අද ලිපිය යොමුකරන්න මා බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ පස් යොදුන් රට වෙතට. පස් යොදුන් රට කීව පමණින් එය නිශ්චය කරගැනීම ඔබට තරමක් අපහසු වන්නත් පුළුවන්. පස් යොදුන් රට නොඑසේනම් කළුතර වශයෙන් අප වර්තමානයේ හඳුන්වන්නේ අතීතයේ සිටම ලංකාවේ බිහිවූ ධනපතියන්ගෙන් සැලකිය යුතු පිරිසක් වාසය කල ඉතාමත්ම සුන්දර ප්‍රදේශයකට.

කළුතර ප්‍රදේශයෙහි කළු ගගට යාබදව ඉදිවුණ බොහෝ දෙනෙකුගේ මතකයේ නොමැකුණු සටහනක් ඉතිරි කරපු Richmond Castle පිළිබඳව ඔබ අසා ඇතුවාට සැක නැත. ඉදි කරනු ලැබූ කාල සීමාවට සාපේක්‍ෂව නවතම තාක්‍ෂණික ක්‍රම යොදා ගනිමින්, විදේශ රටවලින් ආනයනය කරන ලද අමුද්‍රව්‍ය භාවිතා කරමින් නිමවූ මෙම සුවිසල් මැදුර අද වන විට ද ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ නිරන්තර අධ්‍යයනයන් සඳහා භාවිතා වන සුවිශේෂී ස්ථානයක්. මේ මහා මන්දිරය ඉදි කරනු ලැබූවේ කවුරුන් විසින් ද? තවමත් කතාබහට ලක්වන මෙම මන්දිරය හා බද්ධ වුණු විවිධාකාරයේ කටකතා ඇතිවෙන්න හේතුව කුමක් ද? මෙකී ප්‍රශ්ණ වලට පිළිතුරු ලිපිය මගින් ගෙනහැර දැක්වීමයි අද ලිපියේ බලාපොරොත්තුව..

දශක කිහිපයකට පෙර කළුතර ප්‍රදේශයේ වාසය කල ධන කුවේරයෙක් විදිහට එම දිශාව භාරව කටයුතු කලේ දොන් ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන පඩිකාර මුදලිතුමා විසින්. ඔහුගේ සම්පූර්ණ නම වෙන්නේ නානායක්කාර රජවාසල අප්පුහාමිලාගේ දොන් ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන. එතුමාගේ පියා වූ පවුලිස් ද සිල්වා මුදලිතුමා පරාක්‍රමබාහු රජ පෙළපතට නෑකම් කියූවෙකු වශයෙන් ද මූලාශ්‍ර වල සඳහන්. මෙතුමාගේ මව වුණේ ඉසබෙලා ද සිල්වා මහත්මිය. ජනවහරේ කියැවෙන විදිහට නම් තම පළාතේ මිනිසුන්ට කරුණාවන්තව සලකපු ඔහු, ඔවුන්ගේ දුකේදී මෙන්ම සැපේදී ද එක සේ රැඳුණු පුද්ගලයෙක් විදිහට තමයි අදටත් කියවෙන්නේ.

සිරිවර්ධන පඩිකාර මුදලිතුමා කුඩා දරුවන්ටත් බෙහෙවින් ආදරය කල කෙනෙක්. මුල්ම යටත් විජිත සමයේදී මුහුදුබඩ ප්‍රදේශවල වාසය කරපු ලාංකිකයො බොහොමයක් කඳුරටට වගේම දකුණු පළාතට පැන ගොස් තිබෙනවා. ඉතිහාසය සාක්‍ෂි දරන විදිහටනම් මෙම කතා පුවතේ අපගේ ප්‍රධාන චරිතය වන සිරිවර්ධන පඩිකාර මුදලිතුමාත් මේ ආකාරයෙන්ම පලාගියපු වංශවත් පරම්පරාවකින් පැවත එන්නෙක්.

