Skip to content

සල්ලි ගිලපු යකඩ යකා....!

ධාවන තත්ත්වයට නුසුදුසු තත්ත්වයේ ඇති ඉන්දියාවෙන් මෙරටට ගෙන්වන ලද මගී දුම්රිය මැදිරි 10 ක් වසරකට ආසන්න කාලයක සිට පුත්තලම දුම්රිය ස්ථානය තුළ වල් වදිමින් දිරා පත් වන්නට ඉඩ හැර ඇති ආකාරයක් දක්නට ඇත.

පුත්තලම දුම්රිය ස්ථානය ආසන්නයේ ගාල් කර දිරා පත් වන්නට ඉඩ හැර ඇති දුම්රිය මගී මැදිරි මෙරටට ගෙන්වා ඇත්තේ 2021 දෙසැම්බර් මස 31 වෙනිදාය. ඒ ඉන්දීය ණය ආධාර ක්‍රමයක් යටතේය. එදින  දුම්රිය මැදිරි 120 ක් මෙරටට ගෙන්වා ඇත.එම මගී දුම්රිය මැදිරි වල වටිනාකම රුපියල් 13,000,483,427 ක් බව රජයේ විගනන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති වාර්තාවක සදහන් වේ.ඒ අනුව එක් මගී දුම්රිය මැදිරියක දළ වටිනාකම රුපියල් 108,337,361.89 කි.එම වාර්තාවට අනුව පුත්තලම දුම්රිය ස්ථානයට යාබදව දිරා පත් වෙමින් පවතින්නේ රුපියල් 1,083,373,618.90 ක් වටිනා මගී දුම්රිය මැදිරි බව අප අමතක නොකළ යුතුව ඇත.

එසේ ගෙන්වන ලද මගී දුම්රිය මැදිරි අතරින් 10 ක් වසරකට ආසන්න කාලයක් පුත්තලම දුම්රිය ස්ථානය ආසන්නයේ ගල් කර තිබෙන්නේ කුමන හේතුවක් නිසාද යන්න පැහැදිලි කිරීමට නොහැකි බව දුම්රිය සේවකයින් සදහන් කරයි. මෙසේ දිරා පත් වෙමින් පවතින්නේ තුන්වන පන්තියේ මගී දුම්රිය මැදිරි 09 ක් සහ වෙන් කළ හැකි 02 වන පන්තියේ මගී දුම්රිය මැදිරියකි.

පුත්තලමේදී දිරා පත් වෙමින් තිබෙන විට අපට හමුවූයේ 2021 දෙසැම්බර් මස 31 වෙනිදා මෙරටට ගෙන්වන ලද දුම්රිය මැදිරි 120 න් 10 ක් පමණි. අනෙකුත් දුම්රිය මැදිරිද මෙරට කුමන හෝ ස්ථානයක දිරා පත් වෙමින් පවතින බව නම් නොඅනුමානය.

මේ සම්බන්ධයෙන් විමර්ශණයක් සිදු කර ඇති රජයේ විගනන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ පිළිබදව වන වාර්තාවක් මුදා හැර ඇත. සතියේ දිනවල උදෑසන සහ සවස් කාලයේ M 11 දුම්රිය එන්ජින් යොදා ගෙන මෙම මැදිරි වලින් වැඩි මගී ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීම මූලික අරමුණ වී තිබූ බව දුම්රිය පාලනාධිකාරිය විගනන නිලධාරීන් හමුවේ සදහන් කර ඇත.මෙරට ධාවන තත්ත්වයට නුසුදුසු මට්ටමේ මගී දුම්රිය මැදිරි ගෙන්වීම තුළින් එම ව්‍යපෘතියේ කිසිදු අරමුණක් ඉටු වී නොමැති බව විගනන නිලධාරීන් විසින් නිකුත් කර ඇති වාර්තාවේ සදහන් වේ.මෙම මගී දුම්රිය මැදිරි ගෙන්වීම සදහා එම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරුවරයා විසින් ඇස්තමේන්තු කර ඇති මුදල ඇමරිකාණු ඩොලර් මිලියන 0.3 කි.නමුත් ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වන ලද මැදිරි සදහා වරාය,රේගු,රක්ෂණ සහ ප්‍රවාහන ගාස්තුද එකතු කළ විට වැය වී ඇති මුළු මුදල ඇමරිකාණු ඩොලර් මිලියන 0.558 ක් බවද විගනන නිලධාරීන් තම වාර්තාව මගින් පෙන්වා දී ඇත.

මෙරටට ගෙන්වන ලද මගී දුම්රිය මැරිදි 120 න් ධාවන තත්ත්වයේ තිබේද යන්න පරීක්ෂා කර ඇත්තේ 10 ක් පමණක් බව අනාවරණය වී ඇත.සෙසු මගී දුම්රිය මැදිරි පරීක්ෂාවකින් තොරව මුදා හැර ඇත.නමුත් එම මගී දුම්රිය මැදිරි වල දිග,පළල සහ උස ප්‍රමිතියට වඩා වැඩි බව විගනන නිලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇත.එමෙන්ම මෙරට ධාවනය කරන දුම්රිය මැදිරි වල වක්‍ර අරය මීටර් 150 ක් වුවද,ගෙන්වා ඇති මැදිරි වල වක්‍ර අරය මීටර් 90 ක් බව අනාවරණය වී ඇත.මෙම තත්ත්වය අනුව යම් ආකාරයකින් මෙම දුම්රිය මැදිරි මගී ප්‍රවාහනය සදහා යොදා ගතහොත් පීලි පැනීමකට හෝ වෙනත් අනතුරු වලට ලක් විය හැකි බවද විගනන නිලධාරීන් නිරීක්ෂණය කර ඇත.එවන් තත්ත්වයට පිළියමක් ලෙස දුම්රිය වේග සීමා පැනවිය හැකි නමුත්,එම තත්ත්වය සෙසු දුම්රිය ධාවනයට බාධාවක් වන බවද විගනන නිලධාරීන් සදහන් කරයි.

මේ ආකාරයට විශාල දෝෂ ප්‍රමාණයක් සහිත දුම්රිය මගී මැදිරි මෙරටට ගෙන්වීම තුළින් සිදුවී ඇති අලාභය අති විශාල බව රජයේ විගනන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති වාර්තාවේ සදහන් වේ.දුම්රිය දෙපාර්තමේන්තුව පාඩු ලබන බව බොහෝ අවස්ථාවන් හීදී ප්‍රකාශ වන්නේය. මේ ආකාරයට රුපියල් මිලියන ගනනක් කිසිදු වග විභාගයකින් තොරව විනාශ වෙමින් පවතින විට පාඩු ලැබීම අරුමයක් නොවන බව නම් පැවසිය යුතුව ඇත.

Latest