Skip to content

ප්‍රතිත්‍රස්ත පණතේ බළලා මල්ලෙන් එලියට පනී

වත්මන් ශ්‍රී ලංකාවේ ලැව් ගිණ්නක් සේ පැතිරී ඇති සහ විශේෂයෙන් නීතිමය සහ පුරවැසි අයිතිවාසිකම් පිළිබඳව සාක්ෂරතාවයක් සහිත පිරිස් අතර බහුලව සාකච්ඡාවට භාජනය වී ඇති මාතෘකාව වන්නේ යෝජිත ප්‍රතිත්‍රස්ත පණතය. ඒ අතර වත්මන් අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසන්නේ මෙම පණත අප්‍රේල් මස අවසන් සතියේ හෝ මැයි මස මුල් සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවය. ත්‍රස්තවාදය වැලැක්වීම සහ ජනතාවගේ සාමය තහවුරු කිරීම මෙම පණත ගෙන ඒමේ ප්‍රධාන අරමුණ බවට ආණ්ඩුව ප්‍රකාශ කර සිටිය ද එහි සැබෑම අරමුණ කුමක් ද යන්න පිළිබඳව මංත්‍රීවරුන් සහ අමාත්‍යවරුන් පණත පිළිබඳව දක්වන අදහස් තුළින් පෙනෙන්නට තිබේ. මෙවැනි පසුබිමක් තුළ සැබවින්ම ත්‍රස්වාදියකු යනු කවුරුන්ද සහ ත්‍රස්තවාදය යනු කුමක් ද යන්න පිළිබඳව විමසා බලන්නේ නම්

"විශේෂයෙන් දේශපාලන සහ වෙනත් අරමුණක් හඹා යෑමේදී විශේෂයෙන්ම සිවිල් වැසියන්ට එරෙහිව නීති විරෝධී, ප්‍රචණ්ඩත්වය සහ බිය ගැන්වීම් භාවිත කරණ ඕනෑම පුද්ගලයකු ත්‍රස්තවාදියකු" ලෙස අර්ථ ගැන්වෙන අතර
" දේශපාලන හෝ මතවාදීමය අරමුණු සාක්ෂරාත් කර ගැනීම සඳහා චේතනාන්විත ප්‍රචණ්ඩත්වය සහ  භීතිය භාවිත කරමින් සිදුකරණු ලබන ක්‍රියාකාරකම් ත්‍රස්තවාදී ක්‍රියාකාරකමක් ලෙස හැඳින් වේ ". මෙම යෙදුම බොහෝ විට භාවිත කරණු ලබන්නේ සාමකාමී පරිසරයක් තුළ සටන්කාමී නොවන පිරිස් සඳහා යොදවන චේතනාන්විත ප්‍රචණ්ඩත්වය හැඳින්වීම සඳහා ය.

මෙම විග්‍රහය මෙලෙස පසුබිමේ තබාගනිමින් ත්‍රස්තවාදය වලක්වමින් පුරවැසියන්ගේ සාමය තහවුරු කිරීම සඳහා ගෙන එනු ලබන බව කියන මෙම ප්‍රතිත්‍රස්ත පණත පිළිබඳව ආණ්ඩුවේ අමාත්‍යවරුන් ඇතැම් අවස්ථාවලදී දක්වන අදහස් කිහිපයක් පිළිබඳව විමසා බැලීම ඉතා වටී.

අදාළ පණත සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනයේ. " ත්‍රස්ත පණත් එන්න ඕන පණත්, මේ පණත් තිබිලත් ක්‍රියාත්මක වුනේ නැති එකේ ප්‍රතිඵලනෙ අපි මේ දරන්නේ. දැං හොරා හොරා කියල කියනව බොරුවට, මුකුත් කරන්න බෑනේ............. මේ පණත් පුලුවන් තරම් ගෙනල්ල මේ රට පාලනය කරන්න පුලුවන් තැනට ගේන්න ඕන. "

අදාල පණත සම්බන්ධයෙන් එස්.බී. දිසානායක මහතා පවසන්නේ " අපිත් ආණ්ඩුවත් අපි හැම වෙලේම කියල තියෙන්නෙ ජනතාවගේ ආරක්ෂාව සඳහා, මාධ්‍යයේ ආරක්ෂාව සඳහා , ජනතාවගේ නිදහස සඳහා , ත්‍රස්තවාදීන් මර්ධනය කිරීම සඳහා ලස්සන පණතක් හදන්න කියලා. ඒකෙ අඩංගු කරුණු තාම කවුරුත් දැකල නෑනේ, ත්‍රස්තවාදී වැඩ කරන්න හිතාගෙන ඉන්න අයට එහෙම ප්‍රශ්නයක් ඇති, ජනතා විමුක්ති පෙරමුණ වගේ එකකට එහෙම ප්‍රශ්නයක් තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසෙ ඉදං කලේ ත්‍රස්තවාදී වැඩ "

අදාල පණත සම්බන්ධයෙන් එස්, එම්, චන්ද්‍රසේන මහතා පවසන්නේ " දැං බලන්න වෘත්තීය සමිති කටයුතු කරන ආකාරය පහුගිය දවස්වල, දැං මේක අර කප්පන් කාරයොත් එහෙමනේ.............. මේකට විරුද්ධ වෙමින් කෑ ගහන්නේ ඔය ත්‍රස්තවාදී වැඩකරපු පිරිසමයි, දැං අනිත් එක බලන්න සමාජ මාධ්‍ය දිහා බලපුවම මඩ ගහලා, ගෝත්‍රික සමාජෙ වගේ , නිවන් සුව අත් වේවා, ඒ වගේම මයිනා , ඔන්න ඔය වගේ ඒවා තමයි දාන්නේ, ඉතිං මෙන්න මෙහෙම රටකට සමාජෙකට යන්න බෑ. ආදී වශයෙනි.

මෙහිදී උදාහරණ ලෙස ඉහත අදහස් ත්‍රිත්වය උපුටා දැක් වූව ද ආණ්ඩුව නියෝජනය කරන සියළු පිරිසගේ පොදු අදහස ඉහත අදහස් හා සමපාත වේ. ප්‍රතිත්‍රස්ත පණත පමණක් නොව නීති සම්පාදනය කරණු ලබන පාර්ලිමේන්තුව තුළට සෑම පණතක්ම ගෙන එනු ලබන්නේ සහ එම පණත් සම්මත වී නීතියක් නිර්මාණය වන්නේ පොදු මහජනතාවගේත්, රටේත් යහපත සඳහා ය, යනුවෙන් පොදු මහජනතාව තරයේ විශ්වාස කරන අතර ඒ පිළිබඳව කිසිදු තර්කයක් නැතිවා සේම එකී පොදු කාරණය මෙම අදහස් ත්‍රිත්වයේම ආරම්භයේ අපට දක්නට හැකි වූවත් ආණ්ඩුවේ සැබෑම අරමුණ අදහස් දැක්වීම් වල අවසානයේ සුමට ලෙස අන්තර්ගත වී ඇත. බළලා මල්ලෙන් එලියට පනින්නේ එතනදීය. එපමණක් නොව බූමරංගයක් සමඟ සෙල්ලම් කරනවිට කවරකු වූවද තමාගේ ආරක්ෂාව පිළිබඳව ද සිතිය යුතුය.

champika lakshman

ප්‍රති ත්‍රස්ත පනත ගැන තවත් පුවත්

Latest