ඉහල පෙළපතකට හිමිකම් කීව නිසාම තමන්ගේ අධ්‍යාපනය යුරෝපානුකරයේ දී සම්පූර්ණ කර ගන්නත් එතුමාට හැකි වෙනවා. මිල මුදලුත් යහමින් ගැවසුණු නිසාම වෙනත් රටවල් වල මොහු සංචාරයන් කරනු ලැබූවෙත් විනෝදාංශයක් විදිහට. මේ කියන සංචාරයන් අතරතුරේදී ඉන්දියාවේ විසූ සිය මිත්‍ර රාම්නාත් මහරාජාවරයාගේ මන්දිරයකට ගොඩවැදුණු ඔහුට ඒ මන්දිරය පිළිබඳව විශාල ආසාවක් උපදිනවා.
මෙවැනිම මන්දිරයක් තමා හටත් ඉදි කර ගන්න අවශ්‍ය නිසාම ඉන්දියාවේ පිහිටා තිබූ මන්දිරයේ සැලැස්ම තමන්ට අවශ්‍ය බව එක්තරා සුහද හමුවකදී මේ මහරාජාට සැළ කරන්න සිරිවර්ධන පඩිකාරතුමා කටයුතු කරනවා. එකල ලංකාවේ ධන කුවේරයෙකු වූවත් මෙතරම් සුවිසල් මන්දිරයක් සෑදීමට හැකියාව නැති බව කියමින් අදාළ ඉන්දීය මහරාජා ඔහුගේ ඉල්ලීම අවඥාවට ලක් කරනවා. මේ සිදුවීමෙන් සිරිවර්ධන පඩිකාර මුදලිතුමා තරමක් කණස්සල්ලට පත් වනවා. සිදුවීම ගැන හිත් වේදනාවෙන් කල්පනා කරන ලද ඔහු කෙසේ හෝ මෙවැනිම මන්දිරයක් ලංකාවේ ඉදි කරන බවට තරයේ අදිටන් කරගනු ලබනවා. මෙකී සිතුවිල්ල යතාර්ථයක් කර ගැනීමේ මුල්ම පියවර විදිහට ලංකාවෙන් පෙදරේරුවෙකු ඉන්දියාවට ගෙන්වාගත්ත මුදලිතුමා මහරාජාගේ මන්දිරය සම්පූර්ණයෙන්ම අධ්‍යයනය කිරීමට ඔහුට ඉඩ සලස්වනවා. නැවතත් ලංකාවට පැමිණෙන ඔවුහු අක්කර 40කට මැදිවෙලා තිබුණු අක්කරයක භූමිභාගයක් මේ මන්දිරය ගොඩ නැගීම සඳහා තෝරා ගන්නවා.

මේ ආකාරයෙන් 1910 වසරේදී ඉදි කිරීම් අරඹපු මේ මන්දිරයට ගඩොල් සහ උළු ගෙන්වා තිබෙන බවට සඳහන් වන්නේ ඉන්දියාවෙන්. මන්දිරයට උවමනා කරන සියලුම දැව ගෙන්වන්නේ මියන්මාරයෙන්. ජනෙල් වීදුරු ඉතාලියෙන් සහ ස්කොට්ලන්තයෙන් ගෙන්වන්න කටයුතු කරනවා වගේම නාන කාමරවලට සහ ගෙබිමට අවශ්‍ය මැටි පුවරු ගෙන්වලා තිබෙනවයි සඳහන් වන්නේ එංගලන්තයෙන්.


