Skip to content

වැව් කැපිල්ලෙන් කල්ල මරේ..!

වයඹ පළාත තුළ පිහිටි වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ මුවාවෙන් බහුතරයක් සිදු කරණු ලබන්නේ ඛනිජ ද්‍රව්‍ය කැණීම් කිරීම බව රජයේ විගනන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදු කර ඇති විමර්ශණයකදී හෙලිවී ඇත.

ශ්‍රී ලංකාව පෞරාණික වාරි පද්ධතියකට උරුම කම් කියන රටකි.විශාල මෙන්ම කුඩා ප්‍රමාණයේ වැව් රැසක් මෙරට පිහිටා ඇත.මෙම වැව් පාදක කර ගනිමින් ජීවිතය සරි කර ගන්නා පවුල් ප්‍රමාණයද ලක්ෂ සංඛ්‍යාත වන්නේය. වැව් පාදක කර ගනිමින් ජීවිකාව කරගෙන යනු ලබන කොටස් දෙකක් ඇත. ගොවීන් සහ මිරිදිය ධීවරයින් එම කොටස් දෙක වන්නේය.ඒ අතරින් ගොවියාට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයකි.ඒ මන්ද යත් අතීතයේදී ලොකු කුඩා වැව් බොහෝමයක් නිර්මාණය වී ඇත්තේ ගොවිතැන් කටයුතු සදහා ප්‍රමුඛතාවය ලබ දෙමින් වන නිසාය.

ගොවිතැන් කිරීමට ජලය මූලික කොට අවශ්‍ය වන්නේය.වැසි කාලයේදී ඇද හැලෙන ජලය ගම් බිම් යට කරගෙන මහ මුහුදට ඇදී යන්නේය.මේ දෙස බලා සිටි අතීතයේ මෙරට කරවූ රජවරුන්  සුදුසු ස්ථාන තෝරා බේරා ගෙන වැව් කොටු ඉදි කර ඇත.අතීතයෙන් ආ ඒ ආදර්ශය ගත් පසු කාලීනව බිහිවූ රාජ්‍ය පාලකයින්ද මෙරට බොහෝ ස්ථාන වල වැව් ඉදිකර ඇති බවක් දක්නට ඇත.

මෙසේ ඉදි කර ඇති වැව් අතරින් මහා වරි මාර්ග,සුළු වාරි මාර්ග ලෙස කොටස් දෙකකට බෙදී යන්නේය.අක්කර 200 ට අඩු කුඹුරු යායක් අස්වද්දන වැව් අයත් වන්නේ ගෙවිජන සේවා දෙපාර්තමේන්තුවටය. අක්කර 200 සිට 1000 දක්වා කුමුරු අස්වද්ද වන වැව් පළාත් වාරි මාර්ග දෙපාර්තමේන්තුවට අයත් වේ. අක්කර 1000 කට වැඩි කුඹුරු ප්‍රමාණයක් අස්වද්දන සියළුම වැව් අයත් වන්නේ වාරි මාර්ග දෙපාර්තමේන්තුවටය.නමුත් අප රටේ ඇති ගලා බසින "ගංගා" සහ "ඔය"අයත් වන්නේ වාරි මාර්ග දෙපාර්තමේන්තුවටය.ඒ අනුව ගංගා සහ ඔය වල් වලින් පෝෂණය වන අක්කර 1000 ට අඩු කුඹුරු යායක් අස්වද්දන යම් වැවක් වේ නම් එය  අයත් වන්නේද වාරි මාර්ග දෙපාර්තමේන්තුවටය. කෙසේ වෙතත් අස්වද්දනු ලබන සියළුම කුඹුරු සදහා ගොවිජන පනත ක්‍රියාත්මක වන්නේය.

