Skip to content

රනිල් ටිකක් හරි. ටිකක් වැරදියි. Fact Check කියයි.

උද්ධමනය පහල යාම සහ මිල ගනන් පහත වැටීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය 13 වෙනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී කර ඇති ප්‍රකාශය තරමක් නිවැරදි බව factcheck විසින් කරන ඇති කරුණු පිරීක්සීමකදී අනාවරණය වී ඇත.

ජනාධිපතිවරයා විසින් කර ඇති ප්‍රකාශය මෙසේය."සියය 70 ක් දක්වා අහස උසට නැග තිබූ උද්ධමනය අපගේ එදිනෙදා ජීවන බර සැහැල්ලු කරමින් මේ වන විට 25.3% දක්වා අඩුවී තිබෙනවා."

ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් සිදු කර ඇති කරුණු පිරීක්සීමෙන් අනතුරුව factcheck විසින් පහත තොරතුරු වාර්තා කර ඇත.

මෙම ප්‍රකාශයේ ඇතුළත් කරුණෙහි සත්‍යා අසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා factcheck විසින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද ජාතික පාරිභෝගික මිල දර්ශකය (National Consumer Price Index – NCPI) සහ කොළඹ පාරිභෝගික මිල දර්ශකය (Colombo Consumer Price Index – CCPI) පරිශීලනය කර ඇත.

පාරිභෝගික මිල දර්ශක මගින් තෝරාගත් පාරිභෝගික අයිතම පැසක සමස්ත මිල මට්ටම ගණනය කරනු ලබයි (ජනතාව තම වියදම් සඳහා මුදල් වෙන් කරන ආකාරය අනුව). වාර්ෂික ලක්ෂ්‍යමය (YoY) උද්ධමනය යන සංඛ්‍යා ලේඛනය මගින් අනුක්‍රමික වසර දෙකක එකම මාසය සඳහා පැවති පදනම් දර්ශකයේ ‌අගයන් අතර වෙනසේ ප්‍රතිශතය වාර්තා කරණු ලැබේ.

ජනාධිපතිවරයා විසින් උපුටා දක්වන ලද උද්ධමනය පිළිබඳ දත්ත (70% සහ 25.2%) ජාතික පාරිභෝගික මිල දර්ශකයට වඩා කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනයට අදාළ දත්ත හා වඩාත් සැසඳේ. කොළඹ පාරිභෝගික මිල දර්ශකය වාර්ෂික ලක්ෂ්‍යමය (YoY) උද්ධමනය සඳහා වාර්තා කළ ඉහළම අගය 2022 සැප්තැම්බර් මාසයේදී වාර්තා වූ අතර එය 69.8% ක්  විය. 2023 මැයි මාසයේදී එය 25.2% ක් විය.

2022 සැප්තැම්බර් මාසයේ වාර්තා වූ වාර්ෂික ලක්ෂ්‍යමය (YoY) උද්ධමනයට සාපේක්ෂව 2023 මැයි මාසයේ වාර්තා වූ වාර්ෂික ලක්ෂ්‍යමය (YoY) උද්ධමනය අඩු වීම පදනම් කොටගෙන ජනතාවගේ “එදිනෙදා ජීවන බර” වර්තමානය වන විට “සැහැල්ලු වී” ඇති බව ජනාධිපතිවරයා නිගමනය කරයි. එහෙත්, ජීවන බර සැහැල්ලු වන්නේ මිල ගණන් අඩු වුවහොත් පමණි. දර්ශක අගයක් ලෙස ගත් විට 2022 සැප්තැම්බර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය 189.3 ක් වූ අතර මැයි මාසයේදී එය 192.3 ක් විය. කොළඹ පාරිභෝගික මිල දර්ශකය සමස්ත මිල මට්ටම ගණනය කරන බැවින් අදාළ කාල පරිච්ඡේදය තුළ මිල ගණන් 1.6% ක් වැනි සුළු අගයකින් ඉහළ ගොස් ඇති බව මෙම අගයන් පෙන්වයි. එබැවින්, ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් ගම්‍ය වන පරිදි මිල ගණන් අඩු වී නොමැත.

ශ්‍රී ලංකාවේ වාර්ෂික ලක්ෂ්‍යමය (YoY) උද්ධමනය සැළකිය යුතු ප්‍රමාණයකින් අඩු වී ඇතැයි යනුවෙන් ජනාධිපතිවරයා පෙන්වා දෙන කරුණ නිවැරදි වන නමුත්, එම නිසා ජනතාවගේ ජීවන බර සැහැල්ලු වී ඇති බවට ජනාධිපතිවරයා විසින් සිදු කර ඇති ප්‍රකාශය නිවැරදි නොවේ.

එබැවින්,ජනාධිපතිවරයාගේ ප්‍රකාශය තරමක් නිවැරදියි යනුවෙන් අපි වර්ගීකරණය කරන්නෙමු.

factcheck හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම factcheck විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම factcheck විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, factcheck  හි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

අංක 1 වගුව: කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ ජාතික පාරිභෝගික මිල දර්ශකය (2022 සැප්තැම්බර් – 2023 මැයි)

(මූලාශ්‍රය: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, කො.පා.මි.ද විචලනයන්, පාද වර්ෂ 2013 සහ 2021, ජ.පා.මි.ද විචලනයන්, පාද වර්ෂ 2013 සහ 2021)

ඉහත කරුණු පිරීක්සීම සදහා Fact Check පහත සදහන් මූලාශ්‍ර උපයෝගී කරගෙන ඇත.

· ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකය (පදනම 2021=100), කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ විචලනයන්, http://www.statistics.gov.lk/InflationAndPrices/StaticalInformation/MonthlyCCPI

· ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකය (පදනම 2013=100), කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ විචලනයන්, http://www.statistics.gov.lk/InflationAndPrices/StaticalInformation/MonthlyCCPI

· ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ජාතික පාරිභෝගික මිල දර්ශකය (පදනම 2021=100), ජාතික පාරිභෝගික මිල දර්ශකයේ විචලනයන්, http://www.statistics.gov.lk/InflationAndPrices/StaticalInformation/MonthlyNCPI

1.    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ජාතික පාරිභෝගික මිල දර්ශකය (පදනම 2013=100), ජාතික පාරිභෝගික මිල දර්ශකයේ විචලනයන්, http://www.statistics.gov.lk/InflationAndPrices/StaticalInformation/MonthlyNCPI

Latest