ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අගෝස්තු මස දෙවන සතියේ ඉන්දීය දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රධාන මාතෘකාව බවට පත් වූයේ ය. මනිපූර් ප්‍රාන්තයේ පසුගිය සමයෙහි ඇතිවූ නොසන්සුන්තා සහ එය පාලනය කිරීමට ආණ්ඩුව ප්‍රමාණවත් ලෙස කටයුතු නොකිරීම අරභයා මෙම විශ්වාසභංග යෝජනාව පසුගියදා කතානායකවරයා වෙත භාරදී තිබුණි.
මෙම විශ්වාසභංග යෝජනාව ජයගන්නා බවක් කිසි ලෙසකින්වත් දිස් වන්නේ නැත. ඊට හේතුව නම් භාරතීය ජනතා පක්ෂයට සහ එයට සහය දෙන පක්ෂවලට ඉන්දීය පාර්ලිමේන්තුවේ ආසන 300 ක් ඉක්මවා හිමිව තිබීම ය. ඉන්දීය ඉතිහාසය මුළුල්ලේම කිසිදු විශ්වාසභංග යෝජනාවක් සම්මත වී නැති බව ද දේශපාලන ඉතිහාසය අපට පෙන්වයි. 1979 දී තමන්ට එරෙහි විශ්වාසභංග යෝජනාවක් සම්මත වීමේ අවකාශය දිස්වූ විට එවක අගමැති මොරාජි දේසායි ඉල්ලා අස්වූයේ ය. ඊට අමතරව නරසිම්හ රාඕ අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් වූ එක් විශ්වාසභංග යෝජනාවකින් ඔහු බේරුණේ යන්තමිනි. ඒ හැර අන් විශ්වාසභංග යෝජනා සියල්ලකින්ම ඒ ඒ කාලවල සිටි අගමැතිවරු පහසුවෙන් එගොඩ වූහ. 1998 සහ 1999 වසරවලදී අටල් බිහාරි වජ්පායි පරාජය වූයේ විශ්වාසභංග යෝජනාවලින් නොව විශ්වාසය පළකිරීමේ යෝජනාවලින් බව ද මෙහිදී මතක් කළ යුතු ය.
මෝදිට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව පරාජය වන බව දන්නේ නම්, විපක්ෂය එවන් යෝජනාවක් ඉදිරිපත් කරන්නේ සහ ඒ පිළිබඳ විශාල අවධානයක් දෙන්නේ මක් නිසාද යන්න එක්වරම කිසිවකුට ඇතිවන ප්‍රශ්නයයි. මෙහිදී අප මතක තබාගත යුතු කරුණ වන්නේ තවත් මාස කිහිපයකින් ඉන්දියාවේ ඊළඟ මහමැතිවරණය පැවැත්වෙන බවයි. විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වූ අවස්ථාවක පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීම අනිවාර් යය වේ. එහෙයින් මෙම පාර්ලිමේන්තු විවාදය විපක්ෂය විසින් භාවිතා කෙරෙන්නේ ඊළඟ මැතිවරණය සඳහා ප්‍රචාරක ව්‍යාපාරයේ කොටසක් ලෙස ය.
මෙහිදී විපක්ෂය මූලික වශයෙන් කාරණා දෙකක් පෙන්නුම් කිරීමට උත්සාහ කරයි. එයින් පළමු කරුණ නම් මෑතකදී ස්ථාපිත කරන ලද "ඉන්දියා" සන්ධානයේ එක්සත්භාවයයි. ඉතිහාසයේ බිහිවූ ඇතැම් සන්ධානවල අසාර්ථකත්වයන් සහ බෙදීම් දැක ඇති ඉන්දීය ජනතාවට මෙම සන්ධානයේ එක්සත්භාවය පෙන්වීම අත්‍යවශ්‍ය කරුණකි. ඉතිහාසයේ දක්නට ලැබුණ තෙවන පෙරමුණුවල දිස්වූ ආකාරයේ බෙදීම් මෙම සන්ධානයේ නොමැති බව පෙන්වීමට විපක්ෂය උත්සුක වෙයි. මෙහිදී "ඉන්දියා" සන්ධානයට අතීතයේ දී ඇතිවූ තුන්වන පෙරමුණු බලවේගවලට වඩා වාසිදායක තත්ත්වයක් වෙයි. එනම්, මෙම සන්ධානය ප්‍රබල තනි පක්ෂයක් වටා ඒකරාශී වී තිබීමයි. අතීතයේදී බිහිවූ ජනතා පක්ෂය තනි තනි වශයෙන් ශක්තිමත් පක්ෂ හතරක සන්ධානයක් වූ අතර පසුකාලීනව බිහිවූ ජාතික පෙරමුණ සහ සමගි පෙරමුණ කුඩා පක්ෂ ගණනාවක සන්ධාන වූහ. ඒවා අභ්‍යන්තර කුළල් කාගැනීම් හමුවේ විනාශ වූ අතර කිසියම් තනි අක්ෂයක් වටා ඒකරාශී නොවීම ද ඊට බලපෑවේ ය.

විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයේදී සිය උපක්‍රමික එක්සත්භාවය පෙන්වීම සහ එක්සත්ව ඡන්දය දීම මගින් විපක්ෂය බලාපොරොත්තු වන්නේ තමන් බරපතල අභියෝගයක් බව ඡන්දදායකයාට ප්‍රදර්ශනය කිරීම ය.
මේ අතර, විපක්ෂය මෙම විවාදයේ දී අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රතිරූපය බිඳදැමීමේ ප්‍රයත්නයක් අරඹා තිබේ. මෝදි සාමාන්‍යයෙන් බෙහෙවින් ජනප්‍රිය නායකයකු බැවින්, මෙතෙක් විපක්ෂය වැඩියෙන් උත්සාහ කළේ ඔහු වටා සිටින අයට පහරදීමයි. නමුත් මෙම අවස්ථාවේ දී විපක්ෂය මෝදිගේ ශක්තිමත් නිලයන් සොයා ඒවාටම පහරදීමේ අවදානම් සහගත පියවර ගන්නා බව පෙන්නුම් කරයි.
ප්‍රධාන වශයෙන්ම ඔහුගේ ශක්තිමත් ලක්ෂණ හතරක් කෙරේ දරුණු ප්‍රහාර එල්ල කිරීමට විපක්ෂය පටන් ගෙන ඇති බව ප්‍රවීණ ඉන්දීය මාධ්‍යවේදියකු වන ශේකර් ගුප්තා තර්ක කරයි. මේ අනුව, විපක්ෂය විසින් මෝදිට පහර දෙන ප්‍රධාන කරුණු බවට පත්ව ඇත්තේ ජාතික ආරක්ෂාව, දේශප්‍රේමය සහ ජාතිකවාදය, ශක්තිමත්භාවය සහ ස්ථිරසාරභාවය, ජනතාව කෙරේ ඇති සහනුකම්පාව සහ කාර්යශූරත්වය යන කරුණු ය. සාමාන්‍යයෙන් මෝදි සහ ඔහුගේ ආණ්ඩුව ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට සමත් යයි මතයක් වෙයි. මෙම මතය 2019 මහමැතිවරණයේදී ද ඉතා වැදගත් වූයේ ය. එමෙන්ම මෝදිගේ දේශප්‍රේමය පිළිබඳ බොහෝදෙනා තුළ දැඩි විශ්වාසයක් පවතී. ඔහු ස්ථිරසාර අයකු මෙන්ම තීරණ ගැනීමේදී වැනෙනසුළු නොවන්නකු බවට ද අදහසක් පවතී. ජනතාව කෙරෙහි සහානුකම්පාව සහිත මෙන්ම දිනකට පැය දහ හතක්, දහ අටක් රට වෙනුවෙන් කැපවී සේවය කරන්නකු ලෙස ඔහු පිළිබඳ ප්‍රතිරූපයක් ගොඩනැගී ඇත. විපක්ෂය දැන් මෙම සියළු කරුණු ඉලක්ක කරගෙන මෝදිට පහර දෙන්නට පටන් ගෙන ඇති බව පෙනෙන්නට තිබේ.