මෙරට වැව් පද්ධතියේ වැඩිම උරුම කමක් ඇත්තේ රජරට කලාපයටය. ඒ නිසාම "වැව් බැදි රාජ්‍ය" යැයි රජරට කලාපයට නමක්ද පට බැදී ඇත.අප කථා බහ කරන්නට සුදානම් වන වයඹ පළාත අයත් වන්නේද මේ රජරට කලාපය හෙවත් වැව් බැදි රාජ්‍යයටමය. වයඹ පළාත තුළ කුඩා ප්‍රමාණයේ වැව් 5744 ක් පිහිටා ඇති ඇත. මෙම වැව් පද්ධතියෙන් හෙක්ටයාර් 245,508  වගා කටයුතු කළ හැකි වන අතර ඒ තුළින් පවුල් 144,477 ක් ගොවි පවුල් පෝෂණය වේ. මෙම ගොවි පවුල් වසර පුරා යල සහ මහ කන්න වලදී තම වගා කටයුතු සිදු කරති.

මෙම වැව් පද්ධතිය බොහෝ කාලයකින් ප්‍රතිසංස්කරණයකට ලක්ව නැත. මෙම තත්ත්වය හේතුවෙන් බහුතරයක් වැව් පද්ධතීන් රොන් මඩ වලින් පිරී ගොස් ඇත.වැව් පතුලේ රොන් මඩ ස්ථර තැම්පත් වීම හේතුවෙන් වැසි කාල වලදී වැව ජලයෙන් පිරී නොයන්නේය. වැව් වලට එක් රැස් නොවන ජලය අපහසුවකින් තොරව මහ මුහුදට ගලා යන්නේ දැවැන්ත විනාශයක්ද සිදු කරමිනි. අපි එම අවස්ථාව "ගංවතුර" යනුවෙන් හදුන්වමු. නිසි පරිදි වැව් වලට ජලය එකතු නොවීමේ හේතුව නිසාම බොහෝ කන්න වලදී තම කුඹුරු අස්වැද්ද වීමට ගොවීන්ට නොහැකි වන්නේය. වැව් පතුලේ තැම්පත් වී ඇති රොන් මඩ නිසා ජලය රැස් නොවීම වාසියට කර ගත් තවත් පිරිසක් සිටින්නේය. වැවට යාබදව පදිංචිව සිටි ඔවුන් ක්‍රම ක්‍රමයෙන් තමන් පදිංචි ඉඩමේ වපසරිය වැඩි කර ගනිමින් වැව් පද්ධතිය තම ග්‍රහනයට නතු කර ගන්නේ නීති විරෝධී වැට මායිම් යොදා ගැනීමෙනි.

පෙර සදහන් කර ඇති තත්ත්වයන් හේතුවෙන් වැව් ආශ්‍රිතව සිදු කරණු ලබන වගාවන්  සීඝ්‍ර කඩා වැටීමක් පසුගිය කාලය තුළ සිදුවී ඇත. ඉහළ යන ජන අනුපාතයට අනුව ආහාර නිෂ්පාදනය කිරීමට නම් වාරි පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක විය යුතුමය. ඒ නිසාම තමන් පදිංචි බල ප්‍රදේශ වල ඇති වැව් ප්‍රතිසංස්කරණය කළ යුතු බවට දේශපාලකයින් වගකිව යුතු නිලධාරීන්ට යෝජනා කර ඇත. ඒ අනුව වයඹ පළාතේ තෝරා ගෙන ඇති වැව් 334 ක් ප්‍රතිසංස්කරණය කිරීමට 2016 වසර තුළ තෝරා ගෙන ඇත. තෝරා ගෙන ඇති වැව් වලින් 190 ක් කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් වන අතර,වැව් 144 ක් අයත් වන්නේ පුත්තලම දිස්ත්‍රික්කයටය.

මෙම වැව් 334  අතරින් බහුතරයක් ප්‍රතිසංස්කරණය කිරීම සදහා මධ්‍යම රජය විසින් ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට මුදල් ලබා දී ඇත. වයඹ සංවර්ධන අමාත්‍යාංශය විසින් වයඹ පළාත් වාරි මාර්ග දෙපාර්තමේන්තුවට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීමෙන් සහ වයඹ පළාත් සභාවෙන් පළාත් වාරි මාර්ග දෙපාර්තමේන්තුවට ප්‍රතිපාදන වෙන් කිරීම තුළින් සෙසු වැව් ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කර ඇත.