භාණ්ඩ ආනයනය කරල තිබෙන රටවල් පිළිබඳ කියවන විටම ඔබට හිතාගන්න පුළුවන්නේ මුදලිතුමාගේ වත්කම කොයි ආකාරද කියලා. ඉතාමත් සුවිශේෂී කාරණයක් විදිහට අදටත් සඳහන් වෙන දෙයක් තමයි ඉතාලියෙන් සහ ස්කොට්ලන්තයෙන් ආනයනය කරපු ජනෙල් වීදුරු වලින් පිටතින් බලන කිසිවෙකුට මන්දිරයේ ඇතුළත වන කිසිවක් නොපෙනීම. මෙය අදටත් ඉතා ඉහළ ගණයේ ප්‍රමිතිගත තාක්‍ෂණයක් විදිහට ගෘහ නිර්මාණ ශිල්පීන් විසින් හඳුන්වනු ලබනවා. මිල අධික වගේම තත්ත්වයෙන් උසස්ම අමුද්‍රව්‍ය යොදලා හදපු මේ මන්දිරය ඉන්දීය මහරාජාගේ මන්දිරයටත් නොදෙවෙනි සුඛෝපභෝගී ප්‍රතාපවත් මන්දිරයක් බවට පත්වූවා කීවොතින් නිවැරදියි. මන්දිරයේ දොර උළුවහු 99ක් හා ජනෙල් 38ක් පිහිටා තිබෙන බවටත් කරුණු සඳහන් වෙනවා. රිච්මන්ඩ් කාසල් හි තවත් සුවිශේෂීම අංගයක් තමයි එය තුල පිහිටා තිබෙන නාට්‍ය ශාලාව. දැවමය කුළුණු 12ක් මත ඉදි කර තිබෙන මෙම නාට්‍ය ශාලාවෙහි කැටයම් නුවර යුගයට අයත් බවට සැලකෙනවා. මෙහි සැකැස්ම කෙතරම් අපූරුද කියනවනම් සාමාන්‍යයෙන් අපගේ නිවස්නයන් වල භාවිතා කර තිබෙන යට ලී මෙම නාට්‍ය ශාලාවේ දැකගන්නට ලැබෙන්නේ නැහැ.
ඒ වෙනුවට තමයි ආරුක්කු ආකාරයට යන බාල්ක පෙලක් මෙම වහලයට කණු හරහාම සම්බන්ධ වෙන්න ආධාරක වශයෙන් සවි කරලා තිබෙන්නේ. ඔබ සමහර විට මේ මන්දිරය නරඹන්න ගිහින් තිබෙනවා නම් දැනටමත් අසා ඇතිවාට සැක නැහැ මෙහි තිබෙන ස්වභාවික වායු සමීකරණ තාක්‍ෂණය. එය සැබවින්ම විදුලිය යොදා ගෙන සිදු කරලා තිබෙන වායු සමීකරණ ක්‍රියාවලියක් නම් නොවෙයි. ශාලාවේ ස්ථාන කිහිපයකින් සිදුරු සකස් කරලා ඒවා භූගතව කළු ගග දක්වා සම්බන්ධ කරලා තමයි මෙකී ස්වභාවික සිසිලනය මන්දිරයට ලබා ගෙන තිබෙන්නේ. සඳහන් විදිහට නම් එකී සිදුරු වර්තමානය වෙද්දී අවහිර වී ඇති බවක් තමයි මන්දිරයේ පාලනාධිකාරිය සඳහන් කරන්නේ. මුදලිතුමාගේ අදහසකට අනුව නාට්‍ය ශාලාවට ඇතුළු වන පඩිපෙළ තනි කණුවක් වටා පිහිටන විදිහට තමයි සකස් කරලා තියෙන්නේ. හරියට සීගිරියේ පිහිටලා තිබෙන පඩි වගේ.

නුවර යුගයේ කැටයම් වලින් අලංකාර වන බුරුම තේක්කයෙන් කරවා ඇති මන්දිරයේ තරප්පුව ඉතා මනස්කාන්ත දැව නිර්මාණයක්. රිච්මන්ඩ් කාසල් හි නිදන කාමරවලටත් යොදාගෙන තිබෙන්නේ අපූරු තාක්‍ෂණයක්. බිත්ති නිර්මාණයේ දී ගඩොල් භාවිතය වෙනුවට තේක්ක දැව කඳන් හිටවලා බිත්ති මැද කුහරයක් තනා ගන්න අතීත ඉදිකිරීම්කරුවන් කටයුතු කරලා තිබෙනවා. කුහර නිර්මාණය කරගෙන තිබෙන්නේ තේක්ක දැව කඳන් දෙපසින් රීප්ප ගසලා හුණු මිශ්‍ර බදාමයෙන් බිත්ති නිර්මාණය කර ගැනීමෙන් පසුවයි. ගඩොල් භාවිතා නොකර එසේ කරන්නත් හේතුවක් තිබිලා තියෙනවා. මේ තාක්‍ෂණයෙන් මන්දිරයේ කිසිම කාමරයක ඇතුලතින් ඇසෙන ශබ්දයක් පිටතට නොනැගෙන සේ සකස් කිරීමේ අරමුණ සඳහා තමයි ඔවුන් විසින් මෙලෙස සිදු කරලා තිබෙන්නේ. කාමර තුල සුවදායී සිසිලසක් නිර්මාණය වෙන්නත් මෙම තාක්‍ෂණය හේතුවක් වෙලා තිබෙනවා.

