Skip to content

අලුත් වුනු LPL ක්‍රීඩක වෙන්දේසිය ජුනි 14.

2023 ලංකා ප්‍රිමියර් ලීග් 20-20 ක්‍රිකට් තරගාවලියේ  ක්‍රීඩක වෙන්දේසිය එළැඹෙන ජූනි මස 14 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇති බව ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත.

මෙයට පෙර එල්.පී.එල්. තරගාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසිය ජූනි මස 11 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇති බවද සඳහන් කෙරුණා.

නමුත් එම දිනය  දිනය සම්බන්ධයෙන් ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කර තිබූ නව නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබුණේ එල්.පී.එල්. ක්‍රීඩක වෙන්දේසිය 14 වැනිදා කොළඹ ෂැන්ගි්‍රලා හෝටලයේදී පැවැත්වීමට මේ වන විට කටයුතු යොදා ඇති බවටයි.

එල්.පී.එල්. තරගාවලි ඉතිහාසයේ පළමු වරට පැවැත්වෙන මෙම ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයන්ට ලියාපදිංචි වීම සඳහා ලබා දී තිබූ අවස්ථාව ද මේ වන විට නිමාවට පත්ව තිබෙන අතර මෙවර තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ලොව විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලි තුළ ඉහලින්ම සිටින සුපිරි ක්‍රිකට් තරු රැසක් ලියාපදිංචිවී ඇති බවද වාර්ථා වෙයි.

එසේම ජාත්‍යන්තර වරම් හිමිකරගෙන ඇති සහ ජාත්‍යන්තර වරම් හිමිකරගෙන නොමැති ලෙස කාණ්ඩ 2ක් යටතේ ක්‍රීඩකයින් මෙම ක්‍රීඩක වෙන්දේසිය සඳහා ලියාපදිංචි කොට ඇත.

එහිදී ජාත්‍යන්තර වරම් දිනා ඇති ක්‍රීඩකයන් ඇමරිකන් ඩොලර් 10,000, ඇ.ඩො. 20,000, ඇ.ඩො. 30,000, ඇ.ඩො. 40,000 සහ ඇ.ඩො. 50,000 යන මූලික වටිනාකම් යටතේ වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බවටද වාර්ථා වෙයි.

එල්.පී.එල්. සිවුවැනි අදියර එළැඹෙන ජූලි මස 30 වැනිදා සිට අගෝස්තු මස 20 වැනිදා දක්වා කණ්ඩායම් 5ක සහභාගිත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

Latest