු ගෙවන ජනතාවට කරන අපහාසයක් හා ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. ඒ නිසා එතුමිය ජනාධිපතිතුමාගේ බලය අල්ලගෙන ආණ්ඩුකාරවරයාගෙන් සහයෝගය උඩ බලහත්කාරයෙන් නගරාධිපති නිල නිවසේ රැඳී ඉන්නවා. ඒ රැඳී ඉන්න ගමන්ම ජනාධිපති ලේකම් කාර්යාලය එයාට අලුත් පත්වීමකුත් දීලා. ඒ ජනාධිපතිතුමා පළාත් පාලන උපදේශකවරයා හැටියට. මාර ආණ්ඩුවක් මේක මම දන්නෙ නැහැ වික්‍රමසිංහ මහත්මයාට ලැජ්ජ නැද්ද එහෙම නැත්නම් තේරෙන්නේ නැද්ද කියලා. මොකද එතුමිය තවම කොළඹ නගර සභා මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂිකාවක්. තවම ඒ නාමයෝජනා අවලංගු වෙලා නැහැ. දැනට ශ්‍රේෂ්ඨාධිකරණය අදත් නඩුව විභාග කරනවා ඡන්දය තියෙනවද නැද්ද කියලා. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් දෙන්න ඕන ඡන්දයක් සම්බන්ධව. තවම මැතිවරණ කොමිෂන් සභාව මේ නාමයෝජනා අවලංගු කරල නැහැ ඒ උඩ තමයි ජනාධිපති ලේකම් ඒකනායක මහත්මයා එතුමියට ලියුමක් එවනවා ජනාධිපතිතුමාගේ උපදේශකවරයා හැටියට පළාත් පාලන ආයතනවලට පත් කරනවා කියලා.

මෙය මහ අරුම පුදුම වැඩක් වන අතර එය සම්ප්‍රදාය විරෝධී බවයි රහුමාන් මහතා කියා සිටියේ.

''එතුමිය අපේක්ෂිකාවක් හැටියට කොළඹ නගර සභාවට තරඟ කරන කොට මේ පත්වීම තුළ මැතිවරණ ව්‍යාපාරය තුළ අනියම් ආකාරයේ බලපෑමක් එතුමියට කරන්න ජනාධිපති ලේකම් කාර්යාලයේ තනතුරු දීලා තියෙනවා. අපට තේරෙන්නැහැ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉන්න මිනිස්සුන්ට මේකෙ තේරෙන්නේ නැද්ද එහෙම නැත්නම් ජනාධිපතිතුමාට මේක තේරෙන්නේ නැද්ද? තමන්ගේ පක්ෂ අපේක්ෂිකාවක්ට කොහොමද ඒ විෂය  සම්බන්ධව උපදේශිකාවක් හැටියට පත්වීමක් ලබා දෙන්න කියලා. මේක තමයි වික්‍රමසිංහ මහත්තයා හදන්න හදන යහපාලනය සහ කතා කරන ප්‍රජාතන්ත්‍රවාදය ඡන්ද නොතිය යන්න හේතුව මේක.''

අමු අමුවේ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ආණ්ඩුව ක්‍රියා කරමින් සිටින අතර එයට එරෙහිව මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කරන බවද ඔහු සඳහන් කරන ලදී.

''ඒ වගේම නගර සභාවේ කොමසාරිස්තුමියට කියන්න කැමතියි වහාම හිටපු නගරාධිපතිතුමිය නිල නිවසින් ඉවත් කරන්න. මොකද එතුමියට කිසිම අයිතියක් නැහැ තවදුරටත් එකේ රැඳී සිටිමින් ජනතා මුදල් වලින් ඒකෙ තියෙන වතුර බිල ගෙවන්න ලයිට් බිල ගෙවන්න අනෙකුත් දේවල් පාවිච්චි කරන්න නඩත්තු කරන්න දුරකථන බිල් ගෙවන්න. ජනතාවගේ බදු මුදල් වලින් ගෙවන්න නගර සභාවට අයිතියක් නැහැ ඒ නිසා අපි ඉල්ලා සිටිනවා මේ සම්බන්ධව ක්‍රියාත්මක වෙන්න. එතුමිය අයින් වෙන්නේ නැත්නම් උසාවි නියෝගයක් හරහා හෝ අයින් කරන්න. මොකද මේ කොළඹ නගරයේ ජනතාවගේ බදු මුදල්වලින් කාටවත් නීති විරෝධී ලෙස තවදුරටත් රැඳී සිටින්න අයිතියක් නැහැ '' යනුවෙන් වැඩිදුරටත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

Latest