චීනය විසින් ඉන්දු-චීන දේශසීමාවේ ඇතැම් ස්ථානවල සිය හමුදා රැඳවීම සහ ඉන් දියාවට අයත් ඇතැම් ස්ථාන අල්ලාගැනීම පිළිබඳ චෝදනාව සහ මනිපූර් හි ආරක්ෂාව සැලසීමේ දැක්වූ අසමත්භාවය ජාතික ආරක්ෂාව පිළිබඳ මෝදිගේ හැකියාව ප්‍රශ්න කෙරෙන ප්‍රධාන සිද්ධීන් ය. එමෙන්ම රාහුල් ගාන් ධි මෝදි වෙත ඍජුවම චෝදනා කරමින් මෝදි දේශප්‍රේමියකු නොව දේශද්‍රෝහියකු බව සඳහන් කළේ ය. තවද කොන්ග්‍රස් පක්ෂ මන්ත්‍රී ගෞරව් ගොගොයි මෝදිට චෝදනා කළේ මනිපූර් හි කාන්තාවන්ට පහරදීම් සිදුවන විට, මෝදි කර්ණාටකයේ ඡන්ද සිඟාකමින් සිටි බව ය. (මනිපූර් හි කාන්තාවන් දෙදෙනකු නිරුවත්කර පහර දීමේ සිද්ධිය සිදුවූයේ කර්ණාටක මැතිවරණය පැවති සමයේ ය). එමෙන්ම 2021 දී කෝවිඩ්-19 පැතිර යමින් මිනිසුන් සිය ගණන් මැරී වැටෙද්දී මෝදි බටහිර බෙංගාලයේ ඡන්ද සිඟාකෑමේ යෙදුණ බව ද ඔහු චෝදනා කළේ ය. මේ අනුව මෝදි ජනතාව කෙරේ සහානුකම්පා සහිත නායකයකු ය යන ප්‍රතිරූපය බිඳදැමීමට විපක්ෂය එමගින් තැත් කළේ ය. තවද මෝදි කාන්තා ඡන්දදායකයන් අතර ජනප්‍රිය අයකු වන හෙයින් මනිපූර් කාන්තාවන්ගේ සිද්ධිය විපක්ෂයට තවත් වැදගත් වී තිබේ.
රාමායනය කතාව වෙත අවධානය යොමු කිරීමට ද රාහුල් ගාන්ධි සිය කතාවේදී අමතක නොකළේ ය. ලංකා රාජ්‍යය ගිනිගත්තේ හනුමන් නිසා නොව රාවණගේ අහංකාරකම නිසා බව පැවසූ හෙතෙම මෝදි ද ඉන්දියාවේ තැන තැන භූමිතෙල් වක්කරමින් ගිනි තබමින් යන බව කියා සිටියේ ය. විටෙක මනිපූරය ගිනිතැබූ ඔහු පසුව හර්යානාව ද ගිනිතැබූ බව රාහුල් ගාන්ධි චෝදනා කළේ ය.
කෙසේ වෙතත්, මෙම ලියුම්කරුගේ මතය වන්නේ මෝදිගේ ශක්තිමත්ම ස්ථානවලට පහරදීම අවදානම් සහිත උපක්‍රමයක් බවයි. මෝදි මේ කියන කරුණුවලදී අසාර්ථක යයි පවසන්නේ නම් ඔහුට වඩා හොඳ විකල්පයක් විපක්ෂයෙන් ඉදිරිපත් විය යුතුය. රාහුල් ගාන්ධි ඒ සඳහා සුදුසු විකල්පයක් නොවේ. ඔහු මෝදි ඉදිරියේ මේ කියන කරුණු සියල්ලෙන්ම පාහේ පරාජය වනු ඇත. ජාතික ආරක්ෂාව, ස්ථිරසාරභාවය, දේශප්‍රේමය, සහානුකම්පාව ආදී කරුණුවලින් මෝදි අභිබවා යාමට රාහුල් ගාන්ධි තව බොහෝ දුර යා යුතු ය. එසේ නම් "ඉන්දියා" සන්ධානය මෝදිට තරගයක් දිය හැකි විකල්ප අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු ය. එසේ ඉදිරිපත් වන අපේක්ෂකයා සමග සන්ධානය ද එක්සත්ව පැවතිය යුතු ය. එසේ කළ හැකිනම් පමණක් මෙම උපක්‍රමය සාර්ථක විය හැකි ය. නමුත් "ඉන්දියා" සන්ධානයේ අගමැති අපේක්ෂකයා රාහුල් ගාන්ධිම වන්නේ නම්, මෝදිට එරෙහි මෙම උපක්‍රමය විපක්ෂයටම පාරාවළල්ලක් වීමේ විශාල අවදානමක් පවතී.