ඒ අනුව තෝරා ගෙන ඇති වැව් ප්‍රතිසංස්කරණය කිරීම සදහා මධ්‍යම රජය විසින් ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවට රුපියල් 400,000,000 ක මුදලක්ද, වයඹ සංවර්ධන අමාත්‍යාංශය විසින් පළාත් වාරි මාර්ග දෙපාර්තමේන්තුවට රුපියල් 200,000,000 ක මුදලක්ද, වයඹ පළාත් සභාව විසින් පළාත් වාරි මාර්ග දෙපාර්තමේන්තුවට රුපියල් 28,352,436 ක මුදල් ප්‍රතිපාදනයන්ද ලෙස වෙන් කර ඇත.

වැවක් ප්‍රතිසංස්කරණය කරන විට අනුගමනය කළ යුතු ක්‍රමවේදයන් කීපයක් වන්නේය.ඒ අනුව තෝරා ගන්නා වැව් සියල්ල වැසි කාලයේදී වාන් දමන තත්ත්වයේ තිබිය යුතු වේ. අඩි 03 කට වඩා වැඩි රොන් මඩ තට්ටුවක් වැව් පතුලේ තැම්පත් වී තිබීම,මෑත කාලයේ රොන් මඩ ඉවත් නොකළ වැවක් විම විය යුතුමය. තෝරා ගන්නා වැව යටතේ වගා කටයුතු සිදු කරන්නේ කුඹුරු අක්කර 40 කට වඩා අඩු ප්‍රමාණයක් නම් එම වැව් සදහා ප්‍රමුඛතාවය ලබා දිය යුතු වන්නේය.

පෙර සදහන් කර ඇති වැව් 334 ප්‍රතිසංස්කරණය සදහා තෝරා ගත යුතුව ඇත්තේ ඉහත දක්වා ඇති සුදුසුකම් තිබෙන්නේ නම් පමණකි. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් 2016.09.08 දින නිකුත් කර ඇති MNPEA03/2016 චක්‍ර ලේඛණයේ 07 වන ජේදයට අනුව වැව් ප්‍රතිසංස්කරණය සදහා ලබා දීමේදී "පවරණ ලද වැඩ උප කොන්ත්‍රාත් නොදෙන බවට නියෝජ්‍ය සහකාර ගොවිජන සේවා කොමසාරිස්වරුන් වග බලා ගත යුතු" බව සදහන්වේ.

නමුත් ප්‍රතිසංස්කරණය කර ඇති වැව් අතරින් බොහෝමයක් එම කොන්දේසිය උල්ලංඝනය කර ඇති බව විගනන නිලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇත. මන්ද වැව් ප්‍රතිසංස්කරණ කටයුතු සදහා වන කොන්ත්‍රාත් ඇතැම් ගොවි සංවිධාන විසින් ලබා ගෙන තිබුණත් ඒවා ක්‍රියාත්මක කර ඇත්තේ වෙනත් පුද්ගලයින් විසින් බවට අනාවරණය කර ගැනීමට විගනන නිලධාරීන් හැකි වී තිබීම නිසාය. එසේ උප කොන්ත්‍රාත් ලබා ගෙන ඇති බොහෝ දෙනෙකු විවිධ දේශපාලකයින්ගේ කිට්ටු වන්ත හිතවතුන් හෝ ඥාතීන් වීම විශේෂත්වයකි.