මන්දිරය ඉදි කිරීමේ කටයුතු සාර්ථකව නිම කරපු සිරිවර්ධන පඩිකාර මුදලිතුමාට අවශ්‍ය වෙනවා එයට ගෙවැදීමත් තමන්ගේ විවාහයත් එකම දවසේ සිදු කරන්න. මග පුරාවට තොරණ් බැඳ ඉතාමත්ම උත්සවශ්‍රීයෙන් අවස්ථාවන් ද්විත්වයම සැමරීමට කටයුතු කරපු එතුමා ප්‍රධාන අමුත්තා විදිහට ආරාධනා කොට තිබුණේ ඉන්දීය මහරාජා හට. මහරාජා පුදුමයෙන් පුදුමයට පත්වන්නේ මේ ආකාරයේ දැවැන්ත මන්දිරයක් ශ්‍රී ලංකාව තුල ඉදිවෙතැයි ඔහු සිහිනෙකින්වත් අපේක්‍ෂා නොකරපු නිසාවෙන්. දින 07ක් මුළුල්ලේම තම විවාහයත් ගෙට ගෙවැදීමත් සමරපු මුදලිතුමා මේ සඳහා නන් දෙසින් ආරාධිත අමුත්තන්ට පැමිණීමට විශේෂ දුම්රිය සේවයකුත් කළුතරට එක්කර තිබූ බවට සඳහන්.
විවාහ දිවියට එළැඹුණු මුදලිතුමාගේ මීළග බලාපොරොත්තුව වූයේ ඉතාම ඉක්මනින් දරු සුරතල් අත්විඳීමයි. නමුත් භෞතික සැප සම්පත් වලින් ආඩ්‍ය වූ එතුමාගේ ජීවිතයට මේ වාසනාව නම් හිමිවන්නේ නැහැ. ඔහුගේ විවාහ දිවියත් කාලයක් ගතවෙද්දී මේ හේතුව නිසාම නීරස වීමට පටන් ගෙන තිබෙනවා. සිරිවර්ධන මුදලිතුමා තමන්ට දරුවන් නොමැති දුක තුනී කරගනු ලැබුවේ මන්දිරයේ ගෙවත්ත පුරාවටම ග්‍රීක ආභාෂය සහිත පිරිමි දරුවන්ගේ ප්‍රතිමා නිර්මාණය කිරීමෙන්.

සැප සම්පත් කොතෙකුත් තිබුණ ද සිතට සහනයක් නොලැබුණු තැන තම දේපල සියල්ල අතහැර දමන්නටත් ඔහු විසින් තීරණය කරනවා. තමාගේ බිරිඳට ඉතිරි ජීවිත කාලය ගත කිරීම සඳහා සැලකිය යුතු මුදලක් මෙන්ම මාස්පතා යම් වේතනයක් හා වතුපිටිවලට අදාළ ඵලදාවෙන් කොටසක් ද ලැබෙන්නට සලස්වන මුදලිතුමා තමාට ඉතිරි දේපල සියල්ලක්ම කුඩා පිරිමි දරුවන්ගේ සුභ සාධනය වෙනුවෙන් යොදවන ලෙසට ඔහුගේ අවසාන කැමති පත්‍රය හරහා ලියා තබනවා. මුදලිකමත් සියළුම ධනයත් අතහරිනු ලැබූ ඔහු මහනුවර Queen's හෝටලයේ 75 වන කාමරය කුළියට ගනිමින් තමාගේ ඉතිරි ජීවිත කාලය එහිම ගත කරන්නට තීරණය කරනවා. කලක් හෝටලය තුල සිය ජීවිතයේ අවසන් භාගය ගෙවා දමන එතුමා 1947 ජූලි 08 වනදා දිවි ගමනට සමු දෙනවා. මුදලිතුමාගේ අවසන් කැමැත්ත ප්‍රකාරව රිච්මන්ඩ් කාසල් පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයක් වශයෙන් මෙන්ම දරුවන් රැකබලා ගැනීමේ මධ්‍යස්ථානයක් වශයෙන් පවත්වාගෙන යන්නත් බලධාරීහු කටයුතු කර තිබෙනවා.
ඒ වගේම පුදුම නංවන ගෘහ නිර්මාණයන්ගෙන් සහ තාක්‍ෂණිය ක්‍රමෝපායන්ගෙන් සමන්විත මෙම මන්දිරය අද වන විටත් දෙස් විදෙස් සංචාරකයින් ගේ ආකර්‍ෂණය නොමදව ලබන්නා වූ ස්ථානයක්. ඉදින් පාඨක ඔබටත් කියන්න තිබෙන්නේ ඔබ තවමත් මේ මන්දිරය දැක බලා ගෙන නැතිනම්, ඉක්මනින්ම ඒ අවස්ථාව උදා කර ගන්න යැයි කියන ඉල්ලීම. එලෙසනම් රසබර ලිපියකින් නැවතත් හමුවෙමු!