Skip to content

වැග්නර් කැරැල්ලේ ප්‍රගමනය - ජූනි 24 සවස්භාගය​

ජූනි 23 වනදා රාත්‍රියේ හටගත් වැග්නර් කණ්ඩායමේ කැරැල්ල ජූනි 24 සවස් යාමය වනවිට තීරණාත්මක තත්ත්වයකට පැමිණෙමින් තිබිණ​.

යුක්‍රේන යුධ පෙරමුණෙන් පිටිපස රස්තෝෆ් ප්‍රදේශයෙන් ඇරඹි වැග්නර් භටයින්ගේ "සාධාරණත්වයේ ගමන​" මොස්කව් දෙසට ඇදෙන්නට විය​. ඔවුන් සාධාරණත්වය ඉල්ලා සිටියේ යුක්‍රේන මෙහෙයුම් කඩාකප්පල් කළ බවට ඔවුන් විසින් චෝදනා කරනු ලබන හමුදා ප්‍රධානීන්ට එරෙහිව ය​. කෙසේ වෙතත් මෙම සේනාංකය වරොනෙෂ් පළාත හරහා ලිපෙත්ස්ක් වෙත පැමිණ එතැනින් මොස්කව් පළාත දෙසට ඇදී ගිය හ​.

වරොනෙෂ්වලදී ඔවුන් ප්‍රධාන නගර මගහැර ගිය අතර එම ප්‍රදේශයේ තෙල් සංකීර්ණයක විශාල ගින්නක් හටගත්තේ ද මේ අතර ය​. එම ගින්න මැඩපැවැත්වීමට ගිනි නිවන භටයන්ට දිගු මෙහෙයුමක් කිරීමට සිදුවිය​.

මේ අතර ලිපෙත්ස්ක් ප්‍රාන්තයේ සියළු පොදු ප්‍රවාහන බස් රථ ඇණහිටියේ ය​. පළාත හරහා වැග්නර් භටයින් ගමන් ගනිද්දී රුසියානු ගුවන් හමුදා ඔවුන් නැවැත්වීමට උත්සාහ කළ හ​. රුසියානු හෙලිකොප්ටර් යොදාගෙන හමුදා කණ්ඩායමට පහරදෙන ලදී. වැග්නරුන් ද ගුවන් යානා නාශක අවිවලින් ප්‍රතිචාර දැක්වූ අතර දිනය තුළ රුසියානුවන්ට හෙලිකොප්ටර් හතරක් හා ඉල්-18 ගුවන් යානයක් අහිමි වූ බව වාර්තා පළ වූයේ ය​.

විනාශ වූ Ka-52 හෙලිකොප්ටරයක බව කියන සුන්බුන්

කෙසේ නමුත් රුසියානු හමුදා ද වැග්නර් භටයින් නැවැත්වීමට විශාල උත්සාහයක් ගන්නා බවක් නොපෙණින​. මොස්කව් වෙත වන මාර්ගවල තැන තැන අගල් කපන බවට වීඩියෝ දර්ශන මගින් පෙන්වා දෙන ලදී. මේ අතර කලම්නා නගරයේදී අකා (Oka) නදිය හදහා වැටුණ පාලම බර වාහන යොදා අවහිර කරන ලදී.

මොස්කව් නගරයෙහි ත්‍රස්ත විරෝධී තත්ත්වයක් ප්‍රකාශ කරන ලද අතර නුවර වැසියන්ට නිවෙස් හි රැඳෙන මෙන් දන්වන ලදී. මොස්කව් හි අභ්‍යන්තර තත්ත්වය සාමකාමී බවට වාර්තා විය​. රුසියානු හමුදා මොස්කව් ආසන්නයේදී වැග්නරුන් සමග ගැටීමට සූදානම් වන සෙයක් දිස්විය​. ඇතැම් ස්ථානවල හමුදා සහ ජාතික මුරභටයින් ආරක්ෂිත​ ස්ථාන ඉදිකරනු දක්නා ලදී. මේ අතර චෙච්නියානු "අහ්මත්" මුරභට සේනා මොස්කව් වෙත ළඟාවූයේ යයි වාර්තා පළ විය​.

මේ අතර රුසියානු බලධාරීන් අවධාරණය කළේ ප්‍රිගෝසින්ගේ කැරැල්ලට රුසියානු සාමාන්‍ය ජනතාවගේ සහය නොලැබෙන බව ය​. රුසියාවේ විදේශ බුද්ධි කටයුතු සේවයෙහි (SVR) ප්‍රධානී සර්ගේයි නරිෂ්කින් කියා සිටියේ රුසියානු ජනතාව පරිණත බවක් පෙන්නුම් කළ අතර සිවිල් යුද්ධයක් ඇතිකිරීමේ උත්සාහය අඩපණ කෙරුණ බව ය​. කෙසේ වෙතත්, රුසියානු අගනුවර කරා වූ තර්ජනය නිම නොවී ය​.

මොස්කව් වෙලාවෙන් රාත්‍රී 8.30ට පමණ (ශ්‍රී ලංකාවේ වෙලාවෙන් රාත්‍රී 11) මොස්කව් නගරවාසීන්ට සහ පොදුවේ රුසියානුවන්ට අස්වැසිල්ලක් ගෙනෙන පුවතක් ලැබුණි. බෙලරූස් ජනාධිපති අලෙක්සන්දර් ලුකාශෙන්කෝගේ මැදිහත්වීම හේතුවෙන් වැග්නර් ප්‍රධානියා සාකච්ඡා සඳහා එකඟව මොස්කව් වෙත දියත් කළ ගමන නිමා කළේ ය​.

සටන් විරාමය දිගටම පවතී ද​? ප්‍රිගෝසින්ගේ කොන්දේසි කවරක් වේද සහ ඊට පූතින් එකඟ වේද​? මෙවැනි කරුණු පිළිබඳ ජූනි 24 රාත්‍රිය වනවිට ද හරිහැටි පැහැදිලිව නොතිබිණ​.

Latest