මේ ආකාරයට ප්‍රතිසංස්කරණය සදහා  තෝරා ගෙන තිබූ වැව් කීපයක් සම්බන්ධයෙන් මෙම ලියුම්කරු  සොයා බලන්නට කටයුතු කළේය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි ගල්ලැහැපිටිය වැව ප්‍රතිසංස්කරණ කටයුතු සදහා ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සමග ගිවිසුම් අස්සන් කර ඇත්තේ පැරකුම් ගොවි සංවිධානයයි.එම ගිවිසුමට අනුව ගල්ලැහැපිටිය වැව ප්‍රතිසංස්කරණය සදහා රුපියල් 916,000 ක මුදලක් වෙන් කර ඇත.මෙම ලිපියේ පෙර සදහන් කර ඇති අකාරයට ගිවිසුම් අස්සන් කරන ලද ගොවි සංවිධානය හැර වෙනත් පාර්ශවයකට කොන්ත්‍රාත් කටයුතු පැවරිය නොහැකි වන්නේය. නමුත් දේශපාලන හෝ වෙනයම් බලපෑමක් මත ගල්ලැහැපිටිය වැව ප්‍රතිසංස්කරණය කර ඇත්තේ වෙනත් පාර්ශවයක් විසින් බව විගනන නිලධාරීන් හදුනා ගෙන ඇත. එසේ කොන්ත්‍රාත්තුව සිදු කර ඇති දෙවැනි පාර්ශවය විසින් වැවේ රොන් මඩ ඉවත් කරණවා වෙනුවට සිදු කර ඇත්තේ පස් කපා අලවි කිරීම බවටද අනාවරණය වී ඇත.වැවේ වැලි සහිත පස් ඇති ස්ථාන වල අඩි 4 ක් 5 ක් පමණ ගැඹුරට වළවල් කපා ඇති බවටද විගනන නිලධාරීන්ට නිරීක්ෂණය කර ඇත.

ඒ අනුව ගල්ලැහැපිටිය වැවේ රොන් මඩ ඉවත් කිරීමට වෙන් කරන ලද මුදල සහ වැලි සහිත පස් අලවි කිරීමෙන්ද කොන්ත්‍රාත්කරුවා විශාල මුදලක් අයථා ආකාරයට උපයා ගෙන ඇති බවටද චෝදනාවක් ඇත.

කුරුණෑගල දිස්ත්‍රික්කයේම පිහිටි දඩපලගමුව වැව ප්‍රතිසංස්කරණය කිරීමේදී සිදුවී ඇත්තේ ඊට නොදෙවෙනි කටයුත්තකි. මෙම වැවේ තැම්පත් වී ඇති රොන් මඩ ඉවත් කිරීම සදහා දඩපලගමුව එක්සත් ගොවි සංවිධානය 2017 අගෝස්තු මස 24 වැනිදා කුරුණෑගල දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන උප කොමසාරිස්වරයා සමග ගිවිසුමකට එළඹ ඇත. එම ගිවිසුමට අනුව දඩපලගමුව වැවේ රොන් මඩ ඉවත් කිරීම සදහා රජය විසින් රුපියල් 4,761,680 ක මුදලක් වෙන් කර ඇත. නමුත් දඩපලගමුව වැව ප්‍රතිසංස්කරන කටයුතු සිදු කර ඇත්තේ එක්සත් ගොවි සංවිධානය විසින් නොව වෙනත් පාර්ශවයක් විසින් බවට විගනන නිලධාරීන් අනාවරණය කරගෙන ඇත.

මෙම වැවේ අඩි 03 කට වඩා රොන් මඩ තැම්පත් වී ඇති ස්ථාන හදුනා ගෙන ඉන් අඩි 01 ක රොන් මඩ තට්ටුවක් ඉවත් කිරීම සිදු කළ යුතු වේ. කොන්ත්‍රාත්තුව ලබා ගෙන ඇති පුද්ගලයා විසින් සිදු කර ඇත්තේ වැව් පිටියේ එක් කොටසක මීටර් 30 ක් පමණ පළල මීටර් 150 ක් පමණ දිගකින් යුත් කොටසක වැලි සහිත පස් ඉවත් කිරීම පමණක් වේ. එපමණක්ද නොව එම පුද්ගලයා විසින් ඉවත් කර ඇති පස් වැවේ සිට කිලෝ මීටර් 01 ක් පමණ දුරකින් පවත්වා ගෙන යන පස් සෝදා අලවි කරන ස්ථානයකට අලවි කර ඇති බවටද අනාවරණය වී ඇත.

