Skip to content

ගහපු බෙරයකුත් නැති නටපු තොවිලයකුත් නැති රාජ්‍ය වෙසක් උත්සවය..!

"රාජ්‍ය වෙසක් උත්සවය බලන්න යන්න එපා.ඇයි කියලා නම් අහන්න එපා...."ඒ සමාජ මාධ්‍ය ජාලාවක තිබූ සටහනකි.

2023 රාජ්‍ය වෙසක් උත්සවය පවත්වන ලද්දේ හලාවත - කැබැල්ලෑවල පිහිටි ශ්‍රී රත්නසිරි පිරිවෙන් විහාරය කේන්ද්‍ර කරගෙනය.පසුගිය 02 වෙනිදා ආරම්භ වූ වෙසක් සතිය 08 වැනිදා නිමාවට පත් විය.

රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් වන මූලික සාකච්ඡාව කබැල්ලෑවල රතනසිරි පිරිවෙනේදී පැවැත්වුනේ පසුගිය මාර්තු මස 16 වෙනිදාය. ඒ විදුර වික්‍රමනායක සංස්කෘතික ඇමතිවරයාගේ සහභාගීත්වයෙන් ත්‍රෛනායක ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙනි. එම අවස්ථාවට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාද, පුත්තලම දිස්ත්‍රික්කයේ දේශපාලන නායකයින් මෙන්ම දිසා ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහභාගි වී සිටියේය.

රාජ්‍ය වෙසක් උත්සවය හලාවත කේන්ද්‍ර කරගෙන පැවැත්වීම ඉතාමත්ම වැදගත් බව පළමු සාකච්ඡාවට සහභාගි වූ බොහෝ දෙනෙකු කියා සිටියේය. පුත්තලම දිස්ත්‍රික්කය යනු බහු ආගමික මෙන්ම බහු ජාතීන් වෙසෙන දිස්ත්‍රික්කයක් නිසා රාජ්‍ය වෙසක් උත්සවය කේන්ද්‍ර කරගෙන ආගමික  සහ ජාතීන් අතර සංහිදියාව ඇති කළ හැකි බව ඔවුන්ගේ මතය විය.ඒ අනුව රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන කාලය තුළ පුත්තලම දිස්ත්‍රික්කය පුරා විවිධ වැඩ සටහන් පැවැත්වීමට යෝජනා විය.

සර්ව ආගමික භක්ති ගීත, මත් ද්‍රව්‍ය නිවාරණ, පරිසර වැඩ සටහන් ඇතුළු බොහෝ දේ දිස්ත්‍රික්කය පුරා සංවිධානය කර පැවැත්වීමට තීරණය විය. මෙම අවස්ථාවට සහභාගි වී සිටි එක්තරා දේශපාලකයෙකු කියා සිටියේ පුත්තලම දිස්ත්‍රික්කයට ඇතුළු වන දොරටු 05 තුළ දැවැන්ත තොරණ් ඉදි කළ යුතු බවය. නමුත් තොරන් ඉදි කිරීම සදහා වැය වන මුදල පියවා ගන්නේ කෙසේද? එසේත් නැත්නම් බර පැන දරන්නේ කව්ද යන්න එහිදී කියවුනේ නැත.

මේ ආකාරයට රාජ්‍ය වෙසක් උත්සවයේ මූලික වැඩ කටයුතු සිදු වෙමින් පවතින විට දෙබරයට පළමු ගල් ප්‍රහාරය එල්ල කරන ලද්දේ කල්පිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී දළුව සුමනාරාම විහාරාධිපති පුජ්‍ය මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන් විසිනි. උන්වහන්සේ 2023.03.10 වෙනි දින ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් සදහන් කර ඇත්තේ රාජ්‍ය වෙසක් උත්සවය කබැල්ලෑවල රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේ පැවැත්වීම නුසුදුසු ක්‍රියාවක් බවය. දිස්ත්‍රික්කයේ සිටින නූගත් කතෝලික දේශපාලකයෙකුගේ අවශ්‍යතාවය මත රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීම සදහා කබැල්ලෑවල රතනසිරි පිරිවෙන් විහාරය තෝරා ගෙන ඇති බවද මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන් තම ලිපියෙන් අවධාරණය කර තිබුණි.

රාජ්‍ය වෙසක් උත්සවය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ලිපියක් යැවූ මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන් මේ වන විට කල්පිටිය කේන්ද්‍ර කරගෙන දළුව ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කළත් උන් වහන්සේ කළක් කබැල්ලෑවල රතනසිරි පිරිවෙනේ ගුරුවරයෙකු ලෙස සේවය කළ අයෙකි.පසු කළෙක කබැල්ලෑවල රතනසිරි පිරිවෙන් විහාරයේ විහාරාධිපති පුජ්‍ය හාල්පන්විල පාලිත හිමියන් සමග මත ගැටුමක් ඇති කරගෙන සුමිත්ත හිමියන් හලාවත සිට කල්පිටියට ප්‍රදේශයට සංක්‍රමණය වූ බවද ඒ සම්බන්ධයෙන් කරන ලද සොයා බැලීම් වලදී අනාවරණය විය.

කෙසේ වෙතත් මැයි මස 02 වැනිදා උදා විය.මැයි 02 යනු වෙසක් සතියේ පළමු වැනි දිනයයි. ඒ වන විටත් පොලිස් සහ යුධ හමුදා ආරක්ෂාව ප්‍රදේශයට යොදා තිබූ බව අපට නිරීක්ෂණය විය. නමුත් කියපු තරම් දෙයක් කබැල්ලෑවල විහාරස්ථානය තුළ දක්නට තිබුනේ නැත. පුත්තලම දිසා ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද පැල සිටුවීමේ වැඩ සටහනක් නම් එදින වෙන්නප්පුව - වයික්කාල ප්‍රදේශයේදී සිදු කරන ලදි. මැයි 03 වෙනිදාද මාරවිල - වීරහේන පිරිවෙනේ සංවිධානය කරන ලද ආගමික වැඩ සටහනක් පැවැත්වුණි. ඒ පිණ්ඩපාත චාරිකාවක්ද සමගය.

එමෙන්ම දහම් සේවය සදහා කැපවූ පිරිසක් අගය කිරීමේ වැඩ සටහනක්ද නාත්තන්ඩියේදී පැවැත්වුණි.එය ඉතාමත්ම පැසසුම් කටයුතු ක්‍රියාවක් විය.

මැයි 04 වැනිදා රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට නියමිතව තිබුනේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි.නමුත් 04 වෙනිදා අළුයම් කාලයේ ජනාධිපතිවරයා එංගලන්තය බලා පිටත්ව ගියේ චාල්ස් රජුගේ රාජාභිෂේකයට සහභාගි වීම සදහාය. ඒ අනුව රාජ්‍ය වෙසක් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වුයේ දිනේෂ් ගුණවර්ධන අගමැතිවරයාය.එම උත්සවයට සර්ව ආගමික නායකයින්,දේශපාලන අධිකාරිය මෙන්ම විදෙස් රටවල් වල තනාපතිවරුන්ද පැමිණි සිටි බවක් දක්නට ලැබුණි.

04 වැනිදා සවස් කාලය වන විට හලාවත සහ අවට ප්‍රදේශයට ධාරානිපාත වැසි ඇද හැලෙන්නට විය.රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් සංවිධානය කර තිබූ වෙසක් කූඩු තරග පවත්වන ලද්දේ කබැල්ලෑවල විහාරස්ථානයට නුදුරු පිට්ටනියකය.අතීතයේදී පස් කපා ඉවත් කර ඇති බව කියන එම ස්ථානය වැසි හේතුවෙන් ජලයෙන් යටවී ගියේය. මෙම හේතුව නිසා තරගය සදහා වෙසක් කූඩු ඉදිරිපත් කර තිබූ රාජ්‍ය ආයතන,පාසල් මෙන්ම පුද්ගලයින්ද දැඩි අපහසුතාවයකට පත්ව සිටි බවක් දක්නට ලැබුණි. අපහසුතාවයට පත්ව සිටි පිරිස නොබැන සිටියේ කාටද යන්න පමණක් අපට ගැටළුවක් විය.

රාජ්‍ය වෙසක් උත්සවය පැවති කබැල්ලෑවල විහාරස්ථානයට ආසන්නයෙන් අති කරවිටාගාරය පාසල් ක්‍රීඩාංගනය මෙම වෙසක් කූඩු තරගය සදහා වෙන් කරන්නට සංවිධායකයින්ට ඕනෑ තරම් හැකියාව තිබුණි. නමුත් සංවිධායකයින්ට පෙර කඩිනම් වූ පිරිසක් එම ක්‍රීඩාංගනය සැනකෙළි පිටියක් බවට පත් කර තිබුණි. එය සංවිධායකයින්ගේ දැඩි දුර්වලතාවයක් බව නොකියාම නොහැකිය.

රාජ්‍ය වෙසක් උත්සවය නැරඹීමට පැමිනෙන බැතිමතුන්ගේ වාහන ගාල් කිරීම සහා නිශ්චිත ක්‍රමවේදයක් සකස් කර නොතිබීම දැඩි විවේචනයට හේතුවක් විය.මේ නිසා සැතපුම් ගනන් දින වාහන පෝලිම් දක්නට ලැබුණි.එම හේතුව නිසා දැඩි ලෙස අපහසුතාවයට පත්වූ පිරිස් බුකියේ විවිධ අදහස් පළ කර තිබූ ආකාරයක්ද දක්නට ලැබුණි.

දහම් ගුරු සේවයට කැපවූ ගුරුවරුන් පිදීමේ වැඩසටහනක් නාත්තන්ඩියේදී සංවිධානය කර තිබුණි. මෙම වැඩ සටහන බොහෝ දෙනෙකුගේ ප්‍රසාදයට ලක්වී තිබුණි.

රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් පාසල් සිසුන්ට ලොකු බරක් දරන්නට සිදුවූ බව නොරහසකි. පාසල් යන බොහෝ දරුවන් දහම් පාසල්ද යන බව සත්‍යයකි. හලාවත කොට්ඨාසයේ සෑම පාසල් දරුවෙකුම වෙසක් කූඩුවක් තම පාසල් ප්‍රධානීන් හරහා රාජ්‍ය වෙසක් උත්සවයට ලබා දිය යුතුව තිබුණි. එසේම දහම් පාසල් යන දරුවන්ද වෙසක් කූඩුවක් පරිත්‍යාග කළ යුතු වේ. ඒ අනුව සෑම පාසල් දරුවෙකුටම වෙසක් කූඩු දෙකක් රාජ්‍ය වෙසක් උත්සවයට ලබා දීමට සිදු වී ඇත. නමුත් ඒ පාසල් දරුවන් ලබා දුන් එම වෙසක් කූඩු ප්‍රදර්ශණය කළේ කුමන ස්ථානයකද යන්න නම් අපැහැදිලි කරුණකි.

මේ අතර, පුත්තලම දිස්ත්‍රික්කයේ සමෘද්ධි ඇතුළු සෙසු රාජ්‍ය නිලධාරීන්ට විවිවිධ නියෝග පැනවී තිබූ බවක්ද දැන ගන්නට ඇත. ඇතැම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් දන්සැල් ඇතුළු විවිධ දෑ සංවිධානය කරන ලෙස ඉහළ නිලධාරීන් උපදෙස් ලබා දී තිබී ඇත. ඒ අනුව විවිධ රාජ්‍ය ආයතන වල නිලධාරීන්ද දැඩි අපහසුවකින් හෝ තම තමන්ට පැවරුණු කටයුතු සිදු කරන බවක්ද දක්නට ලැබුණි.

මේ අතර තුර පෙර අප සදහන් කර ඇති මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන්ද ලොකු බාල්දියක් පෙරලා ගත්තේ වෙසක් පොහොය දිනයේමය. රාජ්‍ය වෙසක් උත්සවයට පුත්තලම දිස්ත්‍රික්කයේ සියළුම භික්ෂූන් වහන්සේලා වැඩම කර සිටියත් නොපැමිණියේ සුමිත්ත මිහියන් පමණි. උන් වහන්නේ එදින කරඹ විහාරස්ථානයේ සිට බුදු පිළිම වහන්සේ නමක් තමන් වැඩ වාසය කරන දළුව ප්‍රදේශයට පෙරහැරකින් වැඩම කරන ලදි. සුමිත්ත හිමියන් පවසන ආකාරයට ඒ රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙනි. වැඩම කරන ලද බුද්ධ ප්‍රතිමා වහන්සේ දළුව මංසන්ධියේ ස්ථාපනය කිරීමද 04 වැනිදා සවස සිදු විය.

කල්පිටිය - දළුව යනු කතෝතික බැතිමතුන් බහුලව වාසය කරන ගම්මානයකි. මෙම සිද්ධියත් සමග කලබලයට පත් වූ ගම්වාසීන් එදිනම සවස දළුව මංසන්ධියේ විරෝධතාවයක්ද පවත්වන ලදි. අනතුරුව පොලීසිය මැදිහත් වී තැම්පත් කර තිබූ බුදු පිළිම වහන්සේ එම ස්ථානයෙන් ඉවත් කිරීම සිදු කරන ලදි.

පසුව සුමිත්ත ස්වමීන්වහන්සේ තම ෆේස් බුක් සටහනක් තබමින් කියා සිටින්නේ අන්තවාදී පිරිසක් විසින් බෞද්ධාගමට හානි කරමින් සිටිනා බවකි. ඒ බව මාධ්‍ය ආයතන දෙකක් විසින්ද 05 වැනිදා වාර්තා කර තිබුණි. නමුත් එම ප්‍රවෘත්ති ලියා තිබුනේ එම ප්‍රදේශයේ මාධ්‍යවේදීන් විසින් නොවීම විශේෂත්වයක් විය.

කෙසේ වෙතත් ඇණුම් - බැණුම්,ගෙරවිලි මැද රාජ්‍ය වෙසක් උත්සවය නිමාවට පත්වී ඇති බව පමණක් අවසන් කොට සටහන් කරමි.

Latest