Skip to content

ප්‍රශංසනීය සමූහ ප්‍රයත්නයකින් තරගාවලිය බේරාගැනීමේ පළමු පිම්ම පැනීමට ශ්‍රී ලංකාව සමත් වෙයි

ඇෆ්ඝනිස්තානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය.
දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගය, 2023 ජුනි 04.

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි තරග තුනකින් සමන්විත ඇෆ්ඝනිස්තාන - ශ්‍රී ලංකා තරගාවලියේ  දෙවැනි තරගයෙන් ලකුණු 132ක පහසු ජයක් ලබාගනිමින් තරගාවලිය 1-1 ක් ලෙස සම කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්විය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පන්දුවට පහර දීමට තීරණය කළ අතර පෙර තරගයේ ක්‍රීඩා කළ ක්‍රීඩකයින් හතරදෙනෙක් කණ්ඩායමෙන් ඉවත් කර පන්දුවට පහර දීමට පැමිණි ශ්‍රී ලංකා ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දීමට පැතුම් නිශ්ශංක සහ දිමුත් කරුණාරත්න සමත් විය. දිමුත් අර්ධ ශතකයක් වාර්තා කළ අතර ශ්‍රී ලංකා ඉනිමේ දි චරිත් අසලංක හැරෙන්නට අනිත් සියළු පිතිකරුවන් තම වගකීම ඉටු කරමින් හම්බන්තොට පිටිය සැලකීමේදි දැවැන්ත ලකුණු පුවරුවක් කරා ශ්‍රී ලංකා ඉනිම ගෙන යෑමට දායක වූහ.

ලකුණු 324ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිස ඇෆඝනිස්තාන පිතිකරුවන් පළමු පන්දුවේ සිටම පාලනයට නතු කරගැනීමට දුෂ්මන්ත චමීර ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වූ අතර ආබාධවලින් අනතුරුව කාලයකට පසු කණ්ඩායමට එක් වූ චමීරගේ පන්දු පාලනය ඉදිරි තරගාවලි කෙරෙහි සුබදායි බලාපොරොත්තු එක්කිරීමට සමත් විය. කෙසේ නමුත් ආරම්භක පිතිකරු ඉබ්‍රාහිම් සද්රාන් සහ නායක හස්මතුල්ලා සසිදි ඇෆ්ඝනිස්තාන ඉනිමේ පළමු අර්ධය අවසන්වන තෙක් තරගය පිළිබඳ ඇෆ්ඝනිස්තාන් බලාපොරොත්තු රඳවා ගැනීමට සමත් වුවත් ධනංජය සිල්වාගේ පන්දු යැවීමේ උපක්‍රමත් සමග ඉනිමේ කඩාවැටීම ආරම්භ විය.

එක්දින තරග පහකදිම කඩළු ලබාගැනීමට නොහැකි වූ වනිදු හසරංග ක්‍රියාත්මක වෙමින් ඇෆ්ඝනිස්තාන පසුපෙළ ග්‍රහනයට ලක් කළ අතර වනිදු සහ ධනංජය ඉදිරියේ කඩුළු තුන බැගින් බෙදී ගියේය. කසුන් රාජිත හැරෙන්නට සියළුම ශ්‍රී ලාංකික පන්දු යවන්නන් කඩුල්ලක් හෝ දවා ගැනීමට සමත් විය.

මෙය ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ 400 වැනි එක්දින ජාත්‍යන්තර තරග ජයග්‍රහණය වන අතර එක්දින තරග 400ක් ජයගත් ලොව පස්වැනි කණ්ඩායම බවට ශ්‍රී ලංකාව පත් විය.

තරගයේ වීරයා - ධනංජය ඩි සිල්වා 3/39(10), 29*(24)

ලකුණු පුවරුව:

ශ්‍රී ලංකාව - 323/6(50)

කුසල් මෙන්ඩිස් - 78(75), දිමුත් කරුණාරත්න - 52(62), සධීර සමරවික්‍රම - 44(46)

පන්දු යැවීම
මොහොමඩ් නබී 2/52(10), ෆරීඩ් අහමඩ් 2/61(9), මුජීබ් උර් රහ්මන් 1/39(10)

ඇෆ්ඝනිස්තානය - 191 (42.1)

හස්මතුල්ලා සහිදි - 57(62), ඉබ්‍රාහිම් සද්රාන් - 54(75), රහ්මට් ෂාහ් - 36(42)

පන්දු යැවීම
ධනංජය ඩි සිල්වා 3/39(10), වනිදු හසරංග 3/42(9), දුෂ්මන්ත චමීර 2/18(7)

තරගාවලියේ තුන්වන සහ තීරණාත්මක අවසන් තරගය ලබන ජුනි 7වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදි පැවැත්වෙයි.

Latest