Skip to content

යුද්ධය හේතුවෙන් ඉන්දියාවට ගොස් යලි පැමිණි නැගෙනහිර ජනතාවට සහන...

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යයෙන් දින දෙකක ජංගම සේවයක්..

යුද්ධය හේතුවෙන් ඉන්දියාවට ගොස් නැගෙනහිර පලාතට යලි පැමිණි සහ එම පලාතේ මේවන විටත් පදිංචි ජනතාවට පවතින ගැටළු විසදීම සදහා දින දෙකක විශේෂ ජංගම සේවාවක් පැවැත්වීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යය තීරණය කොට තිබේ.
අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි 2023 මැයි මස 26 සහ 27 යන දෙදින තුළ නැගෙනහිර පලාතට අයත් ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක දෙක මුලික කර ගනිමින් මෙම ජංගම සේවාව පැවැත්වීමට පියවර ගෙන ඇතැයි එම අමාත්‍යාංශය පවසයි.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ජංගම සේවය මැයි මස 26 වන දින ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී සහ මඩකලපුව දිස්ත්‍රික් ජංගම සේවය මැයි 27 වන දින මඩකලපුව ගුරු පුහුණු අභ්‍යාස විද්‍යාල පරිශ්‍රයේදී ද පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාවට ද  මෙම ජංගම සේවා තුළින් ලබා දෙන පහසුකම් ත්‍රිකුණාමලය සහ මඩකලපුව මධ්‍යස්ථාන වෙත පැමිණිමෙන් ලබා ගැනීමේ හැකියාව සළසා තිබේ.

මෙහිදී අදාල  දිස්ත්‍රික් තුනෙහි ජනතාවට උප්පැන්න හා මරණ සහතික ලබා ගැනීම, ජාතික හැදුනුම්පත් ලබා ගැනීම, ඉඩම් , නැවත පදිංචි කිරීම් පිළිබදව පවතින ගැටළු මෙන්ම  අධිරකණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යටතේ පවතින ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සදහා වු කාර්යාලය, අතුරුදහන් වු තැනැත්තන් පිළිබදව කාර්යාලය, හානි පුර්ණ කාර්යාලය, සමථ මණ්ඩල කොමිෂන් සභාව, ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව යන ආයතන මගින් ලබා දෙන සේවාවන් ලබා ගැනීමේ හැකියාවද පවතින බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

මෙම ජංගම සේවාව සදහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව, විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය, ආරක්ෂක අමාත්‍යාංශය, නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය, පළාත් ඉඩම් කොමසාරිස් කාර්යාලය, ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන නිලධාරීන් සහභාගි වීමට නියමිතය.

චිත්‍රපටි මගිනුත්  දැනුවත් කරන්න යයි..

සාමය හා සංහිදියාව වැඩි දියුණු කිරීමේ අරමුණින් යුතුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමේ වැඩ සටහනක්ද ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති අතර එහි පළමු දර්ශනය 26 වන දින පෙරවරු 11.00 ට අධිකරණ අමාත්‍යතුමාගේ සහභාගිත්වයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබේ.

මීට අමතරව උතුරු පළාතේ ජනතාවට පැවති ගැටළුවලට විසදුම් ලබාදීමේ අරමුණින් මෙවැනිම ජංගම සේවා තුනක් පසුගිය කාලය තුළ උතුරු පලාතේද පැවැත්වීමට අමාත්‍යංශය කටයුතු කර තිබිනි.

මේ අතර ජාතික සංහිදියාව පිළිබදව සහජීවන කමිටු සියලු ග්‍රාම සේවා වසම් ආවරණය වන පරිදි ස්ථාපිත කිරීමට අධිකරණ අමාත්‍යාංශය විසින් මේ වන විට කටයුතු යොදා ඇති අතර, ඒ යටතේ ජාතික ආගමික සමගියට හා සංහිදියාවට බාධා වන ආකාරයේ සිදුවීමක් ප්‍රාදේශිය වශයෙන් ඇති වී එය ජාතික මට්ටමට ව්‍යාප්තවීමට පෙර අදාළ අංශ දැනුවත් වීමේ විශේෂ පරිගණක යෙදවුමක් මොරටුව විශ්ව විද්‍යාලය සමග එක්ව හදුන්වාදීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ජාතික ඒකාබද්ධතා අංශය පියවර ගෙන තිබේ.

Latest