ඒ අනුව දඩපලගමුව වැවේ සිදු කර ඇත්තේ රොන් මඩ ඉවත් කිරීම වෙනුවට වැලි සහිත පස් කපා අලවි කිරීම පමණක්ම වේ.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ අස්වැද්දුම වැවේ රොන් මඩ ජලජ ශාඛ ඉවත් කිරීම සදහා වන කොන්ත්‍රාත්තුව ලබා ගෙන ඇත්තේ උක්කොටුව ශක්ති ගොවි සංවිධානය විසිනි. ඒ සදහා වන ගිවිසුම 2017 අප්‍රියල් මස 21 වැනිදා ගොවි සංවිධානය සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කුරුණෑගල උප කොමසාරිස්වරයා විසින් අස්සන් කර ඇත. රොන් මඩ සහ ජලජ ශාඛ ඉවත් කිරීම සදහා වයඹ පළාත් වාරි මාර්ග දෙපාර්තමේන්තුව විසින් රුපියල් 400,000 ක මුදලක්ද වෙන් කර ඇත.අස්සන් කර ඇති ගිවිසුමට අනුව ඉවත් කළ යුතු වන්නේ රොන් මඩ සහ ජලජ ශාඛ ඝන මීටර් 880 ක ප්‍රමණයක් හෙවත් කියුබ් 310 ක් පමණක් වේ. නමුත් උක්කොටුව ශක්ති ගොවි සංවිධානයේ ලේකම්වරයා විසින් පස් කියුබ් 550 ක් සහ වෙනත් ව්‍යාපෘතීන් සදහා යැයි පවසමින් තවත් පස් කියුබ් 1500 ක ප්‍රමාණයක් ඉවත් කර අලවි කර ඇත.

වැවේ රොන් මඩ සහ ජලජ ශාඛ ඉවත් කිරීම සිදු කළ යුතු වන්නේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ තාක්ෂණික නිලධාරියෙකුගේ පූර්ණ අධීක්ෂණය යටතේය.නමුත් පුදුමයට කරුණ වන්නේ පස් කියුබ් 310 වෙනුවට පස් කියුබ් 2050 ක් ඉවත් කර අලවි කරණ තුරු වගකිව යුතු අංශ දෑස් වසා ගෙන සිටීමය. එමෙන්ම අවිධිමත් ආකාරයට පස් කැණීම හේතුවෙන් වැව තුළ දැවැන්ත ආගාධ නිර්මාණය වී විශාල පාරිසරික හානියක්ද සිදුවී ඇත.

බෝගොඩ වැව අයත් වන්නේ වාරියපොල ගොවිජන සේවා බල ප්‍රදේශයටය.අක්කර 46 ක විශාලත්වයකින් යුත් බොගොඩ වැව යටතේ කුඹුරු අක්කර 102 ක් වගා කරති.

මෙම වැවේ ඇති රොන් මඩ ඉවත් කිරීමට අවසර ලබා දෙන ඉල්ලමින් බොගොඩ ගොවි සංවිධානයේ සභාපති,ලේකම් සහ භාණ්ඩාගාරික විසින් වාරියපොල ගොවිජන සේවා සංවර්ධන නිලධාරියාගෙන් ඉල්ලීමක් කර ඇත. ඒ ප්‍රදේශයේ කොන්ත්‍රාත්කරුවෙකු විසින් තම ගොවි සංවිධානය වෙත යොමු කර තිබූ ලිපියක්ද අමුනමිනි. එම ඉල්ලීම ගොවි ජන සංවර්ධන නිලධාරීවරයා විසින් 2015 අප්‍රියල් මස 15 වැනිදා වාරියපොල ප්‍රාදේශීය ලේකම්වරයා වෙත යොමු කිරීමට කටයුතු කර ඇත. අනතුරුව ප්‍රාදේශීය ලේකම්වරයා විසින් එම ඉල්ලීම වයඹ පළාත් කෘෂිකර්ම, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමු කර ඇත.

පළාත් අමාතයාංශ ලේකම්වරයාගෙන් ලද අනුමැතියෙන් අනතුරුව බොගොඩ වැවේ පස් ඝන මීටර් 10,000 ක් ඉවත් කිරීම සදහා අදාල පුද්ගලික කොන්ත්‍රාත්කරු හා වයඹ පළාත් වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා අතර ගිවිසුමක් 2016 අගෝස්තු මස 24 වැනිදා අස්සන් කර ඇත.

මෙම වැව විශාල එක්ක වන බැවින් එහි තවත් පස් ඉවත් කිරීමට තිබෙන බව බොගොඩ ගොවි සංවිධානය විසින් 2017 අප්‍රියල් 25 වැනිදා නැවත වතාවක් වයඹ පළාත් වාරි මාර්ග අධ්‍යක්ෂකවරයා ගෙන් ඉල්ලීමක් කර තිබුණි. ඒ අනුව නැවත වතාවක් පස් ඝන මීටර් 282,750 ක් ඉවත් කිරීම සදහා වයඹ පළාත් වාරි මාර්ග අධ්‍යක්ෂකවරයා විසින් අදාල පුද්ගලික කොන්ත්‍රාත්කරුට අවසර ලබා දී ඇත.

ඒ අනුව කොන්ත්‍රාත්කරුවා විසින් බොගොඩ වැවෙන් පස් ඝන මීටර් 292,750 ක් ඉවත් කර ඇත.එසේ ඉවත් කර ඇති පස් කොන්ත්‍රාත්කරුවා විසින් පස් නිස්සාරණය කර වැලි ලබා ගන්නා ව්‍යාපාරිකයින් 04 දෙනෙකුට අලවි කර ඇත. පස් අලවි කිරීමෙන් කොන්ත්‍රාත්කරුවා රුපියල් 74,651,250 ක් හෝ ඊට වැඩි මුදලක් උපයා ගෙන ඇති බව විගනන නිලධාරීන් සදහන් කරයි.වැවේ පස් අලවි කිරීමෙන් කොන්ත්‍රාත්කරුවා විශාල ආදායමක් ලබා ඇතත් ගොවි සංවිධානයට කිසිදු ප්‍රතිලාභයක් ලැබී නොමැති බවද විගනන නිලධාරීන් සදහන් කරයි.

මෙම ව්‍යාපෘතීන් සදහා කුරුණෑගල දිස්ත්‍රික්කයට අමතරව පුත්තලම දිස්ත්‍රික්කය තුළ පිහිටි වැව්ද තෝරා ගෙන තිබූ බව මෙම ලිපියේ පෙර සදහන් වේ.ඒ අනුව අපි පුත්තලමේ දිස්ත්‍රික්කයේ ප්‍රතිසංස්කරණය කරන ලද වැව් සම්බන්ධයෙන්ද අවදානය යොමු කරන ලදි.

හලාවත - මහවැව නගරය තුළ පිහිටි මහවැව වැවේ ජලජ ශාඛ සහ අප ද්‍රව්‍ය ඉවත් කිරීම සදහා 2017 සැප්තැම්බර් මස 06 වන දින ගිවිසුමකට එළඹ තිබුණි. ඒ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ හලාවත උප කොමසාරිස්වරයා සහ මහවැව -නැගෙහිර යාය වී වගාකරුවන්ගේ සංගමය අතරය.මෙම වැව ප්‍රතිසංස්කරණය කිරීම සදහා වයඹ පළාත් වාරි මාර්ග දෙපාර්තමේන්තුව විසින් රුපියල් ලක්ෂ 500,000 ක මුදලක් ඇස්තමේන්තු කර ඇත.

ජලජ ශාඛ සහ අප ද්‍රව්‍ය ඉවත් කිරීම සදහා ගිවිසුම් ගත වී තිබුනත් සිදු කර ඇත්තේ වැවේ වැලි සහිත පස් කපා ඉවත් කිරීම බව විගනන නිලධාරීන් විසින් නිරීක්ෂණය කර ඇත.වැව තුළ විශාල වශයෙන් වළවල් නිර්මාණය වී තිබූ අතර,ඒ සියල්ල සිදු කරන ලද්දේ කාර්මික නිලධාරී මහතාගේ වාචික උපදෙස් මත බව කොන්ත්‍රාත්තුව බාරව සිටි නැගෙනහිර යාය වී වගාකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා විගනන නිලධාරීන් හමුවේ පවසා ඇත.එමෙන්ම ජල ශාඛ ඉවත් කරනවා වෙනුවට ඒවා වැව තුළ තැන් තැන් වල ගොඩ ගසා තිබෙන බවක්ද නිරීක්ෂණය වී ඇත.

එමෙන්ම මහවැව වැවට අයත් කොස්වාඩිය ග්‍රාම නිලධාරී වසමේ එක් ස්ථානයක නාන මංකඩක් ඉදිකිරීමට යැයි පවසමින් බැකෝ යන්ත්‍ර යොදා වැලි ඉවත් කර ඇති බවටද අනාවරණය වී ඇත.එසේ වැලි ඉවත් කිරීම සදහා කිසිදු පාර්ශවයක් විසින් අවසර ලබා ගැනීමක් හෝ අවරස ලබා දීමක්ද සිදු කර තිබී නැත.එමෙන්ම එම ස්ථානයෙන් ඉවත් කරන ද වැලි විශාල ප්‍රමණයේ ලොරි රථ වලින් ප්‍රවාහනය කිරීම හේතුවෙන් කොස්වාඩිය සමාධි මාවත දැඩි ලෙස අබලන් වී ඇති බවටද මහවැව ප්‍රාදේශීය ලේකම්වරයා විසින් 2017 ඔක්තොම්බර් මස12 වැනිදා වයඹ පළාත් වාරි මාර්ග අධ්‍යක්ෂකවරයා වෙත දැණුම් දීමට කටයුතු කර ඇත.

ඉහතින් දක්වා ඇත්තේ වයඹ පළාතේ වැව් ප්‍රතිසංස්කරණය මුවාවෙන් සිදු කර ඇති වංචා සහ දුෂණ වලින් ඉතාමත්ම සුළු ප්‍රමාණයක් පමණි. මන්ද වැව් 334 ක් ප්‍රතිසංස්කරණය කරන මුවාවෙන් සිදු කර ඇති කෙරුවාව පිටු කීපයක ලිපියකින් ගෙනහැර දක්වන්නට තරම් ඉඩකඩ මදි නිසාය.කෙසේ වුවත් වැව් වල එකතු වී ඇති රොන් මඩ ඉවත් කරන මුවාවෙන් ඇතැම් ගොවි සංවිධාන මෙන්ම පුද්ගලික කොන්ත්‍රාත්කරුවන් නම් සිදු කර ඇත්තේ දැවැන්ත ජාවාරමක් බව නම් සත්‍යයකි.

හෙට දිනයේද නැවතත් අප රටේ ඇති වැව් ප්‍රතිසංස්කරණය කරන්නට ඇතැම් දේශපාලකයින් මෙන්ම නිලධාරීන්ද ඉදිරිපත් වනවා ස්ථීරය. හැබැයි ඒ අහසින් වැටෙන එක දිය බිදුවක් වත් මුහුදට යන්නට නොදී රැක ගන්නට නොව තම සාක්කුව පුරවා ගැනීමේ අදහසින් වන බව නම් එදිනට සත්‍යයක්ම වන්නේය.

Latest