Skip to content

පුහුණු ශිල්පීන් විදෙස් රැකියා සදහා යොමුකිරීමට නව වැඩපිළිවෙළක්.


ජපානයේ සාත්තු සේවක රැකියා, එංගලන්තය, කැනඩාව, ඕස්ට්‍රේලියාවේ හෝටල් ක්ෂේත්‍රෙය් රැකියා, යුරෝපයේ සාත්තු සේවක රැකියා, මැද පෙරදිග ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් රැකියා අවස්ථා රැසක් මේ වන විට ලංකාවට ලැබී තිබෙනවා.


එම රැකියා අවස්ථා සදහා යැවීමට ප්‍රමාණවත් පුහුණු ශ්‍රමිකයින් පිරිසක් නොමැතිවීමේ ගැටලුවට විසදුම් ලබාදීමට මේ වන විට පියවර ගෙන තිබෙනවා.


එහි මුල් පියවර ලෙස විදේශ රැකියා ඉලක්ක කරගනිමින් විදේශ රැකියා අපේක්ෂිතයින් සදහා වෘත්තීය පුහුණුව ලබාදීමට විශේෂ වැඩසටහනක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

ඒ සදහා වු අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය අද දින අත්සන් තැබු අතර
මෙම අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ලබාදෙන නිර්නායකයන්ට අනුව, විදේශ රැකියා සදහා අවශ්‍ය නිපුණතාවයන් සහිත වෘත්තිකයින් පුහුණු කිරීම, ඔවුන්ට අවශ්‍ය ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකය ලබාදීම සහ අනෙකුත් වෘත්තීය සහතික ලබාදීම ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය විසින් සිදු කරනු ලබනවා.


වෘත්තීය පුුහුණව සදහා සිසුන් ලියාපදිංචි කිරීම, ඔවුන්ට ප්‍රමිතිගත පුහුණුවක් ලබාදීම, ඔවුන්ගේ පුහුණුව නියාමනය කිරීම සහ සහතිකකරණය, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාර්ගෝපදේශයන්ට යටත්ව, සිදුකරනු ලබනවා.

මේ ආකාරයට වෘත්තීය පුහුණුවක් සහිත, පුහුණු ශ්‍රමිකයින් විදේශ රැකියා සදහා යොමු කිරීම මගින් ඉහළ ආදායමක් රටට ලබාගැනීමට හැකියාව උදාවෙනවා.


ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා,කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා,
විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වැඩ බලන සභාපති නීතීඥ සමින්ද ජයසේකර මහතා, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් ප්‍රසන්න රණසